Showing posts with label මල්ලි. Show all posts
Showing posts with label මල්ලි. Show all posts

Wednesday, 5 January 2011

මල්ලියි මමයි....

ලියන්න දෙයක් නෑ කියලා උඩ බලාගෙන ඉන්න කොට තමා රංග අය්යාගේ අපේ නංගි පෝස්ට් එක කියෙව්වේ. මටත් මතක උනා මල්ලිටයි මටයි වෙච්ච ඇබැද්දියක්. මේක උනේ අපි තංගල්ලට ගිය අලුත. එතකොට මට අවුරුදු  8 ක් විතර ඇති මල්ලිට අවුරුදු 5 යි. එහෙ ගෙදරට ගිය අලුත වැඩිය බඩු තිබුනෙත් නෑ. අපිට ඕන හැටියේ දඟලන්න පුළුවන්.

අපිට හම්බවෙච්ච තව අලුත් දෙයක් තමයි ජනෙල වල ගහල තිබ්බ දැල්. අපි හිටපු බණ්ඩාරවෙල ගෙදර ඕව තිබුනේ නෑ. ඒ මදිවට එළියේ බිත්තියකුත් තිබ්බා හිල් හිල් තියෙන. (අනේ මන්ද ඒවාට මොනවා කියනවද කියල). කොහොමහරි ඕව දැක්කම මට මතක වෙච්ච් පලවෙනි දේ තමයි ඕවයේ නගින්න පුළුවන් නේද කියල. ඒ දවස් වල උඩවල් වල නගින පිස්සුවම තමා තිබ්බේ. හැබැයි හොරෙන් තමයි කලේ. දන්නවනේ කන්න වෙනවා කියල. ගේ ලගම තිබ්බ, කරපිංචා ගහක නගින්න ගිහිල්ල, එකේ පොඩි ගැට්ටක අඳුම පැටලිලා, කවුරුහරි එනකන් එල්ලිලා හිටපු දවසුත් තිබ්බා.

මේ කියන්න යන කතාව උනේ ජනේලේ ග්‍රිල් වල නගින්න ගිහින්. ඒ ගෙදර තිබ්බේ නිකන්ම මෝස්‌තර නැති කොටු කොටු ග්‍රිල්. ඒ නිසා නගින්න ලේසියි. දවසක් අම්මා අපි දෙන්නට දවාලේ බත් කව කවා හිටියා.  ඒ හිටපු  කාමරේ ඉඳං කුස්සියට ටිකක් යන්න ඕනේ. අම්ම වතුර ගේන්න එහෙම කුස්සියට යනකොට මන් කරන්නේ ජනේලේ දිගේ උඩට නගිනවා. අම්මා එන සද්දෙට ටක් ගාලා බහිනවා. ඕක බලන් ඉඳල මල්ලිත් නගින්න පටන් ගත්තා. අම්මා එනකොට දෙන්නම බහිනවා. අම්මා කොහොමහරි අපි දෙන්නටම කවලා, කෙහෙල් ගෙඩි අරන් එන්න ගිය අතරේ අපි ආපහු නැග්ගා. නැගල අම්ම එනවා ඇහෙනකොට මං බැස්සා, මල්ලිට කලබලේට බහින්න බැරි උනා. කොහොමහරි අම්ම එනකොටම එයා ජනේලෙන් ඇඳට වැටුනා.
ඇඳට වැටිලා මිනිහා දැන් නැගිටින්නේ නෑ. අම්මා බයවෙලා කෑගහනවා. මං කිව්වා 'නෑ එයා ඔය හිනා වේවි ඉන්නවා' කියලා. පස්සේ බැරිම තැන හරවලා බලනකොට වැටිච්ච වේගෙට එයාගේ අත වැලමිටින් කැඩිලා. එයා හොඳටම අඬනවා. අම්මා මට බනිනවා. ඒ අස්සේ තාත්තාත් ගෙදර නෑ මාතර ගිහිල්ලා. කොහොමහරි එයාවත් ගෙන්නවලා මෙයාව මාතර ඉස්පිරිතාලෙට ඇතුළු කරා. ඒ මදිවට මල්ලිට වෙන රෝගි තත්වයන් තිබ්බා. දැන් ඉස්පිරිතාලෙන් ඉල්ලනවා ඒ වාර්තා. ඒවා තිබුනේ බණ්ඩාරවෙල. ඊටපස්සේ අම්මයි මමයි රියදුරෙක් එක්ක රෑම බණ්ඩාරවෙල ගිහින් අර වෛද්‍ය වාර්තා ටික අරගෙන් අනෙත් පැත්තට මාතර ආවා. එවෙලේ ප්ලාස්ටර් එකක් එහෙම අතට දැම්මට පස්සේ සැහෙන කාලයක් වෙදගම බඩගෑව.

ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැග්ගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.

Friday, 31 December 2010

වචනෙන් දෙන උදව්ව...

