Monday 6 June 2011

මැරූ පෙම....

අමතකව ගිය අතීතය ඇවිදින්
දවා හළු කරයි ම සිත් මඬල......
එදා නුඹ අයැදි විට
මා නොදැන සිටියෙමි
මෙතරම්
මා නුඹට පෙම් කල වග...
එදා ප්‍රතික්ෂේප කර
නුඹ සිත් රිදෙව්වෙමි...
සියල්ල අවසන්ය...
අද සුසුමක් සමග මා තනිවීමි.....

Thursday 14 April 2011

මේ ඔබ කියවන්නේ සිහින උළෙලේ මඩ ප්‍රචාරයයි

අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල හරි මට ඉවර කරන්න රාජකාරියක් තියේ. අපේ ඉතින් තිබ්බනේ අර සිහින බක් මහා උළෙල. හැමෝම ගිහින් ඇවිත් ඒක ගැන ලිව්වට මම ලිව්වේ නැනේ. ලිව්වේ නැත්තේ ඉතින් හරි වෙලාව එනකන් හිටිය නිසා තමයි ඉතින්. අවුරුදු උළෙල නම් සුපිරියි. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපේ සහෝදර සහෝදරියෝ පහු ගිය කාලේ ඒක ගැන ඇතිවෙන්න ලිව්වා.

මම මේ ලියන්න යන්නේ උළෙල වර්ණවත් කරපු ඒක ඒක චරිත ගැන...

ඉස්සෙල්ලම ලියන්නේ අපේ අභීත අය්ය ගැන. මුලින්ම හීනේ දැක්කෙත් එයා නේ. 'ඔක්කොම හරි මල්ලි හරි හරි' කියල හැමදේම හොයල බැලුවත් එයා තමයි. (ඔන්න දැන් අනෙක් අය ඔරවන්න එපා මට, එයා විතරක් නෙවෙයි හැමෝම වැඩ කරා). ගෙදරින් කට පාඩම් කරගෙන ආපු පිළිගැනීමේ කතාවත් අයිය හොඳටම කිව්වා.


අවුරුදු උත්සවේ දවසෙත් දුවල පැනල වැඩ හොයා බැලුවා. කඹ අදින්න ගිහින් සද්දන්තයෝ පැත්තේ ඉඳගෙන එයාලව පැරද්දුව කියල තමයි ආරංචිය. දැන් කට කතාව යන්නේ අභීත අය්යා කොයි පැත්තේ හිටියත් පරදිනවා කියලා තමයි.

මේ තියෙන්නේ අපේ අය්යාගේ වැඩ....



ඔන්න ඉතින් ඊළඟට කියන්න යන්නේ අපේ මාරයා ගැන තමා...




උළෙලේ හිටපු ප්‍රසිද්ධම චරිතේ තමා අපේ මාරයා තුමා. අපරාදේ තරග සේරම දිනලා තෑගි අරන් යන්න ඇවිත් තිබ්බේ. ඒත් අයියට ලොකු අසාධාරණයක් වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න කට්ටිය ඉඩ දුන්නේ නෑ. අය්යම හරි හිත් වේදනාවෙන් ඒක ගැන ලියල තිබ්බා.

අයියා බනිස් කන්න ගියා..අන්තිමට අය්යට ඒක තරගයක් බව අමතක වෙලා හිතේ හැටියට බනිස් කකා ඉන්නකොට, දිනපු එක්කෙනා තෑග්ග අරගෙනත් ඉවරයි. මේ තියෙන්නේ ඒ පින්තුරේ...



අයියා තොප්පි තරගෙටත් ගියා. සුදු හංසි තමයි මාරයාට තොප්පිය දැම්මේ, එකෙනුත් ඉතින් වැඩේ හරි ගියේ නෑ.

මාරේ අයියා දුවන්නත් ගියා. ඒ උනාට කවුද එකෙක් මාරයියට කියල "මේ තරගේ වෙනස් මේකේ ඉස්සරහට නෙමෙයි පිටිපස්සට" කියල. අනික්‌ අය ඉස්සරහට දුවන කොට අපේ මාරයිය පිටිපස්සට දිව්වා. ඒ උනාට තරගේ නීති රීති වල හැටියට ඉස්සරහට ඉස්සෙල්ලම යන එක්කෙනලු දිනුම්. නැත්නම් මාරයියා තමා එක.



සිහින අවුරුදු කුමරිය ගැන කියනකොට අපේ අනුරාධ මල්ලි ගැන නම් නොකියම බෑ. හරිම කැපවීමෙන් තමයි මල්ලි ඒක සංවිධානය කරේ. රට්ටු එක එක කතා කිව්වා. මල්ලි සැලුනේ නෑ. මල්ලිත් නළුවා වගේ එදා ඇවිල්ලා photo shoot එකකට වගේ ෆොටෝ ගත්තා කියල තමයි කට්ටිය කියන්නේ. මෙන්න බලන්නකෝ මේ පින්තුරේ.


ඊළඟට කියන්න යන්නේ අපේ තවත් ප්‍රධාන සංවිධායකයෙක් වෙන වැපා ගැන.වැපා තමා ඉතින් වැඩි හරියක් ගේට්ටුවේ හිටියේ කොච්චර හොඳට එතන රාජකාරිය කරාද කියනවනම් එයා ප්‍රධාන ආරාධිත අමුත්තෙකුටත් ටිකට් එකක් දෙන්න හදල.

මේ ඔක්කොම කතා අස්සේ අපේ කණියා මල්ලි ගැන නොකියම බෑනේ. එයත් ඉතින් දුරු කතර ගෙවාගෙන් අවුරුදු උත්සවේට ඇවිත් හිටියට මේ කොල්ලෝ ටික මල්ලිත් එක්ක කතා කොරල නැනේ. පවු අප්පා.
මේ බලන්න කොලුවා බලන් ඉන්න හැටි..


පස්සේ ඉතින් අරගලේ බේරලා දැන් මල්ලි සතුටින් ඉන්නවා.

ඔක්කොම කියල මංතුමී ගැන නොකිව්වොත් හරි නැනේ. මමත් ගියා යෝගට් කවන්න. එකේ වෙච්ච හරිය නම් කට්ටිය දන්නවා ඇතිනේ. කොල්ල යෝගට් කෑව, මම පස් කෑවා..

දැන් ඉතින් ඔය මඩ පාරක් වැදිච්ච කට්ටිය මාත් එක්ක ඔරොප්පු වෙන්න ඕනේ නැ. මේ ලබන්නාවූ අවුරුද්දට තරහ මරහ තියාගෙන යන එක හොඳ නැනේ.

ෆොටෝ ටික ගත්තේ එදා ඇවිත් හිටිය අපේ කැමරා අයියල මල්ලිලාගෙන් ඒ අයටත් බොහොම ස්තුතියි...

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

Wednesday 13 April 2011

අවුරුද්ද...

පරණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අළුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න..ඒ අස්සේ මමත් සමරනවා මගේ 26 වෙනි උපන්දිනේ. උපන් දිනේ උනාට වෙනාද තරම් සන්තෝසයක් නෑ හිතේ. වයසට යන එක ඉතින් සතුටට පත වෙන කාරණයක් නෙවීනේ..ඒකට වඩා හිතේ දුක, අම්මල එක්ක සමරන අන්තිම අවුරුද්ද නිසා. කවුරුත් ඒක ගැන කතා නොකලට මම දන්නවා ඒක හැමෝම හිතේ කොනක තියාගෙන ඉන්නවා කියල.

අවුරුදු 26 ක තිස්සේ අම්මලත් එක්කම හැදිලා, දැන් ගෙදරින් යන දවස ලං වෙනකොට ඇති වෙන දුක නම් දරාගන්න අමාරුයි. කොච්චර රණ්ඩු කරත්, මුරණ්ඩු වැඩ කරත් ගෙදරට තියෙන බැදීම තේරෙන්නේ දැන් තමයි. මොනවා උනත් තව මාස 4 කින් මම අළුත් ගෙදරක් තනන්න ඉගිලෙන්න එපැය.

