Showing posts with label කතා. පුංචි කාලේ. Show all posts
Showing posts with label කතා. පුංචි කාලේ. Show all posts

Wednesday, 5 January 2011

මල්ලියි මමයි....

ලියන්න දෙයක් නෑ කියලා උඩ බලාගෙන ඉන්න කොට තමා රංග අය්යාගේ අපේ නංගි පෝස්ට් එක කියෙව්වේ. මටත් මතක උනා මල්ලිටයි මටයි වෙච්ච ඇබැද්දියක්. මේක උනේ අපි තංගල්ලට ගිය අලුත. එතකොට මට අවුරුදු  8 ක් විතර ඇති මල්ලිට අවුරුදු 5 යි. එහෙ ගෙදරට ගිය අලුත වැඩිය බඩු තිබුනෙත් නෑ. අපිට ඕන හැටියේ දඟලන්න පුළුවන්.

අපිට හම්බවෙච්ච තව අලුත් දෙයක් තමයි ජනෙල වල ගහල තිබ්බ දැල්. අපි හිටපු බණ්ඩාරවෙල ගෙදර ඕව තිබුනේ නෑ. ඒ මදිවට එළියේ බිත්තියකුත් තිබ්බා හිල් හිල් තියෙන. (අනේ මන්ද ඒවාට මොනවා කියනවද කියල). කොහොමහරි ඕව දැක්කම මට මතක වෙච්ච් පලවෙනි දේ තමයි ඕවයේ නගින්න පුළුවන් නේද කියල. ඒ දවස් වල උඩවල් වල නගින පිස්සුවම තමා තිබ්බේ. හැබැයි හොරෙන් තමයි කලේ. දන්නවනේ කන්න වෙනවා කියල. ගේ ලගම තිබ්බ, කරපිංචා ගහක නගින්න ගිහිල්ල, එකේ පොඩි ගැට්ටක අඳුම පැටලිලා, කවුරුහරි එනකන් එල්ලිලා හිටපු දවසුත් තිබ්බා.

මේ කියන්න යන කතාව උනේ ජනේලේ ග්‍රිල් වල නගින්න ගිහින්. ඒ ගෙදර තිබ්බේ නිකන්ම මෝස්‌තර නැති කොටු කොටු ග්‍රිල්. ඒ නිසා නගින්න ලේසියි. දවසක් අම්මා අපි දෙන්නට දවාලේ බත් කව කවා හිටියා.  ඒ හිටපු  කාමරේ ඉඳං කුස්සියට ටිකක් යන්න ඕනේ. අම්ම වතුර ගේන්න එහෙම කුස්සියට යනකොට මන් කරන්නේ ජනේලේ දිගේ උඩට නගිනවා. අම්මා එන සද්දෙට ටක් ගාලා බහිනවා. ඕක බලන් ඉඳල මල්ලිත් නගින්න පටන් ගත්තා. අම්මා එනකොට දෙන්නම බහිනවා. අම්මා කොහොමහරි අපි දෙන්නටම කවලා, කෙහෙල් ගෙඩි අරන් එන්න ගිය අතරේ අපි ආපහු නැග්ගා. නැගල අම්ම එනවා ඇහෙනකොට මං බැස්සා, මල්ලිට කලබලේට බහින්න බැරි උනා. කොහොමහරි අම්ම එනකොටම එයා ජනේලෙන් ඇඳට වැටුනා.
ඇඳට වැටිලා මිනිහා දැන් නැගිටින්නේ නෑ. අම්මා බයවෙලා කෑගහනවා. මං කිව්වා 'නෑ එයා ඔය හිනා වේවි ඉන්නවා' කියලා. පස්සේ බැරිම තැන හරවලා බලනකොට වැටිච්ච වේගෙට එයාගේ අත වැලමිටින් කැඩිලා. එයා හොඳටම අඬනවා. අම්මා මට බනිනවා. ඒ අස්සේ තාත්තාත් ගෙදර නෑ මාතර ගිහිල්ලා. කොහොමහරි එයාවත් ගෙන්නවලා මෙයාව මාතර ඉස්පිරිතාලෙට ඇතුළු කරා. ඒ මදිවට මල්ලිට වෙන රෝගි තත්වයන් තිබ්බා. දැන් ඉස්පිරිතාලෙන් ඉල්ලනවා ඒ වාර්තා. ඒවා තිබුනේ බණ්ඩාරවෙල. ඊටපස්සේ අම්මයි මමයි රියදුරෙක් එක්ක රෑම බණ්ඩාරවෙල ගිහින් අර වෛද්‍ය වාර්තා ටික අරගෙන් අනෙත් පැත්තට මාතර ආවා. එවෙලේ ප්ලාස්ටර් එකක් එහෙම අතට දැම්මට පස්සේ සැහෙන කාලයක් වෙදගම බඩගෑව.

ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැග්ගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.

Tuesday, 21 December 2010

~~පොඩි එකාගේ රචනාව~~

මේ කතාවත් අපේ මල්ලි පොඩි එකා කාලේ වෙච්ච එකක්. එතකොට එයා එකේ හරි දෙකේ හරි. අපි ඔක්කොමල එතකොට හිටියේ තංගල්ලේ. අපේ තාත්තාගේ රස්සාව නිසා අපි රටවටේ ඉස්කෝල බර ගානකට ගිහින් තියෙනවා. ඔය තංගල්ලේ ඉස්කෝලේ මගේ දෙවෙනි ඉස්කෝලේ. මල්ලිගේ පලවෙනි ඉස්කෝලේ. මල්ලියි මමයි දෙන්නම හිටියේ එකම ඉස්කෝලේ. අම්මත් ඉගැන්නුවේ ඒ ඉස්කොලෙමයි.

මේ කතාව මල්ලි ඉස්කෝලෙදි ලියපු රචනාවක් ගැන. එයා ලියන රචනා හරි ෂෝක්. මං මේ කියන්න යන කතාවේ එයට ලියන්න තිබිල තියෙන්නේ 'මගේ ප්‍රියතම වාහනය' ගැන. මෙන්න මෙහෙමයි එයා ලියල තියෙන්නේ.

මගේ ප්‍රියතම වාහනය ජීප් රථයයි.
අපේ ගෙදරත් එකක් තිබේ.
මම නිතරම ගමන යන්නට කැමති ඒ වාහනයෙනි.
ඒ උනාට අපේ තාත්තා එය ආණ්ඩුවේ වාහනයක් නිසා ඒකෙන් යන්නට කැමති නැත.
තාත්තා නිතරම හදන්නේ අපේ කාර් ඒකෙන යන්නටයි.
එහෙත් අම්මා කියන්නේ 'ඔන්න ඔහේ ඕකෙම යමු' කියාය.

ඔන්න ඔහොම මල්ලි රචනාව ලියල පන්තිභාර ගුරුතුමියට පෙන්නුවලු. එයින් පස්සේ මාස ගාණක් යනකම් අපේ අම්මට ගුරු මණ්ඩලය සවුත්තුව දැම්මලු. මොනවා උනත් මල්ලි ලියපු කතා නම් ඇත්ත. :)