
ගිය සතියෙත්, සුපුරුදු කලබලෙන් මං පහලට ආවේ වෙනදාටත් වඩා පරක්කු වෙලා කියන හැගීමෙන්. ඒත් ඔරලෝසු හාමිනේගේ මූණ බැලුවම, තාම 7 යි. මං ඉතින් වෙනද වගේම හිත හදාගෙන, බත් කටකුත් කාල ඉස්කෝලේ යන්න පිටත් උන. වෙනද විදියටම බස් එකේ ගියත්, රතු ඉර නොවැදී බේරුනේ නූලෙන්. එතකොට නම් මට ඔරලෝසු හාමිනේගේ වෙලාව ගැන සැකයක් ඇති නොවුනාමත් නොවෙයි. ඒත් ඉතින්, මං මග එනකොට පරක්කු වෙන්න ඇති කියල උපකල්පනය කරලා ඊළඟ දවසේ වත් කලින් එන්න ඕනේ කියල හිත හදාගත්ත. කොහොම හිතුවත් ඊළඟ දවසෙත් පරක්කුයි, ගෑණු ළමයින්ට අඳින්න පැයක යනවා කියනවනේ. අඳින්න පැයක නොගියත් කටයුතු කලමනා පිළිවෙලක් කරගෙන ලක ලැහැස්ති වෙනකොට වෙලාව ගිහින් දන්නෙම නැතුව. කොහොමින් හරි එදත් පහලට බැහැල ඔරලෝසු හාමිනේගේ මූණ බලනකොට 7 යි. මට යාන්තමට මතකයි, උඩ තිබුණු ඔරලෝසුවක මූනේ වෙලාව 7 පහුවෙලා තිබුන කියල, ඒත් කමක් නැ කියල මං පිටත් උනාට මට තේරුණා වෙනදට වැඩ නම් පරක්කුයි කියල. පලවෙනි වතාවට හිතුන, ඔරලෝසු හාමිනේ මියැදිලද දන්නේ නැ කියල. ඒත් ඉතින් අනෙක් වැඩ රාජකාරි මැද්දේ ඒක ගැන කල්පනා කරන්න වෙලා තිබුනේ නැ. ඉස්කෝලේ නිවාඩු දීල සතියකුත් ගත වෙන්න ආවා. දැන් ඉතින් හදිස්සියේ කොහෙවත් යන්නත් නැති නිසා, ඔරලෝසු හාමිනේ ඉන්නවද කියල බලන්නවත් අමතකයි.
හිටි හැටියේම අද දවාලේ මට ඔරලෝසු හාමිනේව මතක උනා. දුවගෙන ගිහින් ඔරලෝසු හාමිනේගේ මූණ බලනකොට වෙලාව 7 යි.ඒ වෙලාවේ මද්දහනත් පහුවෙලා. එතකොටයි මට තේරුනේ, ඔරලෝසු හාමිනේ මියැදිලා. හෙට උදෙන්ම කඩෙන් බැටරියක් ගෙනත් ඔරලෝසු හාමිනේට පණ දෙන්න ඕනේ.. මෙච්චර දවසක් පමා උනාට සමාවෙන්න අපේ ඔරලෝසු හාමිනේ...
No comments:
Post a Comment
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?