අදට මේ ටික ඇති...

හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

Sunday 10 April 2011

ඔබට පෙම් බැදී මම....

සඳ ඔබ මගේ...
මා දිවිය එලිය කල
පෙම්බරාණෙනි...
සෙනෙහස උතුරන...
ඔබ හද තුල මම
ලැගුම් ගත්තෙමි...

සත් සියක් සත් පියුම් පිපේවා...
මලින් පිරී ගත් ලොවක් සැදේවා
ඒ ලොව රජ කුමරිය මම වෙන්නෙමි
ඔබ අත ගත් මා රැජිනියකි.....

Saturday 2 April 2011

මල්ලිගේ උපන්දිනේ

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා. බස් පදින අය නම් දන්නවා මේ දවස්වල මට වැඩ තරම.  ඒ වැඩ අස්සේ අපේ මල්ලි ඊයේ එයාගේ 23 වෙනි උපන් දිනේ සැමරුවා. ඉපදුනේ අප්‍රේල් 1 වෙනිදා උනාට එයාගේ මතකයටයි මොලේටයි ගහන්න කෙනෙක් අපේ පවුලේ නම් නෑ. හරි උවමනාවෙන් ඉගෙන ගත්තා නම් අද එයා අපි හැමෝටම වඩා ඉහල තැනක ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය දන්නවනේ මල්ලිගේ කතා. දඹලාගේ නෑයාපොඩි එකාගේ රචනාව, outstanding team එක.

ඒ කොහොම උනත් අපි හැමෝගෙම පණ එයා. අම්මයි තාත්තයි, මමයි එයාව බලාගන්නේ මැණිකක් බලාගන්නවා වගේ. 23 වෙනි උපන්දිනේ සැමරුවට අපිට තාම එයා පොඩි ළමයෙක් වගේ. කලින් දවසේ කේක් එකක්, ඉටිපන්දම් එක්ක ගෙනත් දුන්නම හිනාවෙච්ච ලස්සන මට තාම මතකයි. දැන් අවුරුදු කීපයක ඉඳං එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා අපි එයාව හැම තිස්සෙම සතුටින් තියන්නමයි බලන්නේ.

අද නම් ගොඩාක් ලියන්න වෙලා නෑ වගේ. ඒත් මගේ මල්ලිට නිරෝගී උපන්දිනයක් ඊළඟ අවුරුද්දෙවත් සමරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. 

Sunday 20 March 2011

සිහිය....

සිහිය කියන දේ අපිට කොච්චර වටිනවද කියල තේරෙන්නේ සිහිය විකල් වුනු කෙනෙක් දැක්කමයි. අසිහියෙන් මොන තරම් දේවල් ඒ අය කරනවද. අපිට ඒ මනුස්සයට වැරැද්දක් කියන්නත් බෑනේ. සිහිය විකල් වුනු කෙනෙක් නැත්නම් සාමාන්‍යයෙන් කියන විදියට නම පිස්සෙකුට අම්මා තාත්තා කවුද කියලවත් අඳුරගන්න බෑනේ. ඒ වගේ කෙනෙක් ඒගොල්ලෝ කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියල දන්නෙත් නෑ.

සාමාන්‍ය මිනිස්සු වන අපිට ඒ අය කරන එක දැක්කම තරහා යනවා තමයි. ඒත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ අය අනුකම්පාව ලැබිය යුතු කොටසක්. පිස්සු හැදෙනවා කියන්නේ මිනිහෙකුට හැදෙන්න පුළුවන් නරකම ලෙඩේ. පිස්සු හැදුනු කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන උනත් මිය යන තෙක්ම පිස්සෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මනුස්සයත්, එයාගේ පවුලේ අයත් මුළු ජීවිත කාලෙම විඳවනවා. පිස්සු හැදුන කෙනෙක් අම්මට, තාත්තාට ගැහුවත් ඉවසා ගෙන ඉන්න වෙනවා. මොකද ඒ මනුස්සයා හිතල කරන දෙයක් නෙවෙයි ඒක. අසිහියෙන් කරන දේකට ගහල බැනල වැඩක් නැති නිසා.

මීට අවුරුදු කීපෙකට කලින්, මනස අවුල් උනු කෙනෙක් කරපු සුළු වැරැද්දකට පොලිස් කාරයෙක් එලව එළවා  පහරදුන්නා. ඒ මනුස්සයා ගහන්න එපා කියල වදිද්දී ඒ පොලිස් කාරය ලොකු පොල්ලකින් ඒ මිනිහට ගහල මුද මැදට දැම්ම. ඊට‍ පස්සේ ඒ මනුස්සය ගිලිලා මැරුණා. මේ සිද්ධිය රුපවාහිනි නාලිකාවකින් පෙන්නුවා.

මම මේක ලියන්නේ ඇයි කියලා මාව හොඳට දන්න අය දන්නවා. අනෙක් අය මගෙන් අහන්න එපා ඇයි කියල. සිහිය විකල් වුනු අයට අනුකම්පාව දක්වන්න. ඒ අයත් කාගෙහරි සමීපතමයෙක්...


දන්නෙම නැතුව ආදරණීය නවාතැන සින්ඩි ලංකා වෙබ් අඩවියේ 'බ්ලොග් ස්ටාර්' තරගයේ තුන්වෙනි වටයටත් ඇවිත්.  ඔන්න ඉතින් ආදරණීය නවාතැනට කැමති කෙනෙක් ඉන්නවා නම් මනාපයක් දෙන්න. 

Monday 7 March 2011

පුවත්පත් ලිපියක් සදහා ඔබේ අදහස් ඕනෑ`

මෙය මා ලිවීමට බලාපොරොත්තු වන පුවත්පත් ලිපියක් සදහා වේ.

නැන්දම්මා ලේලි ගැටුම් පිළිබඳව ඔබේ අදහස කුමක්ද? එය නැවැත්වීමට දෙපාර්ශවය කලයුතු යැයි ඔබ සිතන්නේ කුමක්ද? මෙම අවස්ථාවේදි සැමියාගේ කලයුත්තේ කුමක්ද?

ඔබේ අදහස් සමග ඔබගේ නම, වයස හා රැකියාව සඳහන් කරන්න. අදහස් දැක්වීම සියලු දෙනාටම විවෘතයි

Tuesday 1 March 2011

වසාපන් මේ මා දිනමිණ විගසේ

නීල ගණදුර පැතිරෙන       අඹරේ
සරා සඳ කුමාරි පිපියන්    රහසේ
ශ්වේත වූ වළා කුමාරෝ   රිසිසේ
වසාපන් මේ මා දිනමිණ  විගසේ

(තේරුම: ගණ අඳුර පැතිරෙන අහසට එන්න සඳ කුමාරි, සුදු වලාකුළු විත් හිත් පරිදි වසන්න මේ මහා සුර්යයා)

මිහිකලා දුකින් වියලී ඇත           සරියේ
මල්ඵල අතැර තුරුලිය හැඩවෙයි දුකිනේ
දියවලා නැගණි මුතු ඇට වැසි     දෙමිනේ
වසාපන් මේ මා දිනමිණ             විගසේ
(තේරුම: පොලෝ තලය වියලී ඇත, ගස් වැල් මල් ගෙඩි නැතිව දුකින් ඇත. වැහි වලාකුලක් ඇවිදින වැස්සක් දී වසනු මැන මේ මහා සුර්යයා)


ගගුලිය, දොළලිය මිහින්     දුරු වී
සිසිලස සිතගත නොහදන  කල්හී
මඳ මඳ තරුකැට අහසට වන්හී
වසාපන් මේ මා දිනමිණ  විගසී

(තේරුම: ගංගා ඇලදොළ වියලී ගොසිනි, සිසිලසක් ඇත්තෙම නැත. යන්තම් දිලෙන කුඩා තරුකැට විත් වසනු මන මේ මහා සුර්යයා)

සරා සඳ කුමරි පිපිලා    රහසේ
මල් ඵල  ත්රුලිය වෙත ආ සතොසේ
ගගුලිය දොළලිය මිහිමත සැරසේ
වැසුවා මේ මා දිනමිණ විගසේ

(සඳ ඇවිත් අහසට, මල් ඵල ඇවිත් ගස් වලට, ගංගා ඇලදොළ පිරී ඉතිරි ගොසිනි. වසා ඇත මේ මහා සුර්යයා)

Sunday 27 February 2011

බ්ලොග් අවකාශයේ හිත් රිදවුම...

