Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Friday, 11 February 2011

මඩයා...



මඩයා ඒ කියන්නේ අද කතාවේ කතා නායකයා කවුද කියල අපේ බස් පදින ජනතාවට නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මඩයා හරි මඩ අය්යා හරි කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. මේ හාදය බ්ලොග් ලෝකේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. අවුලකට තියෙන්නේ මෙයාගේ යාලුවොන්ට හරිම වැඩ තමයි වෙන්නේ. මෙයාට නම් කිසිම අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා නෑ. ලිව්වොත් ලියන්නේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. එයා කියන විදියට නම් රහමෙර පානය නවත්තතන්නත් බැරි වෙලා තියෙන්නේ අපිට කියවන්න බ්ලොග් එකේ කතා ලියන්න කතා හොයාගන්න ඒ වගේ සෙට් වීම අත්‍යාවශ්‍ය නිසා.

ඉතින් කොහොමහරි මේ චරිතෙට අද පුදුම වැඩක් වෙලා. ලොකු දෙයක් නෙමෙයි ඉතින්. කවදාවත් කිසි දෙයක් වෙන්න නැති කෙනෙකුට ඉතින් පොඩි දෙයක් උනත් ඉතින් මදෑ. කොහොමහරි මේ පුද්ගලයා වෙච්ච සිද්ධිය කියලා ගූගල් බස් එකක් දැම්මම කට්ටිය like කරලත් තිබුනා.

දැන් ඉතින් අනං මනං කිව්වා ඇති. වෙච්ච දේ කියන්නම්කො. උදේ පාන්දර  නැගිටලා කාමරේ දොර අරින්න හදනකොට ලොක් එක කැඩිලා මඩ අයියා කාමරේ හිර වෙලා. උදව්වට යාලුවෙකුට කතා කරාම එය එන්නම් කියලා තියෙන්නේ 9 ට. මට ආරංචිය එනකොටත් 8 ට කිට්ටු කරලා මට මතක විදියට. අන්තිමට අපේ කතා නායකයා T.V . Series බල බල අමාරුවෙන් කාලේ ගෙවා ගත්තලු. පවු නේද? :)

Thursday, 20 January 2011

අපිට වෙච්ච දේ...

ඊයේ දෙය්යනේ කියල දත කට මැදගෙන කාලෙකට පස්සේ ලිව්වා මදෑ. ටික වෙලාවකින් මඩ අයිති කාරයා අඩාගෙන එනවා කරපු වැඩේ සවුත්තුයි කියල, ඉතින් මමත් කලබල වෙච්ච පාර ඒක මකල දැම්ම. මටත් මාර අප්සෙට්.  මෙන්න එපාර හවස කියනවා "අපෝ ඔය හරි මෝඩයි, ලියපු එකත් මැකුව නේ " කියල. ඔය වෙලාවට නම් ඉතින් කියන්න ඕනේ ඒවා මතක වෙන්නෙත් නෑ.

කොහොමහරි කමක් නෑ සැහෙන කාලෙකට පස්සේ මාත් ඔන්න ලියන්න ආවා. රංග අය්යත් සෙන්චරිය ගහල ඉන්න වෙලාවේ හරි නැනේ මොකවත් නොලිව්වොත්. මම නම් ඉතින් ළමයෙක් ගේ කතාවක් නිසා සැහෙන්න දුක් වෙලා ලියන එකත් එපා වෙලා හිටියේ. දැන් ඉතින් ළමය වැඳලා සමත්ව අරගෙන තියෙන්නේ. ඒත් ඉතින් රිදුනු හිත සනීප වෙන්න නම් තව ටික දවසක් යාවී. එහෙම කියල නොලිය ඉන්නත් බැනේ.

හරි හමන් කතාවක් මතක වෙන්නෙත් නෑ ලියන්න. ඒ නිසා අදට මෙතනින් නවතිනවා. මට දැන් පොඩි කතාවක් මතක් වෙනවා වගේ, ඔන්න ඒක හෙටම ලියනවා. 

Monday, 10 January 2011

ඔයා මැරි කරලද?

මේක උනේ අද මම බස් එකක් එනතුරු ඩුප්ලිකේෂන් පාරේ හිටගෙන් ඉන්නකොට. මම වැඩකට බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගොඩ වැදී ආපහු ගෙදර එන්න 112 බසයක් එනතුරු හිටියා. මම ඉතින් පදිංචිය නුගේගොඩ පැත්තේ නොවැ. ඒ නිසා 112 ක් එනකන් කට්ට කන එක ලේසියි වෙන බස් ගන්නවට වඩා. ඔහොම ඉතින් කට්ට කකා ඉන්න කොට ඔතනට ආපු තවත් හාදයෙක් මගේ දිහා බලල හොඳට අදුනනව වගේ හිනා පානවා. මාත් බැලුව කවුද බොල මේ කියලා. දැකල පුරුදු ගතියක් වත් නෑ.

