Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

Monday, 7 February 2011

ගාන අඩු කිරීම...

මේ සිදධිය උනේ මමයි අත්තම්මයි හාඩ්වෙයාර් ෂොප් එකකට ගිය වෙලාවක. අපි ගියේ යකඩ දැල් රෝලක් අරන් එන්න. මම නම් ඒ කඩේට ගිය පලවෙනි වතාව. අත්තම්මගේ කතාවෙන් නම් තේරුනා සැහෙන කලෙක ඉඳං ඒ කඩේ අය අඳුරනවා කියල.

අපි ඉතින් ගිහිල්ල එක එක ජාතියේ දැල් බලල අන්තිමට එක වර්ගයක් ගන්නවා කියල තීරනය කරා. ඊටපස්සේ අත්තම්ම කඩේ හිටපු මුදලාලි ගෙන් ඇහුවා "පුතේ, මේකේ ගාන කීයද?" කියල. මුදලාලි කිව්වා "අඩියක් 120 යි" කියල.

ඊටපස්සේ අපේ අත්තම්මා කියනවා "අඩු කරලා දෙන්න, තාත්තා හිටියා නම් හොඳටම අඩු කරලා දෙනවා" කියලා.

ඊටපස්සේ මුදලාලි කිව්වා "එහෙනම් 100 ගානේ දෙන්නම්" කියලා. අත්තම්මත් ඉතින් අඩි 10 ක් දැල් දෙන්න කිව්වා.

පස්සේ මං ලඟට ඇවිත් හීං සැරේ කියනවා "මෙයාගේ තාත්තා හිටිය නං සතයක්වත් අඩු කරන්නේ නෑ. මිනිහා කුණු ලෝබයා" කියල.

මම හිනාව තද කරගත්තේ බොහොම අමාරුවෙන්.


Sunday, 6 February 2011

ඉල්ලං මඩ කෑම....

අද ඉරිදා දවසේ මම ඉතින් පොතකුත් තියාගෙන උදේ ඉඳන්ම කියව කියව හිටියා. පොත කියවන්න පටන් ගත්තේ නම් ඊයේ. ඊයෙත් රෑ වෙනකම්ම කියවල අදත් කියවල තමයි පොත් ඉවර කරගත්තේ. මං ජීවිතේ කියවපු හොඳම කතාව කියලා මට හිතුනේ. එච්චරටම ලස්සනයි. ආදර කතාවක් නම් නෙමෙයි ඉතින්. ත්‍රාසජනක නව කතාවක්. කතාවේ නම "The Pelican Brief" ලියල තියෙන්නේ "John Grisham". පොත් කියවන කෙනෙකුට නම් මේ නම අලුත් එකක් නෙවෙයි.

 ඔහොම ඉතින් ඕක කියවලා ඉවර වෙලා සන්තෝසේ දරාගන්න බැරුව මං මුණු පොතේ status එකක් දැම්ම "John Grisham, I love you!" කියල. ඒක දාල විනාඩි 5 ක් ගියේ නෑ, මෙන්න මට මූණු පොතට පන්විඩයක් එනවා.  "අපෝ චාටර් කොට්ට මාරු කරනවා වගේනේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා මාරු කරන්නේ" කියලා. ඕක දැකල මට දැන් මැරෙන්න හිනා. මෙයා හිතල තියෙන්නේ John Grisham කියන්නේ මගේ කොල්ලා කියල. ඊටපස්සේ චැට් එකකින් ගිහින් නෝන්ඩියක් දැම්මම මෙයාට තේරුණා වැඩේ අවුල් උන කියල. 

"අපි ඉතින් කඩ්ඩ පොත් කියවන්නේ නැනේ. ඒ නිසා දන්නේ නෑ" කියලා ශේප් උනා. ඊටපස්සේ තමා හොඳම කතාව කිව්වේ. ඒක මන් කියනවට වඩා එයා කියපු එකම දැම්ම නම් හොඳයි කියල හිතුනා.

*****: ehenam oyage blog 1ke matath madak gahannako (එහෙනන් ඔයාගේ බ්ලොග් එකේ මටත් මඩක් ගහන්නකෝ)
මම : ane mang eke katavath mada gahanne na13:51    (අනේ මන් එකේ කාටවත් මඩ ගහන්නේ නෑ)
****: neththe ne (නැත්තේ නෑ)
apo (අපෝ)
mada kariyek wage (මඩ කරියෙක් වගේ)

ඔන්න ඉතින් මං එයාගේ ඉල්ලීම ඉෂ්ට කරා. නැත්නම් හොඳ නැනේ. :) ඔය සිද්දියෙන් පස්සේ මම status පොඩ්ඩක් modify කරලා අපහු දැම්මා. ඒකට එයා කමෙන්ට් කරලා තිබ්බා. :) :)

Tuesday, 25 January 2011

෴අම්මාට විහින් අහු වීම....෴

පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබිල දැන් තමයි පොඩ්ඩක් නිදහස් උනේ. ලියන්න වෙලාවක් තිබ්බෙත් නෑ, ලියන්න කතාවක් මතක් උනෙත් නෑ. කලින් දවසේ පොස්ට් එකක් ලියන දවසක කතාවක් මතක් උනා ඒක ලියන්නයි යන්නේ. මේක අවුරුදු ගණනාවක් පරණ කතාවක්. මට වෙච්ච රසවත්ම සිද්ධි වලින් එකක්. හැබැයි වෙනකොට නම් රසවත් උනේ නෑ. කරපු ලොකුම මෝඩකම කියල තමයි එදා හිතුනේ.

මේ කතාවට සම්බන්ධ මමයි, ලඟදි දවසක මාව කැන්දන් යන්න බලං ඉන්න කුමාරයයි. කුමාරය ගැන මීට කලින් මම කියල තියනවා. අපේ ගණිත පන්තියේ හිටි කොල්ල තමා  ඉතින්.

මේ සිද්ධිය උනේ සිංහල අවුරුද්ද කිට්ටු කරලා. දවසක් අම්මයි මමයි අත්තම්මයි ගෙදර අනික් අයයි ගියා අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න. ගියේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඳුම් කඩේකට. මම ඔතනදි හැමෝම හරියන්නේ නෑ කියද්දි කලිසමක් ගත්තා. අනෙක් අය එපාම කිව්වා ඒක මට මදි කියල. ඒ කඩේ ඇඳලා බලන්න පහසුකම් නෑ. ඉතින් මගේ පණ්ඩිත කමට අරගෙන ආවට මොකද ගෙදර ඇවිල්ල බැලින්නම් කිට්ටු කරන්නවත් බෑ. වස ලැජ්ජාව දැන්. කියන්නවත් විදියක් නෑ කාටවත්.

ඊටපස්සේ කුමාරයට කතා කරලා කිව්වම එය කිව්වා පහුවදා මගේ පන්තියකින් පස්සේ යමු කියල. එදා පන්තිය කලිනුත්  ඇරියා. දැන් ඉතින් ජෝඩුව ගිහින් කඩේ ඇවිදලා වෙන කලිසමකුත් අරගෙන කවුන්ටරේට ආවම ඒ මනුස්සයා කියනවා මගේ කලින් ගත්ත කලිසමට වඩා මේ කලිසම ලාබයි, සල්ලි දෙන්න බැරි නිසා ඒ ගානට වෙන මොනවහරි අරන් එන්න කියලා. ඊටපස්සේ ආයේ අපි ඇඳුම් පැත්තට. මෙන්න බොලේ අපේ අම්මත් ඉන්නවා.අපේ අම්මා කුමාරයාව දන්නවා උනාට මේ හුටපට දැනගෙන හිටියේ නෑ. අපි දෙන්න දැන් හොඳටම බය වෙලා. අම්ම දැක්ක විත්තියක් පෙනුනේ නෑ. හැබැයි මට හිතුනේ දැකල අහක බල ගත්තා කියල.

අපි ගන්න ගිය එකත් අතැරලා අයෙම කවුන්ටරේ ගාවට ආවා. ඒ ගොල්ලෝ මොකක්ද එකක් අර ගානට හරියන්න දුන්න අපි ඒකත් අරගෙන එලියට ආවා. දැන් දෙන්නා හොඳටම බය වෙලා. එලියට වෙලා මොනවාද කරන්නේ කියල කල්පනා කරනවා. මට හිතුනෙම අම්මා දැක්ක කියල. ඊටපස්සේ කුමාරයා කිව්වා අපි අම්මට ගිහින් කතා කරමු. දැන් මමත් ඉන්නවනේ ගෙදර ගියොත් ඔයාට තනියම මූණ දෙන්න වෙනවනේ කියල.

