Google+ Followers

Tuesday, 14 December 2010

සෙරෙප්පුවක් කල ජරමරයක්

සෙරෙප්පුවක් නිසා කන්න වෙච්ච කට්ටක් ගැන ලියවුනු බ්ලොග් එකක් කියවන කොට ඔන්න මටත් මතක් උන, මේ ලඟදි දවසක මටත් වෙච්ච අකරතැබ්බයක්. ඊට කලින් කියන්න ඕනේ, ඔය හැමෝටම වගේ මගෙත් සෙරෙප්පු නම් පාරේදී කැඩිලා ඇති අනන්තවත්. සමහර දාට ගමනක් පරක්කු වෙලා දුවනකොට ඔන්න කැඩෙනවා සෙරෙප්පුව. එතකොට නම් ඉතින් දෙය්යන්ගේම පිහිටයි. මේ කියන්න යන  කතන්දරේ උනේ මීට මාසෙකට විතර උඩදී. සෙරෙප්පුව අරගෙනත් වැඩි දවසක උනේ නෑ. වැඩි ගානකුත් දීලා ගත්තේ කඩේ මනුස්සයා 'හරිම හයියයි නෝනා, ලේසියට කැඩෙන්නේ නෑ" කියල  කියපු නිසා. ඔන්න ඉතින් දවසක්‌ මම ඉස්කෝලේ ඇරිලා හයියෙන් හයියෙන් ඇවිදගෙන ආවා බස් නැවතුම්පොළට. නවත්තල තියෙන්නේ මොන බස් එකද කියල බලන්න චුට්ටක් ඉස්සරහට යන්න හදනකොට ඔන්න ආවේ නැද්ද ආච්චි කෙනෙක් ඉස්සහරට. ඇඟේ හැප්පෙන්නේ නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්. ඒ කලබලේ එක්ක මට යන්තම් දැනුන සෙරෙප්පුවේ පටිය බුරුල් වෙනවා. බැලින්නම් ඇත්තටම පටිය කැඩිලා. දැන් මොනවා  කරන්නද, බස් එකේ නගින්නේ නැතුව ඉන්න හදනකොට කොන්දොස්තර මහත්තය ඇවිත් "ඇයි නෝනා සෙරෙප්පුව ගැලවුණද? "  කියල ඇහුව විදියට මේ ඇත්තටම කොන්දොස්තර කෙනෙක්ද කියලත් හිතුන. මන් ඉතින් ඒ මනුස්සයාගේ මූණ දිහා බලල හිනා වෙලා "ඔව්" කිව්වා. "කමක් නෑ නගින්න" කියල අ මනුස්සයා සුපුරුදු පරිදි අනික් මිනිස්සුන්ට අඬගහන්න පටන් ගත්ත. මත අමාරුවෙන් එල්ලෙන සේරෙප්පුවත් කකුලට තද කරගෙන නගින්න හදනකොට පලවෙනි පඩියෙදීම සෙරෙප්පුව කකුලෙන් බිමට වැටුන. මට දැන් කරගන්න දෙයක් නෑ. මිනිස්සු මගේ දිහා ඔරවා ඔරවා බලනවා. කොල්ලෝ නක්කලේට හිනා වෙනවා. මෙන්න එතකොට අර කොන්දොස්තර මහත්තය ඇවිත් සෙරෙප්පුව අරගෙන මගේ පතුල යටින් තිබ්බ. සාමාන්‍යයෙන් කොන්දොස්තරවරුන් වෙත තියෙන අප්‍රසාදය වෙනුවට, මට මහා පුදුද්මයක් ඇති උන. යන්තම් "ස්තුතියි' කියල මුමුනල මං ඒ මනුස්සයට හිනා උන. ඔන්න කොහොමහරි ගෙදර ගාව හෝල්ට් එකට ඇවිත් අයෙත් බහින්න යනකොට මෙන්න මේ සෙරෙප්පුව එල්ලෙන්න පටන් ගත්ත. මොනවා කරන්නද, සෙරෙප්පු දෙකම අතට අරගෙන, සෙරෙප්පු නැතුවම පර පැනල ගෙදර ගියා. සාරිය දිග නිසා කාටවත් එක එච්චර පෙනුනේ නෑ. වැසි දවසක්‌ නොවුණු නිසා මටත් අප්‍රසන්න උනේ නෑ. එත් ඉතින් මං පහුවදාම ගිහින් අලුත් සෙරෙප්පු කුට්ටමක් ගත්ත. එකවත් මගදී කැඩෙන්නේ නැතුව තිබුනොත් හොඳයි. එකත් ඉතින් වෙලාව තමයි!