ටික වෙලාවකින් මෙන්න මේ මනුස්සය මගේ පැත්තට එනවා. මාත් අහක බලාගන්න හදනකොටම, 'ඔයා බණ්ඩාරවෙල නේද?" කියල ඇහුව. මට හිතුනා යන්තම් හරි මාව දන්න මනුස්සයෙක් වෙන්න ඇති කියල. මං කිව්වා ඔව් කියල. ඉස්කෝලේ නමත් කියල ඇහුවා, මං ඒකටත් ඔව් කීවා. මටත් ඉතින් කට වහගෙන ඉන්න බෑනේ. මාත් ඇහුවා "ඔයා බණ්ඩාරවෙලද? මං නම් දැකල නෑ කියල. " "මිනිහ කිව්වා ඔව් කියල. මාත් ඉතින් එක අහගෙන සද්ද නැතුව ඉන්න යන කොට මගෙන් මෙයා සැහෙන ප්‍රශ්න අහනවා. ඉන්ටර්විව් එකක් වගේ. මේ කොහෙද යන්නේ? මෙහෙ මොකද කරන්නේ? වගේ රටේ නැති ඒවා. මාත් ඉතින් වචනෙන් දෙකෙන් උත්තර දීල බේරෙන්න හදන කොට, මෙයා නවත්තන්නේ ම නෑ..

ඔහොම ටික වෙලාවක් යද්දී මේ මිනිහ අහනවා "ඔයා මැරි කරලද?" කියල. මං කිව්වා "ඔව් මේ අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ කියල. මේක කිව්වා විතරයි මිනිහ ටිකක් එහාට වෙලා ෆෝන් එකත් සාක්කුවෙන් එලියට  අරගෙන කෝල් එකක් ඩයල් කරලා කනේ ගහ ගත්තා. මට කතා කරේ නැති ගානට පැත්තකට වෙලා.

එතකොටනේ මට තේරුනේ මිනිහා මොකටද ආවේ කියල. :) හොඳ වෙලාවට බේරුනේ.

Friday, 7 January 2011

අර තියෙන්නේ අපේ ගෙදර!

මේකත් ඉතින් මං කරපු වික්‍රමයක් තමයි. මේක මං ගිය මොන්ටිසොරියේදී වෙච්ච කතාවක්. මාව අනෙක් ළමයින්ට වඩා අවුරුද්දක් කලින් මොන්ටිසෝරි දැම්මා තාත්තාට මාව තනියම බල ගන්න බෑ කියල. එතකොට මොකක්හරි හේතුවක් හින්ද අම්මා කොළඹ ඇවිත් හිටියේ මල්ලිත් එක්ක. මමයි තාත්තයි බණ්ඩාරවෙල හිටියේ. එහෙම ඉඳලත් මොන්ටිසෝරි යන්න බෑ කියල සෙල්ලම් දාපු නිසා වැඩි දවසක් යන්න කලින් මාව එහෙං අස් කරගෙන ඇවිත් කොළඹ මොන්ටිසොරියකට දැම්ම. මං ඉතින් මොන්ටිසෝරි දෙකකට ගිහින් තියෙනවා.

ඉතින් ඔය බණ්ඩාරවෙල මොන්ටිසෝරියේ ඉන්නකොට ළමයි එකතු උනාම විස්තර අහනව ගෙදර විස්තර එහෙම. පොඩි කියල වෙනසක් නෑ. මගෙනුත් ඔහොම ප්‍රශ්න ගොඩක් අහල අන්තිමට අහන්නේ ගෙදර කොහෙද කියලා. ඒ දවස් වල නමකින් තැනක් කියන්න දන්නේ නෑනේ. මං ඉතින් කියන්නේ මෙතනින් පාර දිගේ ගිහිල්ලා මේ කන්ද නැගල ඊළඟ කන්ද බැහැලා එතනින් එන පාරෙන් හැරිලා යන්න තියෙන්නේ කියල. ඕක ඉතින් හැමෝටම කියන්න ගියාම වාතයක් වෙනවානේ. ටික දවසක් යනකොට මට ඒක කියන එක එපා උනා.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කොහෙද ඔයාලගේ ගෙදර තියෙන්නේ " කියල. මං ටක් ගාලා අත දිගෑරල "අර තියෙන්නේ අපේ ගෙදර කියල" මොන්ටිසොරිය ඉස්සරහ තිබ්බ ගෙදරක් පෙන්නුවා.
ඊටපස්සේ දවසක අම්ම ගෙදර ආවම මං අම්මට   ' අම්මේ අර ළමය ඇහුවා නේ අපේ ගෙදර කොහෙද කියලා , මං පෙන්නුවා ඉස්සරහ ගෙදර කියල" කියල කිව්වා. අම්ම අර කියපු ලමයව දන්නවා, එයාගේ අම්මයි තාත්තයි අපේ අම්මගේ යාලුවෝ.
අම්මා මගේ කතාව අහගෙන ඉඳල ