Sunday 26 December 2010

~~සුනාමියේ තවත් කතාවක්~~

අද හැමදෙනාම කතා කරන්නේ සුනාමිය ගැන. ලංකාවට වෙච්ච් කෙටි කලකින් වුනු දරුණුතම විනාශය වුනේ සුනාමියෙන්. සුනාමිය ලං වෙනකොට පුවත් පත සඳහා සුනාමිය හා බැඳුනු කතාවක් සොයා ගැනීමට මට අවශ්‍ය උනා. ඔය ගැන විස්සෝපෙන් ඉන්න කොට, කවදත් කතන්දර කියන්න දක්ෂ 'අපේ ගමරාල' තමයි මේ කතාව කිව්වේ. හැමදාම විහිළු කතා කියල මාව හිනස්සන ගමරාලට සුනාමිය ගැන මේ වගේ දුක් බර අත් දැකීමක් තියෙනවා කියල මට විශ්වාස කරන්නත් බැරි උනා. කොහොමහරි කතාව අහලා මට විනාඩි ගානක් යනකන් මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පුවත්පතට මං මේ කතාව ලිව්වා. මට හිතුනා ඒ කතාව මේකටත් ලිව්වා නම් හොඳයි කියල.සුනාමිය පිළිබඳව තියෙන සංවේදීම කතාව මෙය නොවෙන්න පුළුවන්...ඒත් මේ කතාව හිතේ දරා ගෙන ඉන්න අයට ඇති දුක අනන්තයි, අප්‍රමාණයි.

මං කතාව ගමරාල කියපු වචන වලින්ම කියන්නම්කො. 

ඕක වෙනකොට අපි හිටියේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ. මගේ කාමරේ මං බෙදා ගත්තේ ජයලංකත් එක්ක, එයා මගේ හොඳම යාළුවා වගේම, කැම්පස් එකේ ගොඩක් අයගේ හොඳ යාලුවෙක්. ඕනම වෙලාවක ඕනෑම දෙකට කතා කරොත් වැඩක් නවත්තලා හරි එනවා. වලියකට උනත් උදව කරනවා.

ඔය සුනාමි දවස් වෙනකොට අපේ  අධ්‍යයන කටයුතු ඉවර වෙලා විභාග පටන් ගන්න ඔන්න මෙන්න. විභාගේ පටන් ගත්තොත් ගෙදර යන්න වෙන්නේ නැති නිසා ජයලංක  තීරණය කෙරුව ඒ ඉරිදා ගෙදර යන්න. එයාගේ  ගෙවල් තිබ්බේ මාතර තිහගොඩ. පවුලේ එකම පිරිමි ළමයා. අම්මයි, තාත්තයි වයසයි ඒවගේම අසනීපයි. ඉතින් මෙයා තමයි ගෙදර හැමෝගෙම බලාපොරොත්තුව උනේ.

26 වෙනිදා කැම්පස් එකේ සිල් වැඩ සටහනකුත් තිබ්බා. අපි හැමෝම එදා සිල් ගත්තා. අපේ ආචාර්යවරුත් සිල් ගත්තා. 10 ට විතර ජයලංකගේ ගෑනු ළමයාට ජයලංක කෝල් කරලා කියල තියෙනවා 'මුහුද ගොඩ ගලනවා, කොච්චියටත් වතුර එනවා, ඒත් මං හොඳින් ඉන්නවා' කියල. අපි දැනගෙන හිටියේ නැනේ මේවගේ දෙයක් ගැන, අපි ඉතින් හිතුව මෙයා ඇත්තටම හොඳින් ඇති කියල. අපි සිල් වැඩසටහන කරගෙන ගියා.

හවස 3 ට විතර සේරම ඉවර උනාට පස්සේ තමයි දැනගත්තේ ඇත්තම කතාව. අපි එතකොට ජයලංකට කතා කරා හරි ගියේ නෑ.  පහුවදා උදේම අපි ගාල්ලේ යන්න පිටත් උනා. උදේ 6 ට විතර කොළඹින් පිටත් වුනු ගමන ගාල්ලට යනකොට හවස 3 යි. ඒක තමයි මන් ජීවිතේ ගිහින් තියෙන අමාරුම ගමන. බස් එක තමන්ගේ නැතිවුණු අය හොයන්න යන අයගෙන් පිරිලා. තනි කකුලෙන් තමයි දිගටම ගියේ. ඒ අස්සේ රේඩියෝ එකේ කියනවා මැරිච්ච ගැන, වෙච්ච හානිය එහෙම. මිනිස්සු හූල්ලනවා ඒවා අහල. මැරිච්ච අයගේ හැදුනුම්පත් අංකයි නමයි  කියෙව්වා ඒ අස්සේ. එක නමක් කියන කොට එතන හිටපු ගෑනු කෙනෙක් මහා හය්යෙන් අඬන්න පටන් ගත්තා. බලනකොට ඒ එයා හොයන්න යන කෙනා.