ඔහොම හිතල අපි කඩේ ඉස්සරහ දොර පැත්තට යනකොට අම්මා ඉන්නවා. මාත් කුමාරයට වැහිලා හිටියා. අම්මා එයාව දැක්ක විතරයි "පුතා කොහොමද? මෙහෙ මොකද කරන්නේ" කියල හොඳට සුහදව කතා කරනවා.
බලනකොට අම්මා අපිව දැකලා නෑ. අම්මා රත් උනේ එහා පැත්තේ මම ඉන්නවා දැකල. ඊටපස්සේ ඉතින් හොඳට අහගත්තා. දෙන්නම බැනුම් අහලා, කොහොමහරි ටික දවසකින් අම්ම කැමති උනා. තාත්තා කැමති වෙන්න නම් කාලාන්තරයක් ගියා.

ඔන්න ඔහොම තමයි අපි අම්මට බලෙන් අහු වුනේ. ......:) 

Monday, 3 January 2011

මිස් ප්‍රින්සිපල්ද?

නත්තල් නිවාඩුවෙන් පස්සේ අලුත් අවුරුද්දේ ඉස්කෝලේ පටන් ගත්තේ අද. ළමයි බුලත් අරගෙන මුළු ඉස්කෝලේ පුරා ඇවිදිනවා. උසස් පෙළ හැර අනෙක් පන්ති වල වැඩක් නොකෙරුණ තරම්. මමත් අද වෙනදට වඩා පොඩ්ඩක් කලින් ඉස්කෝලේ ගියා. පලවෙනි දවස නිසා හොඳ නැනේ බෙල් ඒක ගහනකොට යන්න.

ඉස්සෙල්ලාම ගිහින් කිව්වා, මං 11 වසර පන්තිය කරන්න කැමතියි කියල. එකේ කතාව මං කලින් දවසක කිව්වනේ. එතකොට ඒ කාලසටහන් බාරව ඉන්න කෙනා කියනවා " ඔයා ඉතින් එදා ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඒක බාරගත්තා නම් ඉවරනේ" කියල. මාත් ඉතින් හිනා වෙලා නිකන් හිටියා.

ඔන්න ඉතින් දවස කොහොමහරි ගෙවුන. දැන් තමයි ඉතින් වැදගත්ම කතාව කියන්න යන්නේ.
විවේක කාලයෙන් පස්සේ මට තිබ්බේ උසස් පෙළ පන්තියක්. ඒකේ මම උගන්වමින් ඉන්නකොට පාට ඇඳුමකින් සැරසුණු දැරිවියක් පන්තියට ආවා.  මම හිතුවා පන්තියේ ළමයෙකුට පණිවිඩයක් කියන්න කියල. බලනකොට මට කතා කරන්න. මාත් බැලුවා මේ මොකද කියල.

ළමයා: මිස් ද character certificate ලියන්නේ?
මම: නෑ
ළමයා: මිස් ජනනි මිස් නේද?
මම: ඔව්
ළමයා: ආ එහෙනං මිස් තමයි ලියන්නේ.
මම: ඇත්තද? මම දැනගෙන හිටියේ නැනේ. කවුද කිව්වේ?
ළමයා:________________මිස් තමයි කිව්වේ.

බලනකොට ඒ ලමයව එවල තියෙන්නේ මට එදා ඔලුව අත ගාල හීන ටොක්කක් දීපු මිස්.
මොනවා කරන්නද මං ඉතින් ලියන්න බාර ගත්තා.

මන් ඔය කතාව ගිහිල්ල ගුරු කාමරේදී අපේ කට්ටියට කිව්වා. එතකොට මගේ යාලුවෙක් අනාගතේදී මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් කියල කෙටි සංවාදයක් රග දක්වල පෙන්නුවා.

ළමයා: මිස් ජනනි මිස්ද?
මම: ඔව්
ළමයා: ආ මිස් තමයි දැන් ප්‍රින්සිපල්!
මම: ඇත්තද?

මේ දවස් වල මට ලැබෙන තනතුරු හැටියට ඒක හම්බුනත් පුදුම වෙන්නේ නෑ. හපොයි මට වෙච්ච දෙයක්!

Sunday, 2 January 2011

හනිමූන් එකේ රස...

මේක ඔන්න මට වෙච්ච දෙයක් නෙවෙයි. මේ දවස් වල එයාගේ මගුල් ගෙදරට ලෑස්ති වෙන යාලුවෙකුට වෙච්ච් කතාවක්. එයාගෙන් අවසර එහෙම අරගෙන තමයි මේ බය නැතුව ලියන්නේ. මේ යාළුවා හිටියේ එයාගේ අය්යලගේ ගෙදර. අය්යා නම් බැඳලා දරුවෙක් එහෙමත් ඉන්නවා. අය්යට ඉන්නේ 7 වසරේ ඉගෙනගන්න පොඩි දුවෙක්.

යාළුවාගේ මගුල් ගෙදර තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසවල. ඒ නිසා දැන් ඉඳන්ම ඒ ගෙදර සාකච්චා පවත්වනවලු තියෙන තැන, ඇඳුම්, සහ ශාලාව සරසන විදිය එහෙම ගැන. යාළුවා කොල්ලෙක්, එක කියල ඉන්න එපයි. කොල්ලගේ පාර්ශවයට නේ ඉතින් ඔය හනිමූන් යන තැන ගැන එහෙම තීරණය කරන්න තියෙන්නේ. අර අස්සේ ඕව ගැනත් කතා වෙනවලු. යාළුවා ඉතින් ඔය පොත් එහෙම අරගෙන එකේ තිබුණු 'chocolate fountain' එකක් ගැන එහෙම හරි උනන්දු වෙන හිටියලු.

කොහොමහරි දවසක් අර පොඩි දුව, යාළුවා ලඟට කිට්ටු වෙලා අහනවලු

 "බාප්පේ, ඔය හනිමූන් කියන්නේ රස දෙයක්ද?"
දැන් කොල්ලට කට උත්තර නෑලු. පොඩ්ඩක් හිනා වෙලා මෙයා ඇහුවලු
"ඇයි පුතේ එහෙම අහන්නේ?" කියලා.
" නෑ අපි decorations වලට  chocolate fountain එකයි  honeymoon එකයි දෙකම තියමු කියල."

Saturday, 1 January 2011

ජයග්‍රාහකයා නම් කරන ලදී...

විනිසුරුවරුන් පැය ගානකට පසුව ඉතා වෙහෙස මහන්සි වී ජයග්‍රාහකයා පිළිබඳව තීන්දුවකට පැමිණ ඇත. ඔවුන්ගේ තීරණයට අනුව තරගයේ ජයග්‍රාහකයා  වන්නේ දෙසැම්බර් මාසය පුරාවට පොස්ට් 59 ලියු ජනනිය. රංග ලියා ඇත්තේ පොස්ට් 57 ක පමණි.

මේ පිළිබඳව අදහස් දක්වන රංග කියා සිටින්නේ "ජනනිට මගේ සුභ පැතුම්! ඒ උනාට මං පැරදුනේ නෑ. මං අනු ශුරතාවය දිනාගත්තා" 

මෙම තරගයේ අනු ශුරතාවයක් ලබා දෙන්නේද යන්න විනිසුරු මඩුල්ල යථා කාලයේදී තීරණය කරනු ඇත. 

අප මහජනතාවගෙන් තරගය පිලිබදව අදහස් විමසු විට ඔවුන් තම අදහස් ප්‍රකාශ කලේ මෙසේය. 

වයර් මාරුවූ තාක්ෂණික බ්ලොග් ලියන්නෙක්

මල කෝලං! ඕය වගේ තරග හොනද්යි වැඩ නැති අයට. මම නම් අවුරුද්දට 50 ක්‌ වත් ලිව්වේ නෑ.

නිතරම හිනාවෙන්නට අඩගහන බ්ලොග් ලියන්නෙක්

ඔය තරගේ නිසා අපිට තමයි මල වාතෙ... ඇයි ඉතින්  එකක් කියවලා ඉවර වෙලා වැඩක් කරන්න හදනකොට රීඩර් එක අළුත් වෙලා.. ආයෙ යන්න ඕන කියවන්න.... මීට පස්සෙ ඔය දෙන්න දවසකට එකකට වඩා වැඩියෙන් ලියලා තිබුනොත් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න තමයි හිතාගෙන ඉන්නේ...

තනිකමට බ්ලොග් ලියන්නෙක්

මමත් ඒක තමයි පහු ගිය කාලේ බැලුවේ, කියව ගන්න බැරි තරමට පොස්ට් දානවනේ
පූසන් සමාගමේ බ්ලොග්ලියන්නෙක්

දෙන්නාටම අපේ සුභ පැතුම්! අපේ නං වාර්තාව මාසෙට 20 යි. මේ දෙන්නා දවස් 3 න් එක කැඩුවනේ

සිතේ කල්පනාවන් ලියන බ්ලොග් ලියන්නෙක්

මොනවා නැතත් දෙන්නටම සුබ පතනවා! අර කලින් කිව්වා වාගේ අපට තමයි කරදරේ ඇයි එකක් කියවලා ඉවර වෙද්දී තව එකක් දානවනේ

කෙසේ හෝ ජයග්‍රාහීකාවගෙන් අදහස් විමසීමට අප ගත් උත්සාහය නිෂ්පල විය. ඇය බ්ලොගොරියාවට බෙහෙත් ගන්නට රෝහලට ගොස් සිටියාය. මෙය ලියන වේලාව වන තුරුත් ඇය පැමිණ සිටියේ නැත. රෝහලෙන් කල විමසුමකදී අපට දැනගන්නට ලැබුනේ ඇයගේ රෝගය උත්සන්න වී ඇති බැවින් නේවාසික ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි. 

Friday, 31 December 2010

ආයුබෝවන් 2010 welcome 2011

2010 ගෙවී යමින් පවතී. අලුත් වසර උදවෙන්නට ඇත්තේ තව පැය කිහිපයක් පමණි. ඊට කලින් පරණ වසර ගැන ලියා අතීතාවර්ජනයක් කරන්නට මට සිතුනි. 2010 මුල් වකවානුවේ මට සුන්දර මතක නැති තරම්ය. වෙන තරමක් දේවල් උනේ මගේ කරුමෙටය.

හොඳින් කල්පනා කල විට මට මා දුරකථනය මිලදී ගත් බව මතක් වේ. එයනම් දැන් සැහෙන්න පරණ පාටය. දුටු කෙනෙකු සිතන්නේ අරගෙන අවුරුදු ගානක් ගතවී ඇත කියාය. කෙසේ වෙතත් මතක් කර බැලු විට මාස 7 කි. වැඩි කලක් නැත.

ඊට පසු මතක් වන්නේ මා එවක සේවය කල ජාත්‍යන්තර පාසලේ දෙවන වාරයේදී, වාරයටම නිවාඩු 3 ක් ගත් බැවින් දින 4 ක් බැනුම් අසන්නට වූ සැටිය. එය නම් මට කිසිදා අමතක නොවන සිද්දියකි.

ඉන්පසුව සැප්තැම්බරයේ ඇරඹි නව වාරයේ මම එහි ගණිත ගුරුතුමියට අමතරව සිංහල ගුරුත්මියද, බුද්ධාගම ගුරුතුමියද, සහ තව බොහෝ විෂය භාර ගුරුතුමියක වීමී. ඒ අතුරින් ගණිතය හැර අනෙක් බොහෝ විෂයන් මාද දැන සිටියේ අල්ප වශයෙනි. කෙසේ හෝ මා ඒවා ඉගැන්නුවෙමි. උගන්නට ගොස් ඇන ගත් වාරද ඇත.

ඔය කාලයේ මගේ පෙර පිනකට ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වූ තරග විභාගය මා සමත්ව, එයින් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂනයෙන්ද සමත්වුනෙමි. පුහුණුවකින් පසු මට දැනට උගන්වන පාසැලට පත්වීම ලැබුණි. 2010 වසරේ මට වූ හොඳම දෙය එයයි.  එයින් පසු මගේ ජීවිතය තරමක් හෝ සුන්දර විය. මුල් දවසේ මෙම පාසලට ගිය දවසේ එහි වූ ගුරු නිවාඩු ලේඛනය දැක මට ප්‍රීතියක් ඇති විය. මෙහි ගුරුවරු රිසිසේ නිවාඩු ගනිති.

දෙසැම්බර් මාසයේ මා මෙම බ්ලොගය පටන් ගතිමි. එය ගොස් ඇති දුර හැමදෙනාම ම දනී. ඒ නිසා ඒ ගැන මා කිව යුතු නැත.
වසර අවසානයට පෙර බ්ලොගයෙන් මා ගැසූ මඩ තොප්පියක් කණියා මල්ලි ඇද තම හිස මත පළන්දා  ගෙන 'කෙකිට වාරයක් නම් තිත්තයාට වාරයක් ද ඇතැයි' යයි පවසා තිබුන බවද ආරංචි විය. තිත්තයාට වාරයක් ලබන අවුරුද්දේ වත් නොලැබෙවායි  ප්‍රාර්ථනා කරමි.

ඒ කෙසේ වෙතත් ඊළඟ අවුරුද්ද එනතෙක්‌ මා ඇඟිලි ගනිමින් බලා සිටිමි. ඒවා ගැන අසා පලක් නැත. ඒවා කීමට මගේ  බලාපොරොත්තුවක්ද නැත.
අවසානයේ, මේ අවුරුද්දේ මගේ කතා කියවූ, නොකියවූ, කොමෙන්ටු දැමු නොදැමූ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභ නව වසරක් පතමි!!

වචනෙන් දෙන උදව්ව...

අපේ මල්ලි ගැන දැන් ඉතින් කට්ටිය දන්නවනේ.. දන්නේ නැති කට්ටිය මෙතනින් කියවන්න. පොඩි එකාගේ රචනාව, ටීම් ඒක,.දඹලාගේ නෑයා

මිනිහ ඉතින් මාර කම්මැලියා නේ. එයාගේ වැඩ මොකවත්ම කරගන්නේ නෑ. අම්මා තමයි ගොඩක් කරන්නේ. මාවයි, තාත්තවයිත් හොඳට කඩේ යවනවා. අපිත් එය පවු හින්ද කඩේ යනවා.

ඔන්න ඉතින් මේ ලගදී දවසක අම්මා එයාගේ කාමරේ අස් කරන්න ලැස්ති වෙලා. ලේසි නෑ එකත අස් කරන්න. දැන් අස් කරත් තව ටිකකින් බලද්දී කලින් තිබිච්ච විදියමයි. අම්මාත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ, පොඩි එකානේ කියල අස් කරනවා. හැබැයි පොඩ්ඩක් මල්ලි එකට උදවු කරන්නේ නම නෑ. එය කරන්නේ ඒ වෙලාවට කාමරෙන් එලියට යන ඒක විතරයි.

මේ ළඟදිත් ඕක කරන්න යනකොට මන් විහිළු කරා "මොනවාද හලෝ! ගිහින් උදව කරනවකෝ" කියල. දැන් ඉතින් මෙය හිටපු තැනින් නැගිටලා ගියා. මාත් හිතුවා අද නං වහී කියල.

ටික වෙලාවකින් මට ඇහෙනවා මෙයා අම්මාට කියනවා
"අම්මේ මේ වචනෙකින් කරන්න පුළුවන් උදව්වක් තියෙනවනං කියන්නකෝ" කියල.....

හීං ටොක්ක

අද ඉතින් අවුරුද්දේ අන්තිම දවසනේ. ඉස්කෝලේ පටන් ගන්න කලින් තියෙන අන්තිම සතියේ දවස. ඒ නිසාම ඉස්කෝලෙන් දාලා තිබ්බා ගුරු හමුවක්. ඔන්න ඉතින් ගුරු හමුවේදී අපේ අලුත් විදුහල්පතිනිය එහෙම කතා කරා.ගුරු හමුව අවසානයේ අපි ඉතින් ගුරු වරුත් එක්ක කතා කරන්න එහෙම ගියා.