මම සිංහල බ්ලොග් ලෝකයට අගන්තුකයෙක්මි. මම බ්ලොග් ලියන්නට පටන් ගෙන තවම ගත වී ඇත්තේ තෙමෙසක්‌ පමණි. ඒ තෙමසට මම බොහෝ දෙනා දැන හදුනා ගත්තෙමි. එහෙත්, සමහරුන්ව නිසි පරිදි හදුනා ගන්නට නොහැකි විනි. එසේ වුයේ නම් අද මෙය ලිය නොවන්නට ඉඩ තිබුණි. කෙසේ වුවත් විය යුතු සියල්ල සිදු වුනි. මූණු පොතේ බ්ලොග් මිතුරෝහිදී, කලක අඹ යහළුවකු මෙන් පෙනී සිට පසුව හදිසියේ තරහා වූ කෙනෙක් කල කී දෙයකින් සිදුවූ සිදුවීමකින් සිත රිදී මා මගේ බ්ලොගය වසා දමා නැවතත් කිසි දිනෙක සිංහලෙන බ්ලොග් නොලියන්නට තීරණය කලෙමි. මගේ ලිපි කියැවූ, අදහස් දැක්වූ සැමට තුති. මින් ඉදිරියට මා සිංහල බ්ලොග්කාරියක නොවෙමි. ඒ තීරණයට මම දහස් වර සතුටු වෙමි.

ආයුබෝවන්!!!

Wednesday 16 February 2011

ආදරයක තරම...

කුණාටුවකින් තම මව අහිමිවූ සුදු කොටි පැටවුන්ට අම්මා කෙනෙක්.... 





 

 

 

 


 

 

 

Sunday 13 February 2011

ඔබේ අදහස් ඕනෑ කර තිබේ......

මෙය මා ලියන පුවත්පත් ලිපියක් වෙනුවෙනි...

ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදර සම්බන්ධතාවයක් පටන්ගත් පසු, බොහෝ විට ගැහැණු ළමයා ගේ මුළු ලෝකයම පිරිමි ළමයා වේ. ඇය තම මිතුරන් සමග ගත කරන කාලයද අඩු වෙයි. ලැබෙන සෑම නිදහස් වෙලාවක්ම තම පෙම්වතා සමග ගත කිරීමට උත්සාහ කරයි.

එහෙත්, පිරිමි ළමයා තම මිතුරන් සමග රිසි සේ කාලය ගත කරයි. සම්බන්ධතාවය ඇරඹු පසුවත් ඔහු වෙනසක් නොමැතිව  මිතුරන් ඇසුරු කරයි.

කෙදිනක හෝ, එම සබඳතාවය බිදුණු පසු ගැහැණු ළමයා කිසිදු මිතුරියක නැතිව තනිවෙයි. පිරිමි ළමයාට එතරම් බලපෑමක් ඇති නොවේ.


මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? මෙම සිද්ධිය සත්‍යද? එසේ වන්නේ ඇයි?  ඔබේ අදහස් පළ කිරීමේදී සම්පුර්ණ නම, ඔබ කරන රැකියාව හෝ අධ්‍යාපනය ලබන ස්ථානය, දළ වශයෙන් වයස සඳහන් කරන්න. 

Friday 11 February 2011

මඩයා...



මඩයා ඒ කියන්නේ අද කතාවේ කතා නායකයා කවුද කියල අපේ බස් පදින ජනතාවට නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මඩයා හරි මඩ අය්යා හරි කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. මේ හාදය බ්ලොග් ලෝකේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. අවුලකට තියෙන්නේ මෙයාගේ යාලුවොන්ට හරිම වැඩ තමයි වෙන්නේ. මෙයාට නම් කිසිම අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා නෑ. ලිව්වොත් ලියන්නේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. එයා කියන විදියට නම් රහමෙර පානය නවත්තතන්නත් බැරි වෙලා තියෙන්නේ අපිට කියවන්න බ්ලොග් එකේ කතා ලියන්න කතා හොයාගන්න ඒ වගේ සෙට් වීම අත්‍යාවශ්‍ය නිසා.

ඉතින් කොහොමහරි මේ චරිතෙට අද පුදුම වැඩක් වෙලා. ලොකු දෙයක් නෙමෙයි ඉතින්. කවදාවත් කිසි දෙයක් වෙන්න නැති කෙනෙකුට ඉතින් පොඩි දෙයක් උනත් ඉතින් මදෑ. කොහොමහරි මේ පුද්ගලයා වෙච්ච සිද්ධිය කියලා ගූගල් බස් එකක් දැම්මම කට්ටිය like කරලත් තිබුනා.

දැන් ඉතින් අනං මනං කිව්වා ඇති. වෙච්ච දේ කියන්නම්කො. උදේ පාන්දර  නැගිටලා කාමරේ දොර අරින්න හදනකොට ලොක් එක කැඩිලා මඩ අයියා කාමරේ හිර වෙලා. උදව්වට යාලුවෙකුට කතා කරාම එය එන්නම් කියලා තියෙන්නේ 9 ට. මට ආරංචිය එනකොටත් 8 ට කිට්ටු කරලා මට මතක විදියට. අන්තිමට අපේ කතා නායකයා T.V . Series බල බල අමාරුවෙන් කාලේ ගෙවා ගත්තලු. පවු නේද? :)

Thursday 10 February 2011

තනිය...

තනිය සැපයි
එක්වී විදින දුකට වඩා...
අසන්නට කෙනෙක් නැත...
බලන්නට කෙනෙක් නැත...
අද මා පමණි...
ම ලෝකය කරකවමි
රිසි පරිදි...
යකා කළු නැත
සිතු තරම්....

Wednesday 9 February 2011

වෙන්වීම...

ගිනි ගෙන දැවී
හද මැදුර.....
දවා හළුවී ගිය කල
මහා වැස්සක් විත්
සෝදා හළේය
අන්තිම අළු ටික...
අවසානයේ....
මම තනිවීමි.......

Monday 7 February 2011

ගාන අඩු කිරීම...

මේ සිදධිය උනේ මමයි අත්තම්මයි හාඩ්වෙයාර් ෂොප් එකකට ගිය වෙලාවක. අපි ගියේ යකඩ දැල් රෝලක් අරන් එන්න. මම නම් ඒ කඩේට ගිය පලවෙනි වතාව. අත්තම්මගේ කතාවෙන් නම් තේරුනා සැහෙන කලෙක ඉඳං ඒ කඩේ අය අඳුරනවා කියල.

අපි ඉතින් ගිහිල්ල එක එක ජාතියේ දැල් බලල අන්තිමට එක වර්ගයක් ගන්නවා කියල තීරනය කරා. ඊටපස්සේ අත්තම්ම කඩේ හිටපු මුදලාලි ගෙන් ඇහුවා "පුතේ, මේකේ ගාන කීයද?" කියල. මුදලාලි කිව්වා "අඩියක් 120 යි" කියල.

