Monday 29 April 2013

ආදරණීය මල්ලි!


හෙටට ඔයා අපිව දාලා ගිහින් හරියටම සති තුනක් වෙනවා. කවදාවත් අපෙන් ඈත් වෙලා නොහිටිය ඔයා අපිව දාලා හදිස්සියේම යන්නම ගියා. පලවෙනිදා ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ කවදාවත් නැති විදියට මට එන්න කියල බල කරපු වෙලේ මම අසරණ වෙච්ච තරම දන්නේ මම විතරයි. ඒත් එවෙලේ දැනගෙන හිටිය නම් ඊට සතියකට පස්සේ ඔයා අපි හැමෝවම දාල යනවා කියල මම හැමදේම අත ඇරලා එනවා.

වෙනදට අම්මටයි තාත්තටයි කතා කරාම මල්ලි ඉන්නවද අහල ඔයාගේ කට හඬ ඇහෙනකන් මම බලන් ඉන්නවා. මම හෙලෝ කියල කොහොමද කියල අහන්නත් කලින් ඔයා කියනවා හොඳින් ඉන්නවා අක්කි කියල. සමහරදාට ලෙඩ වෙලා හොඳටම අමාරු උනත් ඔය කියන්නේ හොඳින් ඉන්නවා කියල. පස්සේ තමයි මම දැනගන්නේ ඔය ලෙඩ වෙලා හිටිය කියල. එහෙම වත් ඔය මට දුකක් දුන්නේ නෑ.
මේ පාර ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ ඉඳන්, මම බලන් හිටියේ ඊට සති දෙකකට පස්සේ තිබ්බ මගේ උපන් දිනේට ඔයා කතා කරනකන්. ඒත් ඒ දවස වෙනකන් තිය අඩුමගානේ ඔයාගේ උපන් දිනේට මම එවපු කාඩ් එක බලන්නවත් ඔය හිටියේ නැ. එකත් ආවේ ඔයාගේ මිනිය උස්සන දවසේ උදේ.

හැමදාම මට එන්න කියා කියා කියනවා අන්තිමට මම එනකොට ඔය යන්නම ගිහින්. මම ලංකාවේ නැති කාලේ ඔය මගේ අඩුව අම්මගෙයි තාත්තාගෙයි හිත්වල පිරෙව්වා. හැමතිස්සෙම මට කිව්වා අක්කි නැති නිසා මම අම්මවයි තාත්තයි බලාගන්නවා කියල. ඔයා නැති දා මම ඒ දේ කරනවා, ඒත් කවදාවත් ඔය නැති අඩුව මට පුරවන්න බෑ.

කවදාවත් ජීවිතේ වරදක් නොකරපු ඔයා මේ වෙනකොටත් හොඳ තැනක ඉපදිලා ඇති. ඒත් අපි තාමත් තව එක දවසක් හරි ඔයාව දකින්න පෙරුම් පුරනවා.

මල්ලිට නිවන් සැප ලැබේවා! සංසාරේ කිසිම දවසක මේ වගේ අකල් මරණයක් අත් නොවේවා!

මම බ්ලොග් ලියන කාලේ මල්ලි ගැනත් කතා ලියල තියෙනවා... පොඩි එකාගේ රචනාව,

"~~Most outstanding team එක~~", දඹලගේ නෑයෝ එයා ගැන ලියපුවා තමා..

No comments:

Post a Comment

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?