
හොඳින් කල්පනා කල විට මට මා දුරකථනය මිලදී ගත් බව මතක් වේ. එයනම් දැන් සැහෙන්න පරණ පාටය. දුටු කෙනෙකු සිතන්නේ අරගෙන අවුරුදු ගානක් ගතවී ඇත කියාය. කෙසේ වෙතත් මතක් කර බැලු විට මාස 7 කි. වැඩි කලක් නැත.
ඊට පසු මතක් වන්නේ මා එවක සේවය කල ජාත්‍යන්තර පාසලේ දෙවන වාරයේදී, වාරයටම නිවාඩු 3 ක් ගත් බැවින් දින 4 ක් බැනුම් අසන්නට වූ සැටිය. එය නම් මට කිසිදා අමතක නොවන සිද්දියකි.
ඉන්පසුව සැප්තැම්බරයේ ඇරඹි නව වාරයේ මම එහි ගණිත ගුරුතුමියට අමතරව සිංහල ගුරුත්මියද, බුද්ධාගම ගුරුතුමියද, සහ තව බොහෝ විෂය භාර ගුරුතුමියක වීමී. ඒ අතුරින් ගණිතය හැර අනෙක් බොහෝ විෂයන් මාද දැන සිටියේ අල්ප වශයෙනි. කෙසේ හෝ මා ඒවා ඉගැන්නුවෙමි. උගන්නට ගොස් ඇන ගත් වාරද ඇත.
ඔය කාලයේ මගේ පෙර පිනකට ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වූ තරග විභාගය මා සමත්ව, එයින් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂනයෙන්ද සමත්වුනෙමි. පුහුණුවකින් පසු මට දැනට උගන්වන පාසැලට පත්වීම ලැබුණි. 2010 වසරේ මට වූ හොඳම දෙය එයයි. එයින් පසු මගේ ජීවිතය තරමක් හෝ සුන්දර විය. මුල් දවසේ මෙම පාසලට ගිය දවසේ එහි වූ ගුරු නිවාඩු ලේඛනය දැක මට ප්‍රීතියක් ඇති විය. මෙහි ගුරුවරු රිසිසේ නිවාඩු ගනිති.
දෙසැම්බර් මාසයේ මා මෙම බ්ලොගය පටන් ගතිමි. එය ගොස් ඇති දුර හැමදෙනාම ම දනී. ඒ නිසා ඒ ගැන මා කිව යුතු නැත.
වසර අවසානයට පෙර බ්ලොගයෙන් මා ගැසූ මඩ තොප්පියක් කණියා මල්ලි ඇද තම හිස මත පළන්දා ගෙන 'කෙකිට වාරයක් නම් තිත්තයාට වාරයක් ද ඇතැයි' යයි පවසා තිබුන බවද ආරංචි විය. තිත්තයාට වාරයක් ලබන අවුරුද්දේ වත් නොලැබෙවායි ප්‍රාර්ථනා කරමි.
ඒ කෙසේ වෙතත් ඊළඟ අවුරුද්ද එනතෙක් මා ඇඟිලි ගනිමින් බලා සිටිමි. ඒවා ගැන අසා පලක් නැත. ඒවා කීමට මගේ බලාපොරොත්තුවක්ද නැත.
අවසානයේ, මේ අවුරුද්දේ මගේ කතා කියවූ, නොකියවූ, කොමෙන්ටු දැමු නොදැමූ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභ නව වසරක් පතමි!!