Google+ Followers

Tuesday, 21 December 2010

"~~තැනේ හැටියට ඇඳුම~~"

ඊයේ අවුරුද්දේ අන්තිම පෝය නිසා මාත් ගෙදර ඈයොත් එක්ක ගියා පන්සලේ. ගියේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ පන්සලකට. හරියටම කියනවනම් සොලොස්මස්ථානවලින් එකක්.

 අපි අරන් ගිය මල් වලට අමතරව එලියෙනුත් මල් ටිකක් අරගෙන කෙලින්ම ගියේ බෝධිය දිහාවට. මල්ලිගේ අපලෙකට වෙච්ච භාරයක් නිසා පහන පූජාවක් කරන්නත් තිබුනා අපිට. සෙනගත් වැඩි නිසා ගිය වැඩේ කරගෙන ඉක්මනට එන්න අපි හැමෝටම උවමනාව තිබුන. ඔන්න ඔය අතරේ තමයි මට එතන ඉන්න අයගේ ඇඳුම් පේන්න පටන් ගත්තේ. මං ආයේ වට පිට බැලුව ආවේ පන්සලටම නේද කියල සැක හැර දැනගන්න. පුරුෂ පක්ෂයේ නම් ඉතින් කියන්න වැරැද්දක් තිබුනේ නෑ. අපේ කාන්තා පාර්ශවයේ ඇඳුම් තමා එතන කැපිලා පෙනුනේ. මට ඉතින් හිතුන හදිස්සියේ ටවුමට ආපු ගමන් පෝය කියල මතක් වෙලා පන්සල් ආවද කියල

එතන හිටිය ලස්සන පොඩි දුවෙක්, චූටිම චූටියි. වැඩිම උනොත් අවුරුදු 4 ක් විතර ඇතියි. ලස්සන ළමා සාරියක් එහෙම අන්දලා මල් වට්ටියක් අතින් අරගෙන ඉන්න හැටි දැක්කම හරි ආස හිතුන. එයා ඇවිත් ඉන්නේ කාත් එක්කද කියල බලනකොට තමයි අම්මගේ ඇඳුම දැක්කේ. හිරට හිරේ සුදු පාට කලිසමකුයි, ඒ වගේම හිර ටී ෂර්ට් එකකුයි ඇඳලා අමාරුවෙන් අර දරුවා ලඟින් ඇවිදිනවා. එයා ඉතින් සිහින් අඟපසඟ ඇත්තියකුත් නොවූ නිසා, අවට හිටපු පුරුෂ පාර්ශවය එක හිතකින් බුදුන් වැන්දාද කියල මට හිතුන.
ඔන්න එයා දැකල වැඩි වෙලාවක් ගියේ නෑ, එතන හිටියා තවත් කීප දෙනෙක් යන්නේ පන්සල් කියල අමතක උනු. එක කාන්තාවක් හිටියා තද නිල් පාට ඇඟටම හිරවුණු ඩෙනිමක් ඇඳලා, තද කහපාට ටී ෂර්ට් එකකින් සැරසිලා, ඒකටම ගැලපෙන්න කහපාට ලොකු රවුමක් වගේ කරාඹු දාලා. එයත් එක්ක හිටපු අනික යාලුවත් ඒ වගේම ඇඳුමක්ඇඳගෙන හිටියේ. එයා නම් කලිසම දණහිස ගාවටම නවාගෙනත් හිටියේ. ‘සන් ග්ලාස්’ දෙකකුත් ඔලුවට දාගෙන හිටියා.

හොඳම කතාව තමයි මං ඒ දෙන්නව පහු කරගෙන යනකොට මට ඇහුන අර ‘සන් ග්ලාස්” දාගෙන හිටපු කෙනා අනික් කෙනාගෙන් අහනවා “බෝධියට වතුර දාන්න යනකොට බෝධියට වඳින ගාථාව කිය කියා යනවා නේද?” කියල. ගාථාව වත් එයාලා දැනගෙන හිටියද කියල මට පොඩි ප්‍රශ්නයක් ආවා.
කොහොමහරි මට ඊයේ හිතුනේ, අඩුම ගානේ පන්සලට ගෞරවයක් විදියට වත් පිළිවෙලට ඇදගෙන පන්සල් එන්න බැරි නම් අඩුම ගානේ පිරිමි පාර්ශවයට නිදහසේ වඳින්න දෙනවා කියල හිතා ගෙනවත් හොඳට ඇන්දොත් හොඳයි නේද?