කලින් වාරේ ඉවර වෙන දවසේ මට එවල තිබුන සාමාන්‍ය පෙළ ගණිතය කරන්න කියල දන්වල එවල තිබ්බා. අපි ඉතින් අලුතෙන් ගිය උසස් පෙළ ගුරුවරුනේ. උපාධියත් කරලා, ඊටපස්සේ ආණ්ඩුවෙන් තිබ්බ විභාගෙත් පාස් කරලා, සම්මුඛ පරීක්ෂණ වලට එහෙම පෙනී හිටලා හම්බෙච්ච රස්සාවනේ. අපිටත් ඉතින් උණ. මං ඉතින් අරගල කරා මට සාමාන්‍ය පෙළ පන්ති වලට උගන්න බෑ කියල. අපේ අංශ භාර ගුරුතුමීත් මට සපෝර්ට් එකට කාර්යභාර නියෝජ්‍ය විදුහල්පති ගාවට ගිහින් මේ කතන්දරේ කිව්වා. එයා ඉතින් පොරොන්දු උනා එක ගැන හොයල බලලා මොකක් හරි කරන්න. ඒ කතාව එතනින් ඉවරයි.

අපේ සහකාර විදුහල්පතිතුමියක් ඉන්නවා, මගේ විෂයම උගන්වන. එය තමයි මාව මේ ඉස්කෝලෙට අරගෙන උගන්වන ඒවා ගැන එහෙම මට ගුරු හැරු කම දෙන්නේ.

අද ඉතින් මං ගියා එතුමියවත් හම්බෙන්න. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කතාව හැරුන වෙනම පැත්තකට.

මිස්:- දැන් ඔයාට වෙන පන්ති එහෙම දීල නැද්ද?
මම: 11 වසර දීලා තියෙනවනේ
මිස්:- ඒක හොඳයි. ඔයාට දෙන ඒවා බාරගෙන කරන්න ඕනේ. මං මුලින්ම ගියාම රසායන විද්‍යාවත් කරා. 8 වසර ගණිතයත් කරා. ඒවා ඉතින් හරි ප්‍රයෝජනයි.
මං ඉතින් ඔලුව වන වනා අහගෙන ඉන්නවා.
මිස්:- ඔයාව අනික අපි කොච්චර අමාරුවෙන්ද මේ ඉස්කෝලෙට ගත්තේ කරන පීරියඩ් ගැන අඩුයි කියල මාරු කරොත් එහෙම. එකයි මං ඔයාව 11 ට දාන්න කිව්වේ. ඔය ඉතින් එහෙ කලර්ස් පෙන්නන්න.

මං ඉතින් තව ටිකක් ඔලුව වනල හොඳයි කියල ආවා.මං කොයි වෙලාවෙවත් මේ මිස්ට කියල තිබුනේ නෑ මට 11 වසර කරන්න බෑ කියල. කවුරු හරි කියල මගේ අරගලේ ගැන.
මං ඉතින් හිතා ගත්තා ඔන්න ඔහේ කරන්න. :)

Thursday, 30 December 2010

අනේ අපෙනුත් ඉන්ටවිව් එකක් ගන්නකො!

ඔන්න ඉතින් අද දවාලේ මං නිවාඩු පාඩුවේ අහිංසක විදියට බ්ලොගයකුත් කියවමින් ඉන්න වෙලාවක, ඒක පාරටම ආවේ නැද්ද චැට් පණිවිඩයක්. අර ජී මේල් චැට් ඒකෙන්. බලනකොට ප්‍රසිද්ධ බ්ලොග් ලියන්නෙක්. කාලයක් තාක්ෂණික බ්ලොග් ලියන්නෙක් විදියට ඉඳල දැන් මේ වයර් එකක් මාරු වෙලා මේ දවස් වල කතන්දර ලියන කෙනෙක්.  ළඟදී දවසක තමන්ගේ බ්ලොගයෙන් කීයක්‌ හරි හොයන්න මහන්සි වෙන මල්ලිලාට එහෙමත් පොඩ්ඩක් තදින් කතා කරලා තිබ්බා.  චැට් ඒක දැක්කම මාත්  කල්පනා කරා මොකද මේ හදිස්සියේ කියල.

ටික වෙලාවක් යනකොට නේ කථාව තේරුනේ. ඔන්න ඉතින් සිදුවූ කතා බහ මෙසේය.


****: ඒක නෙමේ
පත්තරේට මං ගැන දාන්න බැයිද :D
මම: අපෝ පත්තරවලට ඔය හැමෝගෙම ගැන දාන්නේ නෑ. 
***: ආ එහෙමද? ඉන්නවකෝ
මම: ඔව් එහෙමයි. ඇයි වලිද? 
***: කවදා හරි අපි ගැනත් ලියයි. එදාට බලාගමු 
මම :හා බලාගමු.
***: අයින්ස්ටයින් වත් මුලිංඉස්කෝලෙං පැන්නුවලු
මම:  ඒ අයින්ස්ටයින් නේ. අනික ඔයාව පොඩි කාලේ ඉස්කෝලෙන් පැන්නුවේ නෑ නේ. පැන්නුව නම් ලියන්නවත් තිබ්බ. 
***: මාත් අයින්ස්ටයින් වගේ උන දාට එනවකෝ මගෙං ඉන්ටවිව් ඉල්ලං.දෙන්නැ 
මම: අපෝ එපා.
***: දෙන්නෙත් නැ 
ඔන්න ඔහොමයි කථාව ඉතින්. පවු නේ කියන්නේ නෑ ඉතින් මෙහෙම කිවූ කෙනා. ඔය ගොල්ලෝ හිතා ගන්න,.:D කරුණාවෙන් සලකන්න. මෙය ඔරිජිනල් චැට් එකම නොවේ. එඩිට් කරන ලද්දකි. අදාල පුද්ගලයාගේ ඉල්ලීම පරිදි අවසාන සටහන තබනු ලැබේ.

මාර්ග සංඥා

මේ සිද්ධිය උනේ මං පත්තර මහා ගෙදර ඉන්න කාලේ. අපේ කතෘ තුමියට අදහසක් පහල උනා, අපි අවට තියෙන දේවල් ක්‍රියා කරන ආකාරය ගැන සීරිස්‌ එකක් කරන්න. ඔය තොප්පිය ඉතින් පාවෙලා පාවෙලා ගිහින් වැටුනේ මට. දැන් මමත් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොනවා ගැන ලියන්නද කියල. අපේ තාත්තා වැඩ කරන්නේ මාර්ග පිලිබඳ කටයුතු කරන අධිකාරියක. ඉතින් තාත්තාගේ යටතේ තමයි ඔය මාර්ග සංඥා එහෙම තිබ්බේ. ඉතින් මං ලේසියටත් එක්ක හිතුවා, ඒවා ක්‍රියා කරන හැටි ලියනවා කියල. ගෙදර ඉඳන්ම ලියන්න පුළුවන්නේ.

දැන් ඉතින් මං විස්තර හොයාගෙන ලිපිය ලියනකොට තාත්තා කිව්වා, අපිට විතරක් නෙවෙයි කොළඹ නගර සභාවටත් අයිති ටිකක් තියෙනවා. මෙන්න මේ නොම්බරෙන් අහවලාට කතා කරලා විස්තර දැනගන්න කියල. 
මං ඉතින් ඔන්න ඔය අහවලාට කතා කර.

මම: මං මේ අහවල් පත්තරෙන් කතා කරන්නේ. ඔය අහවලාද කතා කරන්නේ?
අහවලා: ඔව් මම තමයි. 
මම: මට mr. ගේ නොම්බරේ දුන්නේ අහවල් අධිකාරියේ mr......,මම ලිපියක් කරනවා මාර්ග සංඥා ගැන. මම අධිකාරියෙනුත් විස්තර ගත්තා, මට තව විස්තර ටිකක් ගන්න ඕනේ.
අහවලා: දෙන්නම්. මොනවාද දැන ගන්න ඕනේ.

දැන් අහවලා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන ගමන්, අපෝ අධිකාරියේ Mr....දන්නේ නෑ මොනවත්, කිය කියා මනමාල විදියට මාත් එක්ක කථාව. මාත් ඒක දැනුනේ නෑ වගේ ප්‍රශ්න අහල මට දැනගන්න ඕනේ ටික දැනගත්ත. 

මම: මේ ලිපිය මෙන්න මේ දවසේ පත්තරේ පලවෙනවා, ඊට කලින් ප්‍රශ්නයක් තිබුනොත් මම කතා කරන්නම්. 
අහවල: ඔයාගේ නමවත් කිව්වේ නැනේ.
මම:මං ජනනි අමරසේකර. 
අහවල: (හිනාවී) ඔයාට mr.......ගේ නමමනේ තියෙන්නේ. නෑයෙක්වත් ද? 
විහිළුවෙන් ඇහුවා, මාව තව ටිකක් කතාවට අල්ලගන්න. 

