Saturday 20 July 2013

මම "මම" වෙමි..

මම ඉතින් මම වෙන්නේ නැතුව වෙන කවුරු වෙන්නද? මට මේක ලියන්න හිතුනේ පහු ගිය සතියේ හිතුනු දේවල් ටිකක් නිසා. මිනිසා කියන්නේ ඉතින් සමාජ සත්වයෙක් නේ. ඒ නිසා අපිට අපේ ජීවිත කාලය තුල විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා, විවිධාකාර බැඳීම් ඇති වෙනවා. ඔය මිනිස්සු සහ බැදීම් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. අපේ ජීවිතේ මිහිරි මතක රඳවන්න පුළුවන් ඒ වගේම අමිහිරි මතකත් රඳවන්න පුළුවන්.

ඉතින් ඔය මුණගැහෙන අය සහ ඇතිවෙන බැඳීම් අතරේ නැතිද අපි උපන් දා ඉඳන් පුරුදු වුන ගති පැවතුම්, සමාජ රටා, සිරිත් විරිත් වෙනස් කරන්න හදන අය? ඕනේ තරම් ඉන්නවා. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම එක වගේ උනා නම් ලෝකය කෙතරම් කම්මැලි තැනක් වෙන්නට තිබුනද.. වෙනස් ලෝකයේ වෙනස් ජීවිත රටාවන් අපිව ජීවත් කරවනවා. එහෙනන් ඇයි අපි හදන්නේ තවකෙක් වෙනස් කරන්න...

මම තදින්ම විශ්වාස කරනවා ජීවිතයේ කිසියම් දෙයක් කිරීමට අපහසු නම් එය අපි කරන්නේ හරි විදියට නොවන බව. අලුත් තාක්ෂණයේ "user friendly" බව added advantage එකක් නැත්නම් වටිනාකමක් බවට පත් උනත්, ස්වභාව ධර්මය තුල  එය මුල සිටම පැවති අනිවාර්ය අංගයක් බවයි මගේ හැගීම. යමෙක් යම් කිසි විෂයක් ඉගෙනීමට කෙතරම් උත්සාහ කලත් එහි නිසි ප්‍රථිපල ලබන්නට නොහැකි නම් ඔහු/ඇය සහජයෙන්ම උරුමවූ දෙය ඉගෙන නොගන්නා බව මෙයට එක් උදාහරණයක්. ඒක හරියට චිත්‍ර අඳින්න සහජ දක්ෂතා ඇති අයෙකුට ගණිත විෂය ධාරාව හදාරන්න කිව්වා වගේ.  අප ජීවත් වන කෘතීම ලෝකයේ අපි හැමදේම අපට ඕනෑ විදියට ලබාගන්නට උත්සාහ කරත්, ස්වභාව ධර්මයේ ධර්මතා සමග ජීවත් වන අයෙකුට ආයාසයකින් තොරව හැමදේම ලබන්නට හැකි බවයි මගේ පිළිගැනීම.

මෙය ජීවිතයේ ඇති හැමදේටම අදාලයි. බැදීමකදීත් එය යහපත්ව පවත්වා ගැනීමට එක් අයෙක් තම ගති පැවතුම් අමාරුවෙන් වෙනස් කරගන්නට සිදු වේ නම් එය ස්වභාවිකව ඇති විය යුතු බැඳීමක් විය නොහැකියි නේද? ජීවිතය සැහැල්ලුවෙන් රිද්මියකට අනුව ගෙන යා යුතු දෙයක්. මේ රිද්මය හොඳ මිතුරු දම්, පවුල් සබඳතා ආදී බැදීම් තුලින් වර්ධනය වනු විනා ඒ රිද්මය වෙනස් කර වෙනස් ජීවිතයක් ගත කරන්නට සිදු වේ නම්, එහි කිසියම් ගැටළුවක් තිබිය යුතු නොවේද....

Tuesday 16 July 2013

සුදු ඇඳුම්...

මටත් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මතක් උනා බ්ලොග් එකක් තියෙනවා කියල. පහුගිය දවස් වල උන දේවල් වල හැටියට ලියන්න හිතුවත්, ලියන්න දෙයක් මතක් උනේ නෑ. දැන් ඉතින් ඔක්කොම කලබල ඉවර උනාට පස්සේ ඔක්කොම දුක හිතෙන දේවල් මැද්දේ සිද්ද උන හිනා යන දේවල් ටිකක් මතක් උනා. අද ලියන්න යන්නේ ඒ එකක්. අනෙක් ඒවත් මතක් වෙන පිළිවෙලට ලියන්නම්.


සමහර බ්ලොග් ලියන අයනම් දන්නවා ඇති, මීට මාස 3 කට කලින් මගේ එකම මල්ලි හදිස්සියේම අපිව දාල ගිය බව. මමත් ඒ වෙලේ ලංකාවේ නොහිටපු නිසාත්, මගේ දෙමව්පියෝ පැය 24 කට වඩා තියන්න අකමැති වුනු නිසා මම ආවේත් අවසන් කටයුතු කර දාට පහුවදා.

 කොහොමහරි මළගෙදර ආපු අයට මාව නොගැහුණු නිසා හත් දවසේ බණ දවසේ ඉතින් හැමෝම මගේ ලඟට ඇවිත් කතා කරලා තම තමන්ගේ ශෝකය ප්‍රකාශ කළා. ඔය අතරේ හාමුදුරුවෝ වඩින්න ඔන්න මෙන්න තියල, තද පාට සායකුයි හැට්ටෙකුයි ඇඳගෙන හිටපු ගෑනු කෙනෙක් ලඟට ඇවිත් කතා කරලා ශෝකය ප්‍රකාශ කරලා මට කියනවා.... "වැඩේ කියන්නේ අපි හැමෝම මේ පාර අවුරුද්දට පුළුවන් තරම් ගත්තෙම සුදු ඇඳුම් නේ"

මට ඉබේම එයාගේ ඇඳුම දිහා බැලුන. හාමුදුරුවෝ වැඩිය නිසා ඒ කතාව එතනින් නැවතුනත් මට පස්සේ හිතුන අපරාදේ අවුරුද්දට ගත්තු සුදු ඇඳුමක් ඇඳගෙන එන්න තිබ්බනේ කියල..
-----------------------------------------------------------------------------------------