Thursday 16 December 2010

~අතීතයේ දවසක~

මේ සිද්දිය වෙනකොට මං සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඔන්න මෙන්න. මොකද්දෝ හේතුවක් නිසා විභාගය දෙසැම්බර් මාසේ මැදට වගේ කල් ගියා. මුළු අවුරුද්ද පුරාම සෙල්ලම් කර කර හිටපු මට පාඩම් කරන්න ඕනේ කියල හරියටම මතක් උනේ සැප්තැම්බර් අග විතර. ගණිතය, විද්‍යාව විෂයන් වලට අමතර පන්තිත් ගිය නිසා ඒවා මට අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ උනේ නෑ. අපේ අම්ම ගොඩක් බය උනේ මං සමාජ අධ්‍යනය විෂයන්ට අඩු ලකුණු ගනී කියල. ඔන්න ඉතින් ඔය බය වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදියට, අම්ම ගුරුවරියක් විදියට උගන්වපු විද්‍යාලයේම අම්ම අඳුරන සමාජ අධ්‍යනය ගුරුවරියකගේ ගෙදරට ගිහින් 'revision' කරන්න මට නියම උනා. අකමැත්තෙන් උනත් ඔන්න ඉතින් නොවැම්බර් අග ඉඳං මං මේ පන්තියට යන්න පටන් ගත්ත. පන්තියක් කිව්වට, මුදලක් අය කරේ නෑ, උදව්වක් විදියට ඒ විද්‍යාලයේ හිටපු ගොඩක් ගුරුවරුන්ගේ දරුවන්ට ඒ ගුරුතුමිය පාඩම් කියල දුන්න.

මට පාඩම් කියල දුන්නේ තනියම. තරමක් ලජ්ජාශීලී මට එක ලොකු සැනසීමක් උන. කොහොමහරි ඒ අමතර ඉගැන්වීමේ ප්‍රතිපලයක් විදියට ඒ පාර අපේ පන්තියේ අන්තිම වාර විභාගේ සමාජ අධ්‍යනයට වැඩිම ලකුණු තිබුනෙත් මට. අපේ අම්මට හරි සතුටුයි. සති දෙකකට සැරයක් ගිය සමාජ අධ්‍යනය පන්තියට මට දවසක් ඇර දවසක් යන්න උනා. ඉස්කෝලෙත් නිවාඩු නිසා කිසි බාධාවක් තිබුනෙත් නෑ. 

ඔහොම දවසක් යන අතරේ, එක දවසක් මිස්ගේ ගෙදර ගියාම, මට වාඩි වෙන්න එහෙම කියල, වැඩකුත් දීලා එහෙට මෙහෙට යන අතරතුරේ, අද අර කොල්ලෝ ටිකත් එනව කිව්වනේ, කියල මට ඇහෙන නෑහෙන ගානට කිව්වා.  ඔය වෙනකොට මං දැනගෙන හිටිය අම්මගේ ඉස්කෝලේ තව මිස් කෙනෙක්ගේ පුතෙකුටයි එයාගේ යාලුවන්ටයි ත් මේ මිස් උගන්වනවා කියල. මට මිස් කියපු කතාවත් අහල ටිකක් බයත් හිතුන. ඊටපස්සේ මං හිත හදාගත්ත නෑ එහෙනම් මට වැරදිලා ඇහෙන්න ඇති, මං ඉන්නකොට වෙන කාටවත් එන්න කියන්නේ නෑ කියලා. ඔහොම වැඩ කර කර පැයක් විතර යනකොට, මට ඇහුන වෑන්  එකක් මිදුලේ නවත්තනවා, ඒත් එක්කම අලි පෙරලෙනව වගේ මහා සද්දෙකුත් ඇහුන. මිස් ටක් ගාල ගිහින් දොර ඇරිය. 
මට ඇහෙනවා කොල්ලෝ කීප දෙනෙක්ගේම කට හඬ..මටම දැනුන මට දාඩියත්  දාලා මගේ මූණත් රතුවෙලා කියල. 
මිස් ඉතින් ඒ අයත් එක්ක ආගිය තොරතුරු එහෙම කතා කරලා "ඔන්න එහෙනන් වාඩිවෙන්නකෝ, යාලුවෙකුත් ඉන්නවා" කිව්වා. මට ඒ වෙලේ පුළුවන් උනා නම් මේසේ යටට රිංගනවා. මං පොත දිහාම බලාගෙන ඉන්න අතරේ, යන්තම් වගේ දැනුන මේ අය වාඩිවෙන තැනටත් රණ්ඩු වෙනවා. ලැජ්ජාවට කරගන්න දෙකුත් නෑ. මං බිම බලාගෙන හිතින් ප්‍රර්ථනා කරා ඉක්මනට තාත්තා ඇවිත් මාව එක්කරගෙන යන්න කියල.


කතාවේ ඉතුරු ටික පස්සේ ලියන්නම්...

3 comments:

  1. ඉල්මන්ට ඉතුරු ටික ලියන්න

    ReplyDelete
  2. ආපු කොල්ලෝ සැට් එකෙන් එකෙක් නං හිතාගන්න පුළුවන්... හික් හික්...

    ReplyDelete
  3. අය්යෝ! බළලා පනිනවානේ මල්ලෙන් එලියට. හැබැයි ඉතින් එතකොට ඒ කොල්ලව අඳුරන්නේ නෑ. මේ තමයි එයාව දැක්ක පලවෙනි වතාව. :)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?