මම: ඔව් ඒ මගේ තාත්තා. 

මිනිහා ටික වෙලාවක් කතා කරේ නෑ. ඊටපස්සේ අමාරුවෙන් හරි එහෙනම් මං තියන්නම් කියල තිබ්බ. එතකොට මිනිහගේ කට හඬ හොදටම වෙනස් වෙලා තිබ්බා. :)



Wednesday, 29 December 2010

~~වාර්තාගත පොස්ට් පනහ පසු කරා~~

ඔන්‍න‍ ඉතින් ~ආදරණීය නවාතැන පටන් අරගෙන මාසෙකුත් ගත වෙලා. ඒ මාසෙට පොස්ට් 50 කට පොඩ්ඩක් වැඩි ගානකුත් ලිය වෙලා. ඉස්කෝලේ නිවාඩු කලේ නොවැ මටත් ඉතින් වෙන වැඩ නෑ ඉතින්. උදේ ඉඳං මේකම ලිව්වා මිසක්. නිවාඩු කාලේ වෙන වැඩක් කෙරුනෙම නැති තරං. ඊළඟ වාරෙට වාර සටහන් ලියන්න කියල පොතක් එහෙමත් ඉස්කෝලෙන් දුන්න. ඒ පොත ඇරලා බලන්නවත් බැරි උනා. ඒ තරමට බ්ලොගේ වැඩ. මේ වාර්තාගත පොස්ට් 50 පසු කරන වෙලාවේ මට තියෙනවා ලොකු වැඩක් කරන්න. ඒ තමයි මන් ලියන ඒවාට කොමෙන්ට් කරලා, මං ලියපු ඒවා කියවල  මාව ධෛර්යමත් කරපු හැමදෙනාටම ස්තුති කරන ඒක.

අවුරුදු ගානක් තිස්සේ ඉංග්‍රීසි පත්තරේකට ලියපු මට සිංහලෙන් ලියන ඒක ලොකු අභියෝගයක් උනා. ලැජ්ජයි කියන්නත්, ඒත් කාලයක් තිබ්බා සිංහලෙන් ලියන්න වුනු රාජකාරි ලිපියක් වත් ගලපාගන්න බැරුව අසරණ වුනු. ඒ තරමට මන් ඉංග්‍රීසි ලිවිල්ලට හුරු වෙලා හිටියා. හිතේ ආසාවට මේක ලියන්න පටන් ගත්තට මෙච්චර දුර එන්න පුළුවන් කියලනම් හිතුනේ නෑ. මුලින් පටන් අරගෙන දාපු ඒක පොස්ට් එකක් වත් මුණු පොතෙවත් දැම්මේ නැත්තේ, කාටවත් කියවන්න දෙයක් නෑ කියල තිබුණු වරදකාරී හැගීමෙන්. පලවෙනි කතාවත් ලියාගෙන ඔහේ ඉන්නකොට තමයි අපේ බිඟු කොමෙන්ට් එකක් දාල මට පොඩි තල්ලුවක් දුන්නේ. එදාම මම දෙවෙනි කතාවකුත් ලිව්වා. 

ඊටපස්සේ දවසක ගෙදර ප්‍රශ්නයක් නිසා මන් හොඳටම මූඩ් ගහල ඉන්න වෙලාවක තමයි අම්මයි, තාත්තයි ගැන ලියල දිගටම ලියන්න පටන් ගත්තේ. එදා ඉඳං පටන් ගත්තු ගමන අපේ රංග අය්ය කියන විදියට බ්ලොගොරියාව හැදෙනකන්ම ගියා. තාමත් සුව නෑ. 

ඉතින් වචනයක්වත් ලියා ගන්න පුලුවන්ද කියල සැකෙන් ආපු ගමන මෙච්චර දුර එන්න තරම් හයිය දුන්නේ මං ලියපු ඒවා බලපු, කොමෙන්ට් කරපු, මගේ බ්ලොග් ඒක follow කරපු ඔය හැමෝම. ඉතින් කීප දෙනෙක් නම් වශයෙන් කියනවනම්, අපේ බිඟු, කෙල්ලොන්ගෙන් සෙනසුරු අපල තියෙන රංග අයිය, මට චූටි ටීචර් කියන මධුරංග, මගේ කතා විතරක් කියවනවා කියපු , මගේ බ්ලොගයෙන් කොහොමහරි verification අයින් කරගත්තු සෝරෝ මෙය මං පොඩි කාලේ ගිය ඉස්කෝලෙට සතුරු ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ, මං ලියන ඒවාට කැමති කියපු කිවිඳි, ඉලන්දාරියා, අපේ එරන්ද, නවම් මාවත , මේ ලඟදි ඉංග්‍රීසි ලිපියක් සින්ඩියට වැටීම පළිබඳව කණගාටුවෙන් උන්නු දේදුනු, මගේ ලෝකය, ජංජාල චාමර,  දෙවෙනි , ගිටාර් කෝඩ් ගැන කියල දෙන අසංක, අපේ කණිය මල්ලි, බ්ලොග් ගඩොල්, කැම්පස් එකේ සුමුදු මල්ලි, බ්ලොග් ලෝකයේ සැරිසරන මට හම්බුනු අනෙක් ගුරුතුමිය සංජු , ජෙනි, කාලාන්තරයක් තිස්සේ මාව අඳුරන එරංග , හිඟන්නා , ලස්සන පින්තුර ගන්න අංජන , කරෙස්බ්ලොග්, කැන්ඩි, සිරකරුවා , myviththi, nihal gurusinghe , thusitha, hasitha, ravi, සිතුවිලි ,  හිස් අහස, DReeZone, dinesh, පිණි බිඳු, මහිමා,නිම්ෂා, චින්තන.   නම් කියපු අය විතරක් නෙවෙයි නන් අයුරින් උදව කරපු හැමෝටම බොහොම පින්!

Tuesday, 28 December 2010

නුඹට කියන වග නම්...

වාහනේ ඇතුලේ සීතලම සීතලයි. වෙනදට ඒ හීතල දරාගන්න බැරුව කෑගහන මං අද ගොළු වෙලා. උදේ ඉඳං සන්තෝසෙන් නුඹ එක්ක උඩ පැන ඇවිද්ද මං ඒක පාරටම ගොළු වෙලා. මටවත් හිත ගන්න බැරි තරමට මගේ හිත රිදිලා.විහිළුව දුර දිග ගිහින් නුඹ කෑගැසූ හැටි මට තාමත් මතක වෙනවා. කොහොම අමතක කරන්නද? හිතාගන්නවත් බැරි වෙලාවක උණු දෙයක්. "විහිලුවට නේ මං කිව්වේ, ඇයි මේ රණ්ඩු කරන්නේ?" මගේ සිත නුඹගෙන් විමසනවා. ඒත් ඒ සිතුවිල්ල වචන වලට පෙරලගන්න බැරි තරමට මගේ හිත රිදිලා. මගේ කට හඬ ඇහිලා මට තවත් දුක හිතෙවී. මං නිහඬවම ඔහේ බලාගෙන හිටියා.

දවල් කන්න යන වේලේ මට හිතුනා හිතේ දුක යනකම් ඉකි ගහ ගහා අඬන්න. ඒත් ඉතින් හිතේ හැටියට වැඩ කරන්න කොයින්ද ඉඩ. කොහොම හරි චුට්ටක් මාත් එක්ක හිනා වෙලා "මට සමා වෙන්න" කියනකොට. මට රටක් රාජ්ජයක් හම්බුනා වගේ. ඒ මං දිනුවා, නුඹ පැරදුනා කියල හිතල නම් නෙවෙයි. නුඹ මා හා අයෙත් හොඳින් කියන හැගීම හිතට ආපු නිසා. මට ගොඩක් සන්තෝස හිතුනා. එයින් පස්සේ මංහිටියේ ගොඩාක් සතුටින්. නුඹට දැනෙන්න ඇති මා වෙනදාටත් වඩා දොඩමලු උන වග.