අපේ මල්ලි ගැන දැන් ඉතින් කට්ටිය දන්නවනේ.. දන්නේ නැති කට්ටිය මෙතනින් කියවන්න. පොඩි එකාගේ රචනාව, ටීම් ඒක,.දඹලාගේ නෑයා

මිනිහ ඉතින් මාර කම්මැලියා නේ. එයාගේ වැඩ මොකවත්ම කරගන්නේ නෑ. අම්මා තමයි ගොඩක් කරන්නේ. මාවයි, තාත්තවයිත් හොඳට කඩේ යවනවා. අපිත් එය පවු හින්ද කඩේ යනවා.

ඔන්න ඉතින් මේ ලගදී දවසක අම්මා එයාගේ කාමරේ අස් කරන්න ලැස්ති වෙලා. ලේසි නෑ එකත අස් කරන්න. දැන් අස් කරත් තව ටිකකින් බලද්දී කලින් තිබිච්ච විදියමයි. අම්මාත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ, පොඩි එකානේ කියල අස් කරනවා. හැබැයි පොඩ්ඩක් මල්ලි එකට උදවු කරන්නේ නම නෑ. එය කරන්නේ ඒ වෙලාවට කාමරෙන් එලියට යන ඒක විතරයි.

මේ ළඟදිත් ඕක කරන්න යනකොට මන් විහිළු කරා "මොනවාද හලෝ! ගිහින් උදව කරනවකෝ" කියල. දැන් ඉතින් මෙය හිටපු තැනින් නැගිටලා ගියා. මාත් හිතුවා අද නං වහී කියල.

ටික වෙලාවකින් මට ඇහෙනවා මෙයා අම්මාට කියනවා
"අම්මේ මේ වචනෙකින් කරන්න පුළුවන් උදව්වක් තියෙනවනං කියන්නකෝ" කියල.....

Saturday, 25 December 2010

~~දඹලාගේ නෑයා~~

ඔන්න මේ කතාවත් අපේ මලයා කියපු කතාවක් තමයි. එයාගේ කතා දෙකක් මං කලින් දවසක් කිව්වනේ. අපේ මලයා බබා වගේ හිටියට අවුරුදු 22 ක තරුණයෙක්. ගෙදර බාලයා නිසාත්, පොඩි කාලේ පටන් අසනීප නිසාත් ගෙදර හැමෝම එයට සැලකුවේ පොඩි ළමයෙකුට වගේ. ඒ පුරුද්දට තාමත් අම්මයි, තාත්තයි ගාවට ගිහින් ශේප් එකේ ගානක් එහෙම කඩා ගන්නවා. තාම කිසි දේක බරක් පතලක් හිතන්නේ නැති නිසා සමහර වෙලාවට හොඳ කතා කියනවා. මෙන්න මේ කතාවත් එය කියපු එකක්.

මෙයා දවාලට ගෙදර ඉන්න නිසා, අපේ අම්ම පොලේ යනකොට මලයවත් එක්කගෙන යනවා. හැබැයි ඉතින් ගෙදර නම් කිසිම වැඩක් කරන්නේ නෑ. අඩුම ගානේ කාපු පිගාන වත් හෝදන්නේ නෑ. අම්මාගේ ඉස්සර ඉඳං පුරුද්දක් තිබුනා, එළවලු ගෙනාවම මල්ලිගෙන් අහනවා ඒවායේ නම්. එක හේතුවක් තමයි එය ඉගෙන ගන්න ඕනේ කියල හිතන එක. අනිත් එක තමයි එයා දෙන උත්තර අහන්න.

මේ ලඟදි දවසකත් අම්මා මල්ලිව පොලේ එක්කරගෙන ගිහින් ඇවිත්, දැන් දෙන්නත් එක්ක එළවලු අස් කරනවලු.
අම්මා දඹල පෙන්නලා ඇහුවලු.."පුතේ මේ මොනවාද?" කියල. දැන් මිනිහා කල්පනා කරනවලු මෙයාට මතක් වෙලාම නෑ. ටික වෙලාවක් කල්පනා කරලා කිව්වලු දන්නේ නෑ කියල. ඉතින් අම්ම කියල දීලා ඒ දඹල කියල.

ඊටපස්සේ බණ්ඩක්කා පෙන්නලා ඇහුවලු "එහෙනන් පුතේ මේ මොනවාද කියන්නකෝ" කියල.
දැන් මිනිහ අයෙත් කල්පනා කරනවලු. ඒත් මතක් වෙන්නේ නෑලු. ඔහොම ටිකක් වෙලා කල්පනා කරලා කිව්වලු.