ඊටපස්සේ අපේ අත්තම්මා කියනවා "අඩු කරලා දෙන්න, තාත්තා හිටියා නම් හොඳටම අඩු කරලා දෙනවා" කියලා.

ඊටපස්සේ මුදලාලි කිව්වා "එහෙනම් 100 ගානේ දෙන්නම්" කියලා. අත්තම්මත් ඉතින් අඩි 10 ක් දැල් දෙන්න කිව්වා.

පස්සේ මං ලඟට ඇවිත් හීං සැරේ කියනවා "මෙයාගේ තාත්තා හිටිය නං සතයක්වත් අඩු කරන්නේ නෑ. මිනිහා කුණු ලෝබයා" කියල.

මම හිනාව තද කරගත්තේ බොහොම අමාරුවෙන්.


Sunday 6 February 2011

ඉල්ලං මඩ කෑම....

අද ඉරිදා දවසේ මම ඉතින් පොතකුත් තියාගෙන උදේ ඉඳන්ම කියව කියව හිටියා. පොත කියවන්න පටන් ගත්තේ නම් ඊයේ. ඊයෙත් රෑ වෙනකම්ම කියවල අදත් කියවල තමයි පොත් ඉවර කරගත්තේ. මං ජීවිතේ කියවපු හොඳම කතාව කියලා මට හිතුනේ. එච්චරටම ලස්සනයි. ආදර කතාවක් නම් නෙමෙයි ඉතින්. ත්‍රාසජනක නව කතාවක්. කතාවේ නම "The Pelican Brief" ලියල තියෙන්නේ "John Grisham". පොත් කියවන කෙනෙකුට නම් මේ නම අලුත් එකක් නෙවෙයි.

 ඔහොම ඉතින් ඕක කියවලා ඉවර වෙලා සන්තෝසේ දරාගන්න බැරුව මං මුණු පොතේ status එකක් දැම්ම "John Grisham, I love you!" කියල. ඒක දාල විනාඩි 5 ක් ගියේ නෑ, මෙන්න මට මූණු පොතට පන්විඩයක් එනවා.  "අපෝ චාටර් කොට්ට මාරු කරනවා වගේනේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා මාරු කරන්නේ" කියලා. ඕක දැකල මට දැන් මැරෙන්න හිනා. මෙයා හිතල තියෙන්නේ John Grisham කියන්නේ මගේ කොල්ලා කියල. ඊටපස්සේ චැට් එකකින් ගිහින් නෝන්ඩියක් දැම්මම මෙයාට තේරුණා වැඩේ අවුල් උන කියල. 

"අපි ඉතින් කඩ්ඩ පොත් කියවන්නේ නැනේ. ඒ නිසා දන්නේ නෑ" කියලා ශේප් උනා. ඊටපස්සේ තමා හොඳම කතාව කිව්වේ. ඒක මන් කියනවට වඩා එයා කියපු එකම දැම්ම නම් හොඳයි කියල හිතුනා.

*****: ehenam oyage blog 1ke matath madak gahannako (එහෙනන් ඔයාගේ බ්ලොග් එකේ මටත් මඩක් ගහන්නකෝ)
මම : ane mang eke katavath mada gahanne na13:51    (අනේ මන් එකේ කාටවත් මඩ ගහන්නේ නෑ)
****: neththe ne (නැත්තේ නෑ)
apo (අපෝ)
mada kariyek wage (මඩ කරියෙක් වගේ)

ඔන්න ඉතින් මං එයාගේ ඉල්ලීම ඉෂ්ට කරා. නැත්නම් හොඳ නැනේ. :) ඔය සිද්දියෙන් පස්සේ මම status පොඩ්ඩක් modify කරලා අපහු දැම්මා. ඒකට එයා කමෙන්ට් කරලා තිබ්බා. :) :)

Tuesday 1 February 2011

අතීතය..

මතක පිටු අතරේ
නුඹ රුව මැවේ
නුඹ හඬ ඇසේ...
යන්නට ඇත්නම් ආයෙත්...
ඒ සොදුරු විදුබිමට....
උනා නම් ආයෙත්
පාසල් සිසුවියක්...
දුව පැන ඇවිදී
කෙලිකම් කරමින් සිටි
ඒ විදු පියසේ සරන්නට
මතක සයුර ආයෙත් කළබවන්නට......

Monday 31 January 2011

ගෙදර ප්‍රධානියා....

මේ කතාව කිව්වේ අපේ පාසලේ ගුරුතුමියකගේ දියණියක්. ඇය 3 වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. අප පාසලේම නිසා එයාගේ පන්ති ඉවර උනාම මෙයා එනවා අපිත් එක්ක කතා කර කර ඉන්න. මේකත් ඒ කතා කර කර හිටපු වෙලාවක කියපු දෙයක්.

ඒක සැරයක් මෙයාගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයක අහල තිබුනලු "ගෙදර ප්‍රධානියා කවුද?" කියල. හිතන්න පුලුවන්ද අපේ චුටි නෝනා දීල තියෙන උත්තරේ.

මෙය ලියලා ගෙදර ප්‍රධානියා බල්ලා කියල" අම්මත් ගුරුවරියක් නිසා වස ලැජ්ජාවලු. අපේ මල්ලිගේ ජාතියේම එක්කෙනෙක්. කොහොමහරි මෙයාට පස්සේ කියල දීලා "පුතේ ගෙදර ප්‍රධානියා තාත්තා නේ" කියල.

මෙයා ඔය කතාව අපිත් එක්ක කියල කියනවා. " ඒ වුනාට ගෙදර උයන්නේ අම්මනේ. මගේ වැඩ සේරම කරලා දෙන්නෙත් අම්මා නේ. එතකොට හරි නම් ගෙදර ප්‍රධානියා වෙන්න ඕනේ අම්මා නේද" කියල.

පොඩි ඒකාටත් තේරෙනවා ගෙදර වැදගත්ම පුද්ගලයා අම්මා කියල. :)

Thursday 27 January 2011

නිදහස......

මෙම අදහස් විමසුම අත ළඟ එන නිදහස් දිනය වෙනුවෙන් ලියවෙන පුවත්පත් ලිපියක් සඳහා වේ.

ඔබට නිදහස යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? නිදහස යන්නට ඔබේ වචනයෙන් දෙන නිරවචනය කුමක්ද?

අදහස් පළ කිරීමේදී ඔබේ සැබැ නම සඳහන් කරන්න. (මුළු නම අවශ්‍ය නොවේ)

Tuesday 25 January 2011

෴අම්මාට විහින් අහු වීම....෴

පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබිල දැන් තමයි පොඩ්ඩක් නිදහස් උනේ. ලියන්න වෙලාවක් තිබ්බෙත් නෑ, ලියන්න කතාවක් මතක් උනෙත් නෑ. කලින් දවසේ පොස්ට් එකක් ලියන දවසක කතාවක් මතක් උනා ඒක ලියන්නයි යන්නේ. මේක අවුරුදු ගණනාවක් පරණ කතාවක්. මට වෙච්ච රසවත්ම සිද්ධි වලින් එකක්. හැබැයි වෙනකොට නම් රසවත් උනේ නෑ. කරපු ලොකුම මෝඩකම කියල තමයි එදා හිතුනේ.

මේ කතාවට සම්බන්ධ මමයි, ලඟදි දවසක මාව කැන්දන් යන්න බලං ඉන්න කුමාරයයි. කුමාරය ගැන මීට කලින් මම කියල තියනවා. අපේ ගණිත පන්තියේ හිටි කොල්ල තමා  ඉතින්.