ඒත් ඒ සතුට හරියට භුක්ති විඳින්නත් කලින් නුඹ ආයෙත් මාත් එක්ක තරහ වෙලා. අද නම් මහා අපල දවසක්. මට අද දවසට එහෙම අනන්ත වාරයක් හිතෙන්න ඇති. ලේන්සුවක් අරගෙන කඳුළු වලට හේදිලා ගිය නෙත් අදුන් පිහිදලා දැම්ම. මං මොකටද පෙන්නනේ මං ඇඩුව කියල, මගේ මුරණ්ඩු හිත මගෙන් අහනවා. දැන් ඉතින් රණ්ඩු උනා ඇති නේද? අනේ නුඹ ඇවිත් මා තුරුල කරගෙන "දැන් හැමදේම හරියි" කියනවනම්...නුඹට නොතේරෙන මගේ හිත අද රිදුනා හොඳටෝම..කවද හරි නුඹ ඒ සිත කියවනවානම් අපේ ජීවිත ඇත්තටම සුන්දර වෙවී..

Monday, 27 December 2010

~කිසස්~~

මාතෘකාව දැක්කම වරදවා හිතන්න එපා, මේ වෙන මොනවත් ගැන නෙමෙයි අර කිසස් කියන කෑම ජාතිය සම්බන්ද කතාවක්. මේකත් අපේ අර ගණිත පන්තියේ අතුරු කතාවක්.

ඔන්න මේ කතාව වෙනකොට අපේ පන්තිය පටන් අරගෙන සැහෙන දවසක් ගිහිල්ලා. ඉස්කෝලෙත් A/L පන්ති එහෙම පටන් අරගෙන. ඔය කාලේ වෙනකොට අපිත් එක සම වයසේ හිටපු, ගණිත පන්තියේ හිටපු කොල්ලගේ යාලුවෙක් මගේ යාලුවෙකුට ට්‍රයි කරන්න පටන් ගත්තා. හරියටම කියනවනං අර මම මුලින්ම කියපු කතාවේ (අතීතයේ දවසක) හිටපු කොල්ලෝ හතර දෙනාගෙන් එක්කෙනෙක්. අපි යන ගොඩක් පන්ති වලට ඒ තුන් දෙනාම ආවා. (හතර දෙනාගෙන් එක්කෙනෙක් ජීව විද්‍යාව කරේ) ඉතින් ඔහොම දැකල තමයි අර කොල්ලා මගේ යාලුවට කැමති වෙලා තියෙන්නේ. හඳුනා ගැනීමේ පහසුවට අපි එයාට සමීර කියමුකෝ. සමීර ඉතින් එක එක ඒවා කරනවා මගේ යාළුවා කැමති කරගන්න. අපේ ගණිත පන්තියේ හිටපු එක්කෙනත් ඒවාට ඉතින් හරියට උදව කරනවා. හිටපු ගමන් පන්තියේදී හින්ට් එහෙමත් ගහනවා.

ඔය කොල්ලෝ තුන් දෙනා ගෙන දෙන්නෙක් ඉගෙන ගත්තු පාසලේම තමයි මගේ මල්ලියි, මගේ හොඳම යාලුවෝ දෙන්නගේ මල්ලිලා දෙන්නයි ඉගෙන ගත්තේ. අනිත් කොල්ල හිටියේ ඉස්කෝලේ අපේ පන්තියෙමයි. හැබැයි එයත් කලින් හිටියේ අර ඉස්කෝලේ. උසස් පෙළ කරන්න තමයි අපේ ඉස්කෝලෙට ආවේ. අපි යාලුවෝ තුන් දෙනා එකටම තමයි පන්ති වලට ගියේ, අර ගණිත පන්තියත් ඇතුළුව. ඉතින් සමීරට වැඩිය අපේ යාලුවට කිට්ටුවෙන්න බැරි උනා. අපි හෙමීට මග ඇරලා යනවා දැක්කම. ඔය හේතුව නිසා සමීරයි, ගණිත පන්තියේ හිටපු කොල්ලයි අපේ මල්ලිලට දවසක් බැනල, මටයි මගේ අනික් යාලුවටයි පාඩුවේ ඉන්න කියන්න කියල.

ඊටපස්සේ ගණිත පන්තියේදී වත් අපි ඒ කොල්ල එක්ක කතා කරේ නෑ. ෆීස් සල්ලි ඉල්ලා ගන්නත් අහක බලාගෙන ඉල්ලනවා මිසක් මූනවත් බැලුවේ නෑ. ගෑනු ළමයි හතර දෙනා කොල්ලත් එක්ක හොඳටම තරහා වෙලා. හැබැයි එයාට නම් ගානක් නෑ ඔහේ ඉන්නවා. අපිත් එයා ක්ලාස් එකේ නෑ කියල හිතා ගෙන ඉන්නවා.

ඔහොම ටික දවසක් යනකොට,  ඒක දවසක  මෙයා ක්ලාස් එකට  අරන් එනවා කිසස් පැකට් එකක්. අරන් ඇවිල්ල මගේ අතට දෙනවා ඔයගොල්ලෝ බෙදාගෙන කන්න කියල. මටත් දැන් හිත ගන්න බෑ මේක ගන්නවද නැද්ද කියලත්. මම තමයි ඒ කොල්ල කිට්ටුවම වාඩිවෙලා හිටියේ. කොහොමහරි මං ඒක ගත්තා. අරගෙන එහා කොනටම පාස් කරා. කවුරුත් ඒක කඩන පාටක් නෑ. ඊටපස්සේ ඒක යාලුවෙක් කිව්වා 'ඔන්න එයාටම කඩලා දෙන්න කියන්න' කියල. මාත් ඇහෙන නෑහෙන ගානට කියල ඒක ආපහු දුන්නා.

ක්ලාස් ඒක ඉවරත් උනා දැන් මිනිහ මේක කඩලා දෙන පාටක් නෑ. අපිත් ඉතින් ගෙදර ගියා. පහුවදා අපේ ප්‍රධාන මාතෘකාව ඕක. දැන් අපි කතා වෙනවා, 'තරහට විසි කරලා ගියද දන්නේ නෑ මගදී' කියල.

පස්සේ කාලෙක මං එයාගෙන් ඇහුව එදා මොකද උනේ කියලා. බලනකොට එයා හිතල තියෙන්නේ අපි එපා කියල දුන්න කියල. පස්සේ එයා මගදී යන ගමන් ඒක එයා තනියම ක කා ගිහින්. අපි හිතපු දේවල්! :)

Sunday, 26 December 2010

~~සුනාමියේ තවත් කතාවක්~~

අද හැමදෙනාම කතා කරන්නේ සුනාමිය ගැන. ලංකාවට වෙච්ච් කෙටි කලකින් වුනු දරුණුතම විනාශය වුනේ සුනාමියෙන්. සුනාමිය ලං වෙනකොට පුවත් පත සඳහා සුනාමිය හා බැඳුනු කතාවක් සොයා ගැනීමට මට අවශ්‍ය උනා. ඔය ගැන විස්සෝපෙන් ඉන්න කොට, කවදත් කතන්දර කියන්න දක්ෂ 'අපේ ගමරාල' තමයි මේ කතාව කිව්වේ. හැමදාම විහිළු කතා කියල මාව හිනස්සන ගමරාලට සුනාමිය ගැන මේ වගේ දුක් බර අත් දැකීමක් තියෙනවා කියල මට විශ්වාස කරන්නත් බැරි උනා. කොහොමහරි කතාව අහලා මට විනාඩි ගානක් යනකන් මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පුවත්පතට මං මේ කතාව ලිව්වා. මට හිතුනා ඒ කතාව මේකටත් ලිව්වා නම් හොඳයි කියල.සුනාමිය පිළිබඳව තියෙන සංවේදීම කතාව මෙය නොවෙන්න පුළුවන්...ඒත් මේ කතාව හිතේ දරා ගෙන ඉන්න අයට ඇති දුක අනන්තයි, අප්‍රමාණයි.

මං කතාව ගමරාල කියපු වචන වලින්ම කියන්නම්කො. 

ඕක වෙනකොට අපි හිටියේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ. මගේ කාමරේ මං බෙදා ගත්තේ ජයලංකත් එක්ක, එයා මගේ හොඳම යාළුවා වගේම, කැම්පස් එකේ ගොඩක් අයගේ හොඳ යාලුවෙක්. ඕනම වෙලාවක ඕනෑම දෙකට කතා කරොත් වැඩක් නවත්තලා හරි එනවා. වලියකට උනත් උදව කරනවා.