ඔය වගේ අත් දැකීම් ගොඩක් මැද්දේ අපි ඉස්සෙල්ලාම ගියේ කඳවුරු වලට. එතන හැම කෙනෙක්ගෙන්ම අහල බැලුවා. කවුරුත් දැකලා තිබුනේ නෑ. ඒ වෙලාවේ අපිට හම්බුනා කෝච්චියේ ඉඳලා බේරිච්ච බඩ දරු අම්මා කෙනෙක්. ඒ වෙලාවේ නම් අපිට හිතට සහනයක් ආවා. බඩ දරු අම්මා කෙනෙකුත් බේරුනා නම්, මේ කොල්ලත් ඇති නේද කියලා. කොහොම හරි හොයල බැරිම තැන අපි ගිය අපේ ගාල්ලේ හිටපු අපේ යාලුවෙකුගේ ගෙදර. ඊටපස්සේ එයාගේ තාත්තයි, එතන හිටිය තව එයාලගේ අල්ලපු ගෙදර මාමා කෙනෙක්. එයත් එයාගේ නෝනා හොයනවා.

අපි කට්ටියම ඊළඟට ගියේ මහා මෝදර ඉස්පිරිතාලෙට. ඒකට ගියාම නම් දැනුනු හැගීම මට ජීවිතේට දැනිල නෑ. මිනි ගොඩ ගහල හැමතැනම. ඒවා ඉදිමිලා අඳුරගන්නත් අමාරුයි. ට්‍රැක්ටර් වලින් එහෙම මිනී ගේනවා දැකල මට සංසාරේ එපා උනා. පලාතම ගඳයි. අපි ටෝර්ච් ගහ ගහා මිනී බැලුවා. එකක්වත් ජයලංක වගේ නෙමෙයි. එක මිනියකට ටෝර්ච් එක ගහන කොට අර මාමා කිව්වා "පුතා අයෙ ටෝර්ච් එක ගහන්න' කියල. බලනකොට ඒ එයාගේ නෝනා. මගුල් මුද්දෙන් තමයි අඳුරගෙන තිබ්බේ.

ඒ දවසත් ගෙවිලා ගියා. පහුවදා උදේම අපි ගියා කෝච්චිය තිබුණු තැනට. ඒක දැක්කම නම් මම යාළුවා පන පිටින් දකින අදහස අත් හැරියා. අච්චර බර කොච්චි එන්ජිම, මීටර් සීයක් විතර ඈතට ගහ ගෙන ගිහින් තිබුනා. එතන හිටපු මනුස්සයෙක් කිව්වා හොඳටම සවුත්තු වෙච්ච් මිනී ටිකක් එතනම වල දැම්ම කියල. ජයලංකගේ  හැඳුනුම්පතත් අපට එතන තිබිලා හම්බුනා. හුඟක් අමාරුවෙන් අපට හිත හදාගන්න උනා.

එදාම අපි එයාලගේ ගෙදර ගිහින් මරණ ගෙදර වැඩවලට උදව් කරා. මිනියක් නැති මරණ ගෙදරක්. ඊට පස්සේ අවුරුද්දේ අපි ජයලංකව සිහි කරලා ලොකු පිරිතක් සංවිධානය කරා. අපි ඊටපස්සේ හැම අවුරුද්දකම 26 වෙනිදා ජයලංකගේ ගෙදර ගියා.....


4 comments:

  1. එහෙම දවසකම ගෙදර යන්න උන එක නම් ඉතිං කරුමෙ තමා. ඇත්තට ඒ පලාත් වල නොවෙන.. ගමන් ගියපු මිනිස්සු කීයක් නම් මැරුනද..

    ReplyDelete
  2. කතාව කියවගෙන යද්දි ලොකු දුකක් හිතට කා වැදුනා. ඇත්තටම ඒ නැති උනේ අපේම මිනිස්සු. ඒ ව්‍යසනය මතක් වෙද්දි මැරි මැරි උපදිනවා !!!

    ReplyDelete
  3. හොද යාලුවෝ ඉක්මනට අපේ ජීවිතවලින් ඈත් වෙනවා අක්කේ

    ReplyDelete
  4. හරිම ලස්සනට ලියලා තියෙනවා. කොච්චර දුක හිතෙන කතාවක්ද..ජිවිතේ අත්දකින්න ලැබෙන හැම ‍දුකක්ම වගේ ඒ දේවලුත් අතීතයේ ඈතට තල්ලු වෙලා ගිහින් තියෙන හැටි අද සුනාමිය ගැන මිනිසුන්ට මතකයක් වත් නැති තරම්.

    ජිවිතේ ඒ වගේ තමයි. ඔව් යාළුවා වටිනාකියන දේවල් ලෝකයට අහිමිවෙලා යනවා. අපිට ලෝකයට හැමෝටම. ජිවිතේ ගැන ඇඹින්දක් හරි ආපස්සට හිතන්න. පොළඹවන මේ ලිපිය දැම්මට ස්තුතියි.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?