මේ සිද්ධිය උනේ සිංහල අවුරුද්ද කිට්ටු කරලා. දවසක් අම්මයි මමයි අත්තම්මයි ගෙදර අනික් අයයි ගියා අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න. ගියේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඳුම් කඩේකට. මම ඔතනදි හැමෝම හරියන්නේ නෑ කියද්දි කලිසමක් ගත්තා. අනෙක් අය එපාම කිව්වා ඒක මට මදි කියල. ඒ කඩේ ඇඳලා බලන්න පහසුකම් නෑ. ඉතින් මගේ පණ්ඩිත කමට අරගෙන ආවට මොකද ගෙදර ඇවිල්ල බැලින්නම් කිට්ටු කරන්නවත් බෑ. වස ලැජ්ජාව දැන්. කියන්නවත් විදියක් නෑ කාටවත්.

ඊටපස්සේ කුමාරයට කතා කරලා කිව්වම එය කිව්වා පහුවදා මගේ පන්තියකින් පස්සේ යමු කියල. එදා පන්තිය කලිනුත්  ඇරියා. දැන් ඉතින් ජෝඩුව ගිහින් කඩේ ඇවිදලා වෙන කලිසමකුත් අරගෙන කවුන්ටරේට ආවම ඒ මනුස්සයා කියනවා මගේ කලින් ගත්ත කලිසමට වඩා මේ කලිසම ලාබයි, සල්ලි දෙන්න බැරි නිසා ඒ ගානට වෙන මොනවහරි අරන් එන්න කියලා. ඊටපස්සේ ආයේ අපි ඇඳුම් පැත්තට. මෙන්න බොලේ අපේ අම්මත් ඉන්නවා.අපේ අම්මා කුමාරයාව දන්නවා උනාට මේ හුටපට දැනගෙන හිටියේ නෑ. අපි දෙන්න දැන් හොඳටම බය වෙලා. අම්ම දැක්ක විත්තියක් පෙනුනේ නෑ. හැබැයි මට හිතුනේ දැකල අහක බල ගත්තා කියල.

අපි ගන්න ගිය එකත් අතැරලා අයෙම කවුන්ටරේ ගාවට ආවා. ඒ ගොල්ලෝ මොකක්ද එකක් අර ගානට හරියන්න දුන්න අපි ඒකත් අරගෙන එලියට ආවා. දැන් දෙන්නා හොඳටම බය වෙලා. එලියට වෙලා මොනවාද කරන්නේ කියල කල්පනා කරනවා. මට හිතුනෙම අම්මා දැක්ක කියල. ඊටපස්සේ කුමාරයා කිව්වා අපි අම්මට ගිහින් කතා කරමු. දැන් මමත් ඉන්නවනේ ගෙදර ගියොත් ඔයාට තනියම මූණ දෙන්න වෙනවනේ කියල.

ඔහොම හිතල අපි කඩේ ඉස්සරහ දොර පැත්තට යනකොට අම්මා ඉන්නවා. මාත් කුමාරයට වැහිලා හිටියා. අම්මා එයාව දැක්ක විතරයි "පුතා කොහොමද? මෙහෙ මොකද කරන්නේ" කියල හොඳට සුහදව කතා කරනවා.
බලනකොට අම්මා අපිව දැකලා නෑ. අම්මා රත් උනේ එහා පැත්තේ මම ඉන්නවා දැකල. ඊටපස්සේ ඉතින් හොඳට අහගත්තා. දෙන්නම බැනුම් අහලා, කොහොමහරි ටික දවසකින් අම්ම කැමති උනා. තාත්තා කැමති වෙන්න නම් කාලාන්තරයක් ගියා.

ඔන්න ඔහොම තමයි අපි අම්මට බලෙන් අහු වුනේ. ......:) 

Thursday 20 January 2011

වෙනස

ගුරුවරියක් නොවුවානම්
සැනසීමෙන්
පියනගන්නට තිබුනා පාසලට,
කණිසමටත් පසුව....!


ප.ලි: ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ටීචර් ලාගෙන් බැනුම් අහන්න වෙයි ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල බයට වේලාසන ඉස්කෝලේ යන්න දඟලනවා. දැන් රතු ඉරට කලින් ඉස්කෝලේ යන්න දඟලනවා. 

අපිට වෙච්ච දේ...

ඊයේ දෙය්යනේ කියල දත කට මැදගෙන කාලෙකට පස්සේ ලිව්වා මදෑ. ටික වෙලාවකින් මඩ අයිති කාරයා අඩාගෙන එනවා කරපු වැඩේ සවුත්තුයි කියල, ඉතින් මමත් කලබල වෙච්ච පාර ඒක මකල දැම්ම. මටත් මාර අප්සෙට්.  මෙන්න එපාර හවස කියනවා "අපෝ ඔය හරි මෝඩයි, ලියපු එකත් මැකුව නේ " කියල. ඔය වෙලාවට නම් ඉතින් කියන්න ඕනේ ඒවා මතක වෙන්නෙත් නෑ.

කොහොමහරි කමක් නෑ සැහෙන කාලෙකට පස්සේ මාත් ඔන්න ලියන්න ආවා. රංග අය්යත් සෙන්චරිය ගහල ඉන්න වෙලාවේ හරි නැනේ මොකවත් නොලිව්වොත්. මම නම් ඉතින් ළමයෙක් ගේ කතාවක් නිසා සැහෙන්න දුක් වෙලා ලියන එකත් එපා වෙලා හිටියේ. දැන් ඉතින් ළමය වැඳලා සමත්ව අරගෙන තියෙන්නේ. ඒත් ඉතින් රිදුනු හිත සනීප වෙන්න නම් තව ටික දවසක් යාවී. එහෙම කියල නොලිය ඉන්නත් බැනේ.

හරි හමන් කතාවක් මතක වෙන්නෙත් නෑ ලියන්න. ඒ නිසා අදට මෙතනින් නවතිනවා. මට දැන් පොඩි කතාවක් මතක් වෙනවා වගේ, ඔන්න ඒක හෙටම ලියනවා. 

Wednesday 12 January 2011

෴ගුරු සිත නොරිදවා෴

ගුරු සිත රිදී
කවි සිත මැකී
ගලා යන සිහින් කඳුළු බිදුවක්
බොඳ කරවීය
දුටු ගුරු සිසු සිහින...

ලකුණකි දෙකකි
එය මුළු ලකුනටද නොදැනේ...
එහෙත් එය වටී
නුඹට
ගුරු සිතට වඩා...

දුටිමි සිහින
කප්පරක්...
අද එයද බොදවී...
ලෙන්ගතු නැති සිසු කැළ
පමණක් ඇත ඉතිරිවී......

Monday 10 January 2011

මවුනි දයාබර...

නේක වදනින්
ඔබව රිදවා
සතුටු වන්නට නොසිතුවෙමි
මම...
නමුදු...
ඔබේම ලෙයින් උපන්
මා හට
සමාව හිමි බව
තිර නිසාවෙන්
සිත නිදහස් කරගත
යුතු නිසාවෙන්....

ඔයා මැරි කරලද?

මේක උනේ අද මම බස් එකක් එනතුරු ඩුප්ලිකේෂන් පාරේ හිටගෙන් ඉන්නකොට. මම වැඩකට බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගොඩ වැදී ආපහු ගෙදර එන්න 112 බසයක් එනතුරු හිටියා. මම ඉතින් පදිංචිය නුගේගොඩ පැත්තේ නොවැ. ඒ නිසා 112 ක් එනකන් කට්ට කන එක ලේසියි වෙන බස් ගන්නවට වඩා. ඔහොම ඉතින් කට්ට කකා ඉන්න කොට ඔතනට ආපු තවත් හාදයෙක් මගේ දිහා බලල හොඳට අදුනනව වගේ හිනා පානවා. මාත් බැලුව කවුද බොල මේ කියලා. දැකල පුරුදු ගතියක් වත් නෑ.