ඔය සුනාමි දවස් වෙනකොට අපේ  අධ්‍යයන කටයුතු ඉවර වෙලා විභාග පටන් ගන්න ඔන්න මෙන්න. විභාගේ පටන් ගත්තොත් ගෙදර යන්න වෙන්නේ නැති නිසා ජයලංක  තීරණය කෙරුව ඒ ඉරිදා ගෙදර යන්න. එයාගේ  ගෙවල් තිබ්බේ මාතර තිහගොඩ. පවුලේ එකම පිරිමි ළමයා. අම්මයි, තාත්තයි වයසයි ඒවගේම අසනීපයි. ඉතින් මෙයා තමයි ගෙදර හැමෝගෙම බලාපොරොත්තුව උනේ.

26 වෙනිදා කැම්පස් එකේ සිල් වැඩ සටහනකුත් තිබ්බා. අපි හැමෝම එදා සිල් ගත්තා. අපේ ආචාර්යවරුත් සිල් ගත්තා. 10 ට විතර ජයලංකගේ ගෑනු ළමයාට ජයලංක කෝල් කරලා කියල තියෙනවා 'මුහුද ගොඩ ගලනවා, කොච්චියටත් වතුර එනවා, ඒත් මං හොඳින් ඉන්නවා' කියල. අපි දැනගෙන හිටියේ නැනේ මේවගේ දෙයක් ගැන, අපි ඉතින් හිතුව මෙයා ඇත්තටම හොඳින් ඇති කියල. අපි සිල් වැඩසටහන කරගෙන ගියා.

හවස 3 ට විතර සේරම ඉවර උනාට පස්සේ තමයි දැනගත්තේ ඇත්තම කතාව. අපි එතකොට ජයලංකට කතා කරා හරි ගියේ නෑ.  පහුවදා උදේම අපි ගාල්ලේ යන්න පිටත් උනා. උදේ 6 ට විතර කොළඹින් පිටත් වුනු ගමන ගාල්ලට යනකොට හවස 3 යි. ඒක තමයි මන් ජීවිතේ ගිහින් තියෙන අමාරුම ගමන. බස් එක තමන්ගේ නැතිවුණු අය හොයන්න යන අයගෙන් පිරිලා. තනි කකුලෙන් තමයි දිගටම ගියේ. ඒ අස්සේ රේඩියෝ එකේ කියනවා මැරිච්ච ගැන, වෙච්ච හානිය එහෙම. මිනිස්සු හූල්ලනවා ඒවා අහල. මැරිච්ච අයගේ හැදුනුම්පත් අංකයි නමයි  කියෙව්වා ඒ අස්සේ. එක නමක් කියන කොට එතන හිටපු ගෑනු කෙනෙක් මහා හය්යෙන් අඬන්න පටන් ගත්තා. බලනකොට ඒ එයා හොයන්න යන කෙනා.

ඔය වගේ අත් දැකීම් ගොඩක් මැද්දේ අපි ඉස්සෙල්ලාම ගියේ කඳවුරු වලට. එතන හැම කෙනෙක්ගෙන්ම අහල බැලුවා. කවුරුත් දැකලා තිබුනේ නෑ. ඒ වෙලාවේ අපිට හම්බුනා කෝච්චියේ ඉඳලා බේරිච්ච බඩ දරු අම්මා කෙනෙක්. ඒ වෙලාවේ නම් අපිට හිතට සහනයක් ආවා. බඩ දරු අම්මා කෙනෙකුත් බේරුනා නම්, මේ කොල්ලත් ඇති නේද කියලා. කොහොම හරි හොයල බැරිම තැන අපි ගිය අපේ ගාල්ලේ හිටපු අපේ යාලුවෙකුගේ ගෙදර. ඊටපස්සේ එයාගේ තාත්තයි, එතන හිටිය තව එයාලගේ අල්ලපු ගෙදර මාමා කෙනෙක්. එයත් එයාගේ නෝනා හොයනවා.

අපි කට්ටියම ඊළඟට ගියේ මහා මෝදර ඉස්පිරිතාලෙට. ඒකට ගියාම නම් දැනුනු හැගීම මට ජීවිතේට දැනිල නෑ. මිනි ගොඩ ගහල හැමතැනම. ඒවා ඉදිමිලා අඳුරගන්නත් අමාරුයි. ට්‍රැක්ටර් වලින් එහෙම මිනී ගේනවා දැකල මට සංසාරේ එපා උනා. පලාතම ගඳයි. අපි ටෝර්ච් ගහ ගහා මිනී බැලුවා. එකක්වත් ජයලංක වගේ නෙමෙයි. එක මිනියකට ටෝර්ච් එක ගහන කොට අර මාමා කිව්වා "පුතා අයෙ ටෝර්ච් එක ගහන්න' කියල. බලනකොට ඒ එයාගේ නෝනා. මගුල් මුද්දෙන් තමයි අඳුරගෙන තිබ්බේ.

ඒ දවසත් ගෙවිලා ගියා. පහුවදා උදේම අපි ගියා කෝච්චිය තිබුණු තැනට. ඒක දැක්කම නම් මම යාළුවා පන පිටින් දකින අදහස අත් හැරියා. අච්චර බර කොච්චි එන්ජිම, මීටර් සීයක් විතර ඈතට ගහ ගෙන ගිහින් තිබුනා. එතන හිටපු මනුස්සයෙක් කිව්වා හොඳටම සවුත්තු වෙච්ච් මිනී ටිකක් එතනම වල දැම්ම කියල. ජයලංකගේ  හැඳුනුම්පතත් අපට එතන තිබිලා හම්බුනා. හුඟක් අමාරුවෙන් අපට හිත හදාගන්න උනා.

එදාම අපි එයාලගේ ගෙදර ගිහින් මරණ ගෙදර වැඩවලට උදව් කරා. මිනියක් නැති මරණ ගෙදරක්. ඊට පස්සේ අවුරුද්දේ අපි ජයලංකව සිහි කරලා ලොකු පිරිතක් සංවිධානය කරා. අපි ඊටපස්සේ හැම අවුරුද්දකම 26 වෙනිදා ජයලංකගේ ගෙදර ගියා.....


~~අසරණකම~~

ජීවිත මංසලක
අතරමංව, වෙහෙසවී
යා නොහැකිව
තව ඉදිරියට
වැතිර ගතිමි
අමාරුවෙන්.......

~~සුනාමියට ඌන පූර්ණයක්~~

සුනාමිය ඇවිත් ගොහින් අදට හරියටම අවුරුදු 6 ක්. 2004 අද වගේ දවසක නත්තල් අසිරියෙන් ලංකාවම පිරිලා තියෙද්දී, පෝදා සාදු නාදය දසත පැතිරෙද්දී හැමදාම අහිංසකව මිනිස්සුන්ට උදව් කරපු මුහුදු රල ගොඩ ගැලුවා. මිනිස්සු මුහුදු රල නිසාම උපයා ගත්තු හැම වස්තුවක් ආපහු මුහුදටම අරගෙන ගියා. 30,000 ක් විතර ජීවිත බිලිගන්න තරම් ඒ රල කුරිරු උනා. සුනාමියෙන් විපතට පත් වූ මිනිස්සු වෙනුවෙන් ලංකාවේ හැම මනුස්සයම එක රොක් උනා. මං මෙතන 'මනුස්සයා' කියල කියන්නේ. විපතට පත් වුනු අයගේ අන්තිමට ඉතුරු වුනු වස්තුවත්, එයින් නොනැවතී මිනී වල තිබුණු රත්රන් ආභරණත් කොල්ල කා ගත්තු පිරිසක් ඔය අතර හිටපු බව රචකයාට මතක නිසා. හොඳ මිනිස්සුගේ ජීවිත අරගෙන ගිහින් ඒ වගේ කුරිරු අමනුස්සයෝ මේ ලෝකේ ඉතුරු කරේ ඇයිද කියල රචකයාට හිතුනු වාර අනන්තයි අප්‍රමානයි.

ජීවිත ඔහේ ගලා ගෙන යනවා..සුනාමියෙන් විපතට පත් වූ වන්ට සහ තම තමන්ගේ නෑදෑ හිතවතුන් මිය ගිය අයට හැරෙන්නට බොහෝ දෙනෙකුට සුනාමියේ කුරුරු බව අමතක වෙලා ගිහින්..මුහුද ආයෙමත් නිසංසලව දවස ගෙවනවා. කාලයක් මුහුදත් එක්ක තරහ වෙලා හිටපු ළමයි අයෙමත් වැලි කෙලියේ යෙදෙනවා.

