Monday 27 December 2010

~කිසස්~~

මාතෘකාව දැක්කම වරදවා හිතන්න එපා, මේ වෙන මොනවත් ගැන නෙමෙයි අර කිසස් කියන කෑම ජාතිය සම්බන්ද කතාවක්. මේකත් අපේ අර ගණිත පන්තියේ අතුරු කතාවක්.

ඔන්න මේ කතාව වෙනකොට අපේ පන්තිය පටන් අරගෙන සැහෙන දවසක් ගිහිල්ලා. ඉස්කෝලෙත් A/L පන්ති එහෙම පටන් අරගෙන. ඔය කාලේ වෙනකොට අපිත් එක සම වයසේ හිටපු, ගණිත පන්තියේ හිටපු කොල්ලගේ යාලුවෙක් මගේ යාලුවෙකුට ට්‍රයි කරන්න පටන් ගත්තා. හරියටම කියනවනං අර මම මුලින්ම කියපු කතාවේ (අතීතයේ දවසක) හිටපු කොල්ලෝ හතර දෙනාගෙන් එක්කෙනෙක්. අපි යන ගොඩක් පන්ති වලට ඒ තුන් දෙනාම ආවා. (හතර දෙනාගෙන් එක්කෙනෙක් ජීව විද්‍යාව කරේ) ඉතින් ඔහොම දැකල තමයි අර කොල්ලා මගේ යාලුවට කැමති වෙලා තියෙන්නේ. හඳුනා ගැනීමේ පහසුවට අපි එයාට සමීර කියමුකෝ. සමීර ඉතින් එක එක ඒවා කරනවා මගේ යාළුවා කැමති කරගන්න. අපේ ගණිත පන්තියේ හිටපු එක්කෙනත් ඒවාට ඉතින් හරියට උදව කරනවා. හිටපු ගමන් පන්තියේදී හින්ට් එහෙමත් ගහනවා.

ඔය කොල්ලෝ තුන් දෙනා ගෙන දෙන්නෙක් ඉගෙන ගත්තු පාසලේම තමයි මගේ මල්ලියි, මගේ හොඳම යාලුවෝ දෙන්නගේ මල්ලිලා දෙන්නයි ඉගෙන ගත්තේ. අනිත් කොල්ල හිටියේ ඉස්කෝලේ අපේ පන්තියෙමයි. හැබැයි එයත් කලින් හිටියේ අර ඉස්කෝලේ. උසස් පෙළ කරන්න තමයි අපේ ඉස්කෝලෙට ආවේ. අපි යාලුවෝ තුන් දෙනා එකටම තමයි පන්ති වලට ගියේ, අර ගණිත පන්තියත් ඇතුළුව. ඉතින් සමීරට වැඩිය අපේ යාලුවට කිට්ටුවෙන්න බැරි උනා. අපි හෙමීට මග ඇරලා යනවා දැක්කම. ඔය හේතුව නිසා සමීරයි, ගණිත පන්තියේ හිටපු කොල්ලයි අපේ මල්ලිලට දවසක් බැනල, මටයි මගේ අනික් යාලුවටයි පාඩුවේ ඉන්න කියන්න කියල.

ඊටපස්සේ ගණිත පන්තියේදී වත් අපි ඒ කොල්ල එක්ක කතා කරේ නෑ. ෆීස් සල්ලි ඉල්ලා ගන්නත් අහක බලාගෙන ඉල්ලනවා මිසක් මූනවත් බැලුවේ නෑ. ගෑනු ළමයි හතර දෙනා කොල්ලත් එක්ක හොඳටම තරහා වෙලා. හැබැයි එයාට නම් ගානක් නෑ ඔහේ ඉන්නවා. අපිත් එයා ක්ලාස් එකේ නෑ කියල හිතා ගෙන ඉන්නවා.

ඔහොම ටික දවසක් යනකොට,  ඒක දවසක  මෙයා ක්ලාස් එකට  අරන් එනවා කිසස් පැකට් එකක්. අරන් ඇවිල්ල මගේ අතට දෙනවා ඔයගොල්ලෝ බෙදාගෙන කන්න කියල. මටත් දැන් හිත ගන්න බෑ මේක ගන්නවද නැද්ද කියලත්. මම තමයි ඒ කොල්ල කිට්ටුවම වාඩිවෙලා හිටියේ. කොහොමහරි මං ඒක ගත්තා. අරගෙන එහා කොනටම පාස් කරා. කවුරුත් ඒක කඩන පාටක් නෑ. ඊටපස්සේ ඒක යාලුවෙක් කිව්වා 'ඔන්න එයාටම කඩලා දෙන්න කියන්න' කියල. මාත් ඇහෙන නෑහෙන ගානට කියල ඒක ආපහු දුන්නා.

ක්ලාස් ඒක ඉවරත් උනා දැන් මිනිහ මේක කඩලා දෙන පාටක් නෑ. අපිත් ඉතින් ගෙදර ගියා. පහුවදා අපේ ප්‍රධාන මාතෘකාව ඕක. දැන් අපි කතා වෙනවා, 'තරහට විසි කරලා ගියද දන්නේ නෑ මගදී' කියල.

පස්සේ කාලෙක මං එයාගෙන් ඇහුව එදා මොකද උනේ කියලා. බලනකොට එයා හිතල තියෙන්නේ අපි එපා කියල දුන්න කියල. පස්සේ එයා මගදී යන ගමන් ඒක එයා තනියම ක කා ගිහින්. අපි හිතපු දේවල්! :)

10 comments:

  1. තක්කඩි කොල්ලෝ.... අපි හිතන තරම් මෝඩ නෑ. අපිනෙ තද උනොත් විසි කරන්නේ... :D

    ReplyDelete
  2. සල්ලි දීලා අරන් විසිකරන්නේ මොකටද :-D

    ReplyDelete
  3. අපි නම් සල්ලි සල්ලි කියල බලන්නේ නෑ කේන්ති ගියොත් විසි කරනවා. නේද සංජු? :-)

    ReplyDelete
  4. මොලේ ඇති කොල්ලෙක් :D විසි කරානම් කීයක් කියලද.. :D

    ReplyDelete
  5. නියම කොල්ලෙක් නේ මතක් වෙද්දිත් හිනා යනවා කොල්ලන්ව බයිට් කරන්න ඔයගොල්ලො ඉගෙන ගෙන මදි !!!!

    ReplyDelete
  6. මමනම් තද උනොත් අහුවෙන දෙයක් කාගෙන කාගෙන යනවා ..

    පවු බං අර අසරන කොලුගැටයා ....

    ReplyDelete
  7. එළ කොල්ලෙක්. මට පේන විදියට නම් ඒ කොල්ල ගැන තව කතා තියෙනව වගේ :-P. මේ මාසෙට 50 දාන්න තව 3යි අඩු

    ReplyDelete
  8. හ්ම්ම්..හ්ම්ම්... තව කතා තියෙන්න පුළුවන්.. තව 2 යි අඩු..:)

    ReplyDelete
  9. නියම කොල්ලෙක්...ෂුවර් එකටම මිනිහා දැන් හොඳ තැනක ඇති

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?