ටික වෙලාවකින් මෙන්න මේ මනුස්සය මගේ පැත්තට එනවා. මාත් අහක බලාගන්න හදනකොටම, 'ඔයා බණ්ඩාරවෙල නේද?" කියල ඇහුව. මට හිතුනා යන්තම් හරි මාව දන්න මනුස්සයෙක් වෙන්න ඇති කියල. මං කිව්වා ඔව් කියල. ඉස්කෝලේ නමත් කියල ඇහුවා, මං ඒකටත් ඔව් කීවා. මටත් ඉතින් කට වහගෙන ඉන්න බෑනේ. මාත් ඇහුවා "ඔයා බණ්ඩාරවෙලද? මං නම් දැකල නෑ කියල. " "මිනිහ කිව්වා ඔව් කියල. මාත් ඉතින් එක අහගෙන සද්ද නැතුව ඉන්න යන කොට මගෙන් මෙයා සැහෙන ප්‍රශ්න අහනවා. ඉන්ටර්විව් එකක් වගේ. මේ කොහෙද යන්නේ? මෙහෙ මොකද කරන්නේ? වගේ රටේ නැති ඒවා. මාත් ඉතින් වචනෙන් දෙකෙන් උත්තර දීල බේරෙන්න හදන කොට, මෙයා නවත්තන්නේ ම නෑ..

ඔහොම ටික වෙලාවක් යද්දී මේ මිනිහ අහනවා "ඔයා මැරි කරලද?" කියල. මං කිව්වා "ඔව් මේ අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ කියල. මේක කිව්වා විතරයි මිනිහ ටිකක් එහාට වෙලා ෆෝන් එකත් සාක්කුවෙන් එලියට  අරගෙන කෝල් එකක් ඩයල් කරලා කනේ ගහ ගත්තා. මට කතා කරේ නැති ගානට පැත්තකට වෙලා.

එතකොටනේ මට තේරුනේ මිනිහා මොකටද ආවේ කියල. :) හොඳ වෙලාවට බේරුනේ.

Friday 7 January 2011

අර තියෙන්නේ අපේ ගෙදර!

මේකත් ඉතින් මං කරපු වික්‍රමයක් තමයි. මේක මං ගිය මොන්ටිසොරියේදී වෙච්ච කතාවක්. මාව අනෙක් ළමයින්ට වඩා අවුරුද්දක් කලින් මොන්ටිසෝරි දැම්මා තාත්තාට මාව තනියම බල ගන්න බෑ කියල. එතකොට මොකක්හරි හේතුවක් හින්ද අම්මා කොළඹ ඇවිත් හිටියේ මල්ලිත් එක්ක. මමයි තාත්තයි බණ්ඩාරවෙල හිටියේ. එහෙම ඉඳලත් මොන්ටිසෝරි යන්න බෑ කියල සෙල්ලම් දාපු නිසා වැඩි දවසක් යන්න කලින් මාව එහෙං අස් කරගෙන ඇවිත් කොළඹ මොන්ටිසොරියකට දැම්ම. මං ඉතින් මොන්ටිසෝරි දෙකකට ගිහින් තියෙනවා.

ඉතින් ඔය බණ්ඩාරවෙල මොන්ටිසෝරියේ ඉන්නකොට ළමයි එකතු උනාම විස්තර අහනව ගෙදර විස්තර එහෙම. පොඩි කියල වෙනසක් නෑ. මගෙනුත් ඔහොම ප්‍රශ්න ගොඩක් අහල අන්තිමට අහන්නේ ගෙදර කොහෙද කියලා. ඒ දවස් වල නමකින් තැනක් කියන්න දන්නේ නෑනේ. මං ඉතින් කියන්නේ මෙතනින් පාර දිගේ ගිහිල්ලා මේ කන්ද නැගල ඊළඟ කන්ද බැහැලා එතනින් එන පාරෙන් හැරිලා යන්න තියෙන්නේ කියල. ඕක ඉතින් හැමෝටම කියන්න ගියාම වාතයක් වෙනවානේ. ටික දවසක් යනකොට මට ඒක කියන එක එපා උනා.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කොහෙද ඔයාලගේ ගෙදර තියෙන්නේ " කියල. මං ටක් ගාලා අත දිගෑරල "අර තියෙන්නේ අපේ ගෙදර කියල" මොන්ටිසොරිය ඉස්සරහ තිබ්බ ගෙදරක් පෙන්නුවා.
ඊටපස්සේ දවසක අම්ම ගෙදර ආවම මං අම්මට   ' අම්මේ අර ළමය ඇහුවා නේ අපේ ගෙදර කොහෙද කියලා , මං පෙන්නුවා ඉස්සරහ ගෙදර කියල" කියල කිව්වා. අම්ම අර කියපු ලමයව දන්නවා, එයාගේ අම්මයි තාත්තයි අපේ අම්මගේ යාලුවෝ.
අම්මා මගේ කතාව අහගෙන ඉඳල ඒක පාරටම කිව්වේ "ඔයා පෙන්නලා තියෙන්නේ ඒ ළමයාගේම ගෙදර නේ."
එදයින් පස්සේ කවුරුහරි ගෙදර තියෙන තැන ඇහුවම මං කිව්වේ "ඒක තියෙන්නේ ගොඩාක් දුර කියල " විතරයි.

Thursday 6 January 2011

හැඟුම්.......

සත් වසකට පෙර ඇරඹි 
අප පාසල් ප්‍රේමය...
බාදක වැට කඩොලු,
සුන්දර මතක අතරින් 
ගලා ගිය අපේ ලෝකය...
අද..
නැවතී සොඳුරු මංසලක
අලුත් පැතුමන් හා එක්ව  ..
ඉබි ගමනින් යන කාලය 
රන් හුයෙන් අප බැදෙන 
දින තෙක් 
නොඉවසිල්ලෙන් මහද පුරවයි...

අපිට තේ දෙන්න!

මෙච්චර දවස් මං මල්ලිට වෙච්ච කතායි එය කියපු කරපු එවයි කිව්වා නේ. ඔය වගේම කතා සෙට් එකක් තියෙනවා මටත්. ඒවා ඉතින් වැඩිය කතා වෙන්නේ නෑ. මං ගෙදර ලොක්ක නේ.

දැන් වගේ නෙවෙයි ඉස්සර පොඩි කාලේ මගේ වැඩේ කියවන එකලු. තනියම ඉන්නකොටත් කතා කර කරලු ඉන්නේ. දැන් නම් එච්චර කතා කරන්නේ නෑ. ලියන එක තමා වැඩිපුර කරන්නේ. පොඩි මගේ කතා හින්ද අපේ අම්මටයි තාත්තාටයි වෙච්ච ඇබැද්දි ටිකක් තමයි මේ.

කතාව 1:

අම්මයි තාත්තයි දවසක් මාත් එක්ක කොහෙද ගමනක් යන කොට, තේ බොන්න කියල නැවත්තුවලු. තේ බොන්න කලින් මොනවහරි කන්නත් ගන්නවනේ. ඉතින් තාත්තා මගෙන් ඇහුවලු "මොනවාද පුතේ ඕනේ?" කියල.  මං ගත්තු කටටම හයියෙන් කෑගහල කිව්වලු "තාත්තේ මට අර උඩ තියෙන fan එක ඕනේ" කියල. කඩේ හිටිය හැමෝම හිනාවෙන්න ගත්තලු. අම්මයි තාත්තයි වැඩි වයසකත් නෙමෙයි ඉඳල තියෙන්නේ. ලැජ්ජාවේ පන ගියාලු. කොහොමහරි හරි අමරුවෙන්ලු ශේප් කරගෙන එලියට අරන් ඇවිත් තියෙන්නේ.


කතාව 2. 