මිනිස්සු මුහුදේ සම්පත් විනාශ කරපු පලිය ගත්තද මන්දා? කොරල් පර විනාශ නොවුණු තැන වලට, වැලි කඳු විනාශ නොවුණු තැන් වලට  සිදු වූ හානිය අවම උනා. මිනිස්සුන් ගේ  කුරිරුකම් ඉවසා ගන්නට බැරිව සයුර තම කෝපය පෙන්වා අප හැමෝටම පාඩමක් කියා දී අවසන්. බෙදී වෙන්වී සිටි ජනතාවට, කරදර එනවිට ජාති භේද නොසලකා එන බවද, එක්ව ඒවාට මුහුණ දිය යුතු බවද කියාදී අවසානයි.

එහෙත්.....මේ පාඩම කී දෙනෙකුට තවම මතකද? මේ වැරදි නොකරන්නට කී දෙනෙකු අදිටන් කරගත්තාඩ? සිදුවූ දෙයක් සති දෙකක් වැනි කෙටි කාලයකින් අමතක කර දමන අපේ ජාතියට තව කොතරම් සුනාමි ඇවිදින් මේ පාඩම අලුත් කර දිය යුතුද? හිතන්න...මේ එයට හොඳම කාලයි.....

Saturday, 25 December 2010

~~දඹලාගේ නෑයා~~

ඔන්න මේ කතාවත් අපේ මලයා කියපු කතාවක් තමයි. එයාගේ කතා දෙකක් මං කලින් දවසක් කිව්වනේ. අපේ මලයා බබා වගේ හිටියට අවුරුදු 22 ක තරුණයෙක්. ගෙදර බාලයා නිසාත්, පොඩි කාලේ පටන් අසනීප නිසාත් ගෙදර හැමෝම එයට සැලකුවේ පොඩි ළමයෙකුට වගේ. ඒ පුරුද්දට තාමත් අම්මයි, තාත්තයි ගාවට ගිහින් ශේප් එකේ ගානක් එහෙම කඩා ගන්නවා. තාම කිසි දේක බරක් පතලක් හිතන්නේ නැති නිසා සමහර වෙලාවට හොඳ කතා කියනවා. මෙන්න මේ කතාවත් එය කියපු එකක්.

මෙයා දවාලට ගෙදර ඉන්න නිසා, අපේ අම්ම පොලේ යනකොට මලයවත් එක්කගෙන යනවා. හැබැයි ඉතින් ගෙදර නම් කිසිම වැඩක් කරන්නේ නෑ. අඩුම ගානේ කාපු පිගාන වත් හෝදන්නේ නෑ. අම්මාගේ ඉස්සර ඉඳං පුරුද්දක් තිබුනා, එළවලු ගෙනාවම මල්ලිගෙන් අහනවා ඒවායේ නම්. එක හේතුවක් තමයි එය ඉගෙන ගන්න ඕනේ කියල හිතන එක. අනිත් එක තමයි එයා දෙන උත්තර අහන්න.

මේ ලඟදි දවසකත් අම්මා මල්ලිව පොලේ එක්කරගෙන ගිහින් ඇවිත්, දැන් දෙන්නත් එක්ක එළවලු අස් කරනවලු.
අම්මා දඹල පෙන්නලා ඇහුවලු.."පුතේ මේ මොනවාද?" කියල. දැන් මිනිහා කල්පනා කරනවලු මෙයාට මතක් වෙලාම නෑ. ටික වෙලාවක් කල්පනා කරලා කිව්වලු දන්නේ නෑ කියල. ඉතින් අම්ම කියල දීලා ඒ දඹල කියල.

ඊටපස්සේ බණ්ඩක්කා පෙන්නලා ඇහුවලු "එහෙනන් පුතේ මේ මොනවාද කියන්නකෝ" කියල.
දැන් මිනිහ අයෙත් කල්පනා කරනවලු. ඒත් මතක් වෙන්නේ නෑලු. ඔහොම ටිකක් වෙලා කල්පනා කරලා කිව්වලු.

"මොනවා උනත් මේවා නම් දඹලාගේ නෑයෙක්" කියල. :)

Friday, 24 December 2010

සුභම සුභ නත්තලක්!!

මම නම් නත්තල සමරන කෙනෙක් නෙමෙයි, ඒත් පුරුද්දක් විදියට සමරන යාලුවෝ හැමෝටම නත්තල් කාර්ඩ් එකක් යවන්න අමතක කරන්නේ නෑ. පොඩි කාලෙන් පස්සේ අපි ගෙදර නත්තල් ගහක හදල සරසන්නවත් උනන්දු උනේ නෑ. මට මතකයි අපි පොඩි කාලේ අම්මයි තාත්තයි අපි කැමති මොනවාද කියල අහල හොරෙන් රෑට නත්තල් ගහ යටින් ගෙනත් තියෙනවා. අපිත් ඉතින් ඇත්තටම පුදුම උනා මුල් කලේ. ඒ දවස් වල අපි වාර විභාගෙට ලකුණු අඩු විෂයන්ට වැඩපොත් එහෙමත් ඔය තෑගි අතරේ තිබුන. එතකොට අපේ අම්ම කිව්වේ "බලන්න නත්තල් සීයා දැකල ඔයාට ඒ විෂයට ලකුණු අඩුයි කියල. ඒක තමයි පොතක් ගෙනත් දීල තියෙන්නේ" කියල.

හැබැයි ඉතින් පස්සේ කාලේ නම් අපි දෙන්නම, මල්ලියි මමයි දැනගත්තා තාත්තා තමයි මේ තෑගි ගේන්නේ කියල. එහෙම දැනගත්තට පස්සෙත් අවුරුදු දෙකක් විතරම නත්තල් ගහ හදන චාරිත්‍රය ගෙදර තිබුනා. පස්සේ කාලයත් එක්කම ඒක නැති වෙලා ගියා.

පස්සේ නත්තල සමරන මගේ ළඟ කෙනෙකුට හිටියේ මං වැඩ කරපු පත්තරේ කතෘතුමිය. එයාගේ නත්තල් ගහ හරිම අමුතු එකක්. ඒ වගේම හරිම ලස්සනයි. වේලුනු ලොකු අත්තකට සුදු පාට තීන්ත ගාලයි ඒක හදල තිබ්බේ. පුංචි පුන්චි කෑලි එල්ලලා, බල්බ් වැලක් දාල ඒක හරිම ලස්සනයි. අපි නත්තල් කිට්ටු වෙනකොට අනිවාර්යෙන්ම ඒ ගෙදර යනවා එයා  නත්තලට හදපු කෑම කන්න.

නත්තල දැන් නම් අපිට විශේෂයක් නෑ නිවාඩු දිනයක් ඇරෙන්න,, ඒ උනාට

නත්තල සමරන හැමදෙනාටම සුභ නත්තලක් කියල ප්‍රර්ථනා කරනවා!!!

Sunday, 19 December 2010

~~"පශු සම්පත්"~~

මේ කතාව උනේ කැම්පස් එකේ අපේ යාළුවකුට. කැම්පස් එකේ විශේෂ උපාධි කරන අයව අවසාන වසර වලදී ආයතනික පුහුණුවට අදාල ආයතන වලට දානවා.
ඉතින් මගෙත් යාලුවෝ කීප දෙනෙක්ම ඔහොම පුහුණුවට ගිය. ඔතන හිටිය ගණිත විශේෂ උපාධි කරපු අයයි, සංඛ්‍යනය විශේෂ උපාධි කරපු අයයි.
ගණිත විශේෂ උපාධි කරපු ගෑනු ළමයෙක හිටිය රෝෂිනි කියල. රෝශිනිට හම්බෙලා තිබ්බේ "පශු සම්පත් ආයතනය" හරියටම කියනවනන් NLDB. ඕක දැනගත්ත සමීර කියල අපේ සංඛ්‍යානය විශේෂ උපාධි කරපු යාලුවෙක් ඇහුවලු
" ඈ බන් maths special කරපු එවුන්ට පස් ගැන බලන්න දෙන්නේ මොකද?" කියල. එය හිතල තියෙන්නේ පශු සම්පත් කියන්නේ පස ගැන පර්යේෂණ කරන ආයතනයක් කියල.

අදාල පුද්ගලයන්ගෙන් මට ගුටි කන්න වෙයිද දන්නේ නෑ ඔන්. එත් ඉතින් නම් ගම් මන:කල්පිතයි.