"මොනවා උනත් මේවා නම් දඹලාගේ නෑයෙක්" කියල. :)

Tuesday, 21 December 2010

~~පොඩි එකාගේ රචනාව~~

මේ කතාවත් අපේ මල්ලි පොඩි එකා කාලේ වෙච්ච එකක්. එතකොට එයා එකේ හරි දෙකේ හරි. අපි ඔක්කොමල එතකොට හිටියේ තංගල්ලේ. අපේ තාත්තාගේ රස්සාව නිසා අපි රටවටේ ඉස්කෝල බර ගානකට ගිහින් තියෙනවා. ඔය තංගල්ලේ ඉස්කෝලේ මගේ දෙවෙනි ඉස්කෝලේ. මල්ලිගේ පලවෙනි ඉස්කෝලේ. මල්ලියි මමයි දෙන්නම හිටියේ එකම ඉස්කෝලේ. අම්මත් ඉගැන්නුවේ ඒ ඉස්කොලෙමයි.

මේ කතාව මල්ලි ඉස්කෝලෙදි ලියපු රචනාවක් ගැන. එයා ලියන රචනා හරි ෂෝක්. මං මේ කියන්න යන කතාවේ එයට ලියන්න තිබිල තියෙන්නේ 'මගේ ප්‍රියතම වාහනය' ගැන. මෙන්න මෙහෙමයි එයා ලියල තියෙන්නේ.

මගේ ප්‍රියතම වාහනය ජීප් රථයයි.
අපේ ගෙදරත් එකක් තිබේ.
මම නිතරම ගමන යන්නට කැමති ඒ වාහනයෙනි.
ඒ උනාට අපේ තාත්තා එය ආණ්ඩුවේ වාහනයක් නිසා ඒකෙන් යන්නට කැමති නැත.
තාත්තා නිතරම හදන්නේ අපේ කාර් ඒකෙන යන්නටයි.
එහෙත් අම්මා කියන්නේ 'ඔන්න ඔහේ ඕකෙම යමු' කියාය.

ඔන්න ඔහොම මල්ලි රචනාව ලියල පන්තිභාර ගුරුතුමියට පෙන්නුවලු. එයින් පස්සේ මාස ගාණක් යනකම් අපේ අම්මට ගුරු මණ්ඩලය සවුත්තුව දැම්මලු. මොනවා උනත් මල්ලි ලියපු කතා නම් ඇත්ත. :)

Monday, 20 December 2010

"~~Most outstanding team එක~~"

මේ සිද්ධිය උනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ මල්ලි පොඩි කාලේ. එය එතකොට 9 පන්තියේ විතර හිටියේ මගේ හිතේ. අපි ඔක්කොම එතකොට පදිංචිය බණ්ඩාරවෙල. මල්ලි ඉස්කෝලේ ගියේ බණ්ඩාරවෙල ප්‍රසිද්ධ බාලක විදුහලකට.
 එයා ඔය කාලේ හිටිය ඉස්කෝලේ chess කණ්ඩායමේ. කණ්ඩායමට බැඳුනාට පස්සේ ඔන්න ඉස්සෙල්ලම තිබුණු tournament එකට යන්න මල්ලිටත් චාන්ස් එකක් ආව. tournament එක තිබුනේ බදුල්ලේ.

අපේ මල්ලි මස 8 න් ඉපදුනු දරුවෙක් නිසාත්, හදවත් රෝගියෙක් උනු නිසාත් අපේ තාත්තා මල්ලිව පරිස්සම් කලේ හරියට දියමන්තියක් පරිස්සම් කරනවා වගේ. කොහෙවත් තනියම යන්න දුන්නේ නෑ. ඉස්කෝලේ උනත්, එයාගේ ගුරුවරුන්ටත් කියල නිතරම එය ගැන අවධියෙන් හිටිය.

මේ ගමන යනවට තාත්තා මුලින් තදින්ම විරුද්ධ උනත්, මල්ලිගේ පෙරැත්තකිරිල්ලටයි, අපේ කීමටයි ඔන්න ඉතින් කැමති උනා. ගමන යන දවසේ ගෙදර හරි යුද්දයක්. මල්ලිට කෑම ලෑස්ති කරනවා, එයාගේ බඩු ලෑස්ති කරනවා. හරි කලබලේ. ඔන්න දන්නේ නැති අයට, බදුල්ල තියෙන්නේ බණ්ඩාරවෙල ඉඳං පැයක දුරින්.

දැන් ඉතින් ඕන්න කොල්ලා බදුල්ලේ ගිහින් හවස ඇවිත් අපිට විස්තර කියනවා. බැලින්නම් මෙයාලට දවසම සෙල්ලම් කරන්න හම්බෙලා නෑ. ඉස්කෝලේ නම ඇතුලත් කරන්න අදාළ ගුරුවරයාට අමතක වෙලා. ඔහොම ඉතින් කාපු බීපු විස්තර එහෙම කියල, මෙයා කියනවා අපි තමයි එතන හිටපු Most outstanding team එක කියල. දැන් අපි කල්පනා කරනවා මේ ගොල්ලෝ සෙල්ලම් කරන්නෙත් නැතුව එහෙම උනේ කොහොමද කියල. පස්සේ විස්තර ඇහුවම තමයි තේරුනේ..

මෙයලානේ වැඩි පුරම එළියෙන් හිටගෙන ඉඳල තියෙන ටීම් එක.  Out ....Standing.....:D