මේකත් ඉතින් මගේ කට ගැන තමා. අම්මයි තාත්තයි දවසක් මාව එක්කරගෙන තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු. යනකොට බිස්කට් එහෙම අරගෙන යනවනේ. ඉතින් ඔහොම අරගෙන ගිහින් තාත්තයි අම්මයි අර ගෙදර කට්ටියත් එක්ක බර කතාවක් ලු. ටික වෙලාවක් මං ඕක දිහා බලාගෙන ඉඳල කිව්වලු "අර බිස්කට් එක කඩල අපිට දීලා බොන්න මොනවහරි එහෙම ගෙන්න" කිව්වලු. අම්මටයි තාත්තටයි පොලොව පලාගෙන යන්න හිතුනලු. ඊටපස්සේ කොහොමහරි මාව එලියට එක්කරගෙන යන එක සැහෙන්න අඩු කරාලු.

Wednesday 5 January 2011

මල්ලියි මමයි....

ලියන්න දෙයක් නෑ කියලා උඩ බලාගෙන ඉන්න කොට තමා රංග අය්යාගේ අපේ නංගි පෝස්ට් එක කියෙව්වේ. මටත් මතක උනා මල්ලිටයි මටයි වෙච්ච ඇබැද්දියක්. මේක උනේ අපි තංගල්ලට ගිය අලුත. එතකොට මට අවුරුදු  8 ක් විතර ඇති මල්ලිට අවුරුදු 5 යි. එහෙ ගෙදරට ගිය අලුත වැඩිය බඩු තිබුනෙත් නෑ. අපිට ඕන හැටියේ දඟලන්න පුළුවන්.

අපිට හම්බවෙච්ච තව අලුත් දෙයක් තමයි ජනෙල වල ගහල තිබ්බ දැල්. අපි හිටපු බණ්ඩාරවෙල ගෙදර ඕව තිබුනේ නෑ. ඒ මදිවට එළියේ බිත්තියකුත් තිබ්බා හිල් හිල් තියෙන. (අනේ මන්ද ඒවාට මොනවා කියනවද කියල). කොහොමහරි ඕව දැක්කම මට මතක වෙච්ච් පලවෙනි දේ තමයි ඕවයේ නගින්න පුළුවන් නේද කියල. ඒ දවස් වල උඩවල් වල නගින පිස්සුවම තමා තිබ්බේ. හැබැයි හොරෙන් තමයි කලේ. දන්නවනේ කන්න වෙනවා කියල. ගේ ලගම තිබ්බ, කරපිංචා ගහක නගින්න ගිහිල්ල, එකේ පොඩි ගැට්ටක අඳුම පැටලිලා, කවුරුහරි එනකන් එල්ලිලා හිටපු දවසුත් තිබ්බා.

මේ කියන්න යන කතාව උනේ ජනේලේ ග්‍රිල් වල නගින්න ගිහින්. ඒ ගෙදර තිබ්බේ නිකන්ම මෝස්‌තර නැති කොටු කොටු ග්‍රිල්. ඒ නිසා නගින්න ලේසියි. දවසක් අම්මා අපි දෙන්නට දවාලේ බත් කව කවා හිටියා.  ඒ හිටපු  කාමරේ ඉඳං කුස්සියට ටිකක් යන්න ඕනේ. අම්ම වතුර ගේන්න එහෙම කුස්සියට යනකොට මන් කරන්නේ ජනේලේ දිගේ උඩට නගිනවා. අම්මා එන සද්දෙට ටක් ගාලා බහිනවා. ඕක බලන් ඉඳල මල්ලිත් නගින්න පටන් ගත්තා. අම්මා එනකොට දෙන්නම බහිනවා. අම්මා කොහොමහරි අපි දෙන්නටම කවලා, කෙහෙල් ගෙඩි අරන් එන්න ගිය අතරේ අපි ආපහු නැග්ගා. නැගල අම්ම එනවා ඇහෙනකොට මං බැස්සා, මල්ලිට කලබලේට බහින්න බැරි උනා. කොහොමහරි අම්ම එනකොටම එයා ජනේලෙන් ඇඳට වැටුනා.
ඇඳට වැටිලා මිනිහා දැන් නැගිටින්නේ නෑ. අම්මා බයවෙලා කෑගහනවා. මං කිව්වා 'නෑ එයා ඔය හිනා වේවි ඉන්නවා' කියලා. පස්සේ බැරිම තැන හරවලා බලනකොට වැටිච්ච වේගෙට එයාගේ අත වැලමිටින් කැඩිලා. එයා හොඳටම අඬනවා. අම්මා මට බනිනවා. ඒ අස්සේ තාත්තාත් ගෙදර නෑ මාතර ගිහිල්ලා. කොහොමහරි එයාවත් ගෙන්නවලා මෙයාව මාතර ඉස්පිරිතාලෙට ඇතුළු කරා. ඒ මදිවට මල්ලිට වෙන රෝගි තත්වයන් තිබ්බා. දැන් ඉස්පිරිතාලෙන් ඉල්ලනවා ඒ වාර්තා. ඒවා තිබුනේ බණ්ඩාරවෙල. ඊටපස්සේ අම්මයි මමයි රියදුරෙක් එක්ක රෑම බණ්ඩාරවෙල ගිහින් අර වෛද්‍ය වාර්තා ටික අරගෙන් අනෙත් පැත්තට මාතර ආවා. එවෙලේ ප්ලාස්ටර් එකක් එහෙම අතට දැම්මට පස්සේ සැහෙන කාලයක් වෙදගම බඩගෑව.

ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැග්ගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.

Monday 3 January 2011

මිස් ප්‍රින්සිපල්ද?

නත්තල් නිවාඩුවෙන් පස්සේ අලුත් අවුරුද්දේ ඉස්කෝලේ පටන් ගත්තේ අද. ළමයි බුලත් අරගෙන මුළු ඉස්කෝලේ පුරා ඇවිදිනවා. උසස් පෙළ හැර අනෙක් පන්ති වල වැඩක් නොකෙරුණ තරම්. මමත් අද වෙනදට වඩා පොඩ්ඩක් කලින් ඉස්කෝලේ ගියා. පලවෙනි දවස නිසා හොඳ නැනේ බෙල් ඒක ගහනකොට යන්න.

ඉස්සෙල්ලාම ගිහින් කිව්වා, මං 11 වසර පන්තිය කරන්න කැමතියි කියල. එකේ කතාව මං කලින් දවසක කිව්වනේ. එතකොට ඒ කාලසටහන් බාරව ඉන්න කෙනා කියනවා " ඔයා ඉතින් එදා ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඒක බාරගත්තා නම් ඉවරනේ" කියල. මාත් ඉතින් හිනා වෙලා නිකන් හිටියා.

ඔන්න ඉතින් දවස කොහොමහරි ගෙවුන. දැන් තමයි ඉතින් වැදගත්ම කතාව කියන්න යන්නේ.
විවේක කාලයෙන් පස්සේ මට තිබ්බේ උසස් පෙළ පන්තියක්. ඒකේ මම උගන්වමින් ඉන්නකොට පාට ඇඳුමකින් සැරසුණු දැරිවියක් පන්තියට ආවා.  මම හිතුවා පන්තියේ ළමයෙකුට පණිවිඩයක් කියන්න කියල. බලනකොට මට කතා කරන්න. මාත් බැලුවා මේ මොකද කියල.

ළමයා: මිස් ද character certificate ලියන්නේ?
මම: නෑ
ළමයා: මිස් ජනනි මිස් නේද?
මම: ඔව්
ළමයා: ආ එහෙනං මිස් තමයි ලියන්නේ.
මම: ඇත්තද? මම දැනගෙන හිටියේ නැනේ. කවුද කිව්වේ?
ළමයා:________________මිස් තමයි කිව්වේ.

බලනකොට ඒ ලමයව එවල තියෙන්නේ මට එදා ඔලුව අත ගාල හීන ටොක්කක් දීපු මිස්.
මොනවා කරන්නද මං ඉතින් ලියන්න බාර ගත්තා.

මන් ඔය කතාව ගිහිල්ල ගුරු කාමරේදී අපේ කට්ටියට කිව්වා. එතකොට මගේ යාලුවෙක් අනාගතේදී මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් කියල කෙටි සංවාදයක් රග දක්වල පෙන්නුවා.

ළමයා: මිස් ජනනි මිස්ද?
මම: ඔව්
ළමයා: ආ මිස් තමයි දැන් ප්‍රින්සිපල්!
මම: ඇත්තද?

මේ දවස් වල මට ලැබෙන තනතුරු හැටියට ඒක හම්බුනත් පුදුම වෙන්නේ නෑ. හපොයි මට වෙච්ච දෙයක්!

Sunday 2 January 2011

හනිමූන් එකේ රස...

මේක ඔන්න මට වෙච්ච දෙයක් නෙවෙයි. මේ දවස් වල එයාගේ මගුල් ගෙදරට ලෑස්ති වෙන යාලුවෙකුට වෙච්ච් කතාවක්. එයාගෙන් අවසර එහෙම අරගෙන තමයි මේ බය නැතුව ලියන්නේ. මේ යාළුවා හිටියේ එයාගේ අය්යලගේ ගෙදර. අය්යා නම් බැඳලා දරුවෙක් එහෙමත් ඉන්නවා. අය්යට ඉන්නේ 7 වසරේ ඉගෙනගන්න පොඩි දුවෙක්.

යාළුවාගේ මගුල් ගෙදර තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසවල. ඒ නිසා දැන් ඉඳන්ම ඒ ගෙදර සාකච්චා පවත්වනවලු තියෙන තැන, ඇඳුම්, සහ ශාලාව සරසන විදිය එහෙම ගැන. යාළුවා කොල්ලෙක්, එක කියල ඉන්න එපයි. කොල්ලගේ පාර්ශවයට නේ ඉතින් ඔය හනිමූන් යන තැන ගැන එහෙම තීරණය කරන්න තියෙන්නේ. අර අස්සේ ඕව ගැනත් කතා වෙනවලු. යාළුවා ඉතින් ඔය පොත් එහෙම අරගෙන එකේ තිබුණු 'chocolate fountain' එකක් ගැන එහෙම හරි උනන්දු වෙන හිටියලු.

කොහොමහරි දවසක් අර පොඩි දුව, යාළුවා ලඟට කිට්ටු වෙලා අහනවලු

 "බාප්පේ, ඔය හනිමූන් කියන්නේ රස දෙයක්ද?"
දැන් කොල්ලට කට උත්තර නෑලු. පොඩ්ඩක් හිනා වෙලා මෙයා ඇහුවලු
"ඇයි පුතේ එහෙම අහන්නේ?" කියලා.
" නෑ අපි decorations වලට  chocolate fountain එකයි  honeymoon එකයි දෙකම තියමු කියල."

Saturday 1 January 2011

ජයග්‍රාහකයා නම් කරන ලදී...

විනිසුරුවරුන් පැය ගානකට පසුව ඉතා වෙහෙස මහන්සි වී ජයග්‍රාහකයා පිළිබඳව තීන්දුවකට පැමිණ ඇත. ඔවුන්ගේ තීරණයට අනුව තරගයේ ජයග්‍රාහකයා  වන්නේ දෙසැම්බර් මාසය පුරාවට පොස්ට් 59 ලියු ජනනිය. රංග ලියා ඇත්තේ පොස්ට් 57 ක පමණි.

මේ පිළිබඳව අදහස් දක්වන රංග කියා සිටින්නේ "ජනනිට මගේ සුභ පැතුම්! ඒ උනාට මං පැරදුනේ නෑ. මං අනු ශුරතාවය දිනාගත්තා" 

මෙම තරගයේ අනු ශුරතාවයක් ලබා දෙන්නේද යන්න විනිසුරු මඩුල්ල යථා කාලයේදී තීරණය කරනු ඇත. 

අප මහජනතාවගෙන් තරගය පිලිබදව අදහස් විමසු විට ඔවුන් තම අදහස් ප්‍රකාශ කලේ මෙසේය. 

වයර් මාරුවූ තාක්ෂණික බ්ලොග් ලියන්නෙක්

මල කෝලං! ඕය වගේ තරග හොනද්යි වැඩ නැති අයට. මම නම් අවුරුද්දට 50 ක්‌ වත් ලිව්වේ නෑ.

නිතරම හිනාවෙන්නට අඩගහන බ්ලොග් ලියන්නෙක්

ඔය තරගේ නිසා අපිට තමයි මල වාතෙ... ඇයි ඉතින්  එකක් කියවලා ඉවර වෙලා වැඩක් කරන්න හදනකොට රීඩර් එක අළුත් වෙලා.. ආයෙ යන්න ඕන කියවන්න.... මීට පස්සෙ ඔය දෙන්න දවසකට එකකට වඩා වැඩියෙන් ලියලා තිබුනොත් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න තමයි හිතාගෙන ඉන්නේ...

තනිකමට බ්ලොග් ලියන්නෙක්

මමත් ඒක තමයි පහු ගිය කාලේ බැලුවේ, කියව ගන්න බැරි තරමට පොස්ට් දානවනේ
පූසන් සමාගමේ බ්ලොග්ලියන්නෙක්

දෙන්නාටම අපේ සුභ පැතුම්! අපේ නං වාර්තාව මාසෙට 20 යි. මේ දෙන්නා දවස් 3 න් එක කැඩුවනේ

සිතේ කල්පනාවන් ලියන බ්ලොග් ලියන්නෙක්

මොනවා නැතත් දෙන්නටම සුබ පතනවා! අර කලින් කිව්වා වාගේ අපට තමයි කරදරේ ඇයි එකක් කියවලා ඉවර වෙද්දී තව එකක් දානවනේ

කෙසේ හෝ ජයග්‍රාහීකාවගෙන් අදහස් විමසීමට අප ගත් උත්සාහය නිෂ්පල විය. ඇය බ්ලොගොරියාවට බෙහෙත් ගන්නට රෝහලට ගොස් සිටියාය. මෙය ලියන වේලාව වන තුරුත් ඇය පැමිණ සිටියේ නැත. රෝහලෙන් කල විමසුමකදී අපට දැනගන්නට ලැබුනේ ඇයගේ රෝගය උත්සන්න වී ඇති බැවින් නේවාසික ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි. 

අලුත් අවුරුද්දේ වාර්තාවක්‌!

අලුත් අවුරුද්දේ මුලින්ම කියන්නේ දෙසැම්බර් මාසයේ  නවක බ්ලොග් ලියන්නන් දෙදෙනෙක් අතර තිබු නිල නොලත් තරඟයක ගැනයි. ළඟදී බ්ලොග් ලියන්නට පටන් ගෙන බ්ලොගොරියාව හදාගත් ජනනී හා රයිස් කුකරයක්‌ නිසා බ්ලොග් ලියන්නට ආ රංග අතර "මාසයකට ලියු වැඩිම පොස්ට් ගණන" වාර්තාව සදහා පැවති නිල නොලත් තරගයේ ප්‍රථිපල ලබා දීම තව සුළු මොහොතකින් සිදු කෙරේ. ඒ සදහා විනිසුරු මඩුල්ලේ හොඳම
ගණිතඥයෝ දෙදෙනාගේ පොස්ට් ගණන් කරමින් පවතී.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ තරගකරුවන් නිල වශයෙන් තමා තරගයේ යෙදෙන බව නිල වශයෙන් ප්‍රකාශ නොකිරීමයි. එබැවින් තරගය ආරම්භ වූ දිනයක් නොමැති අතර අවසාන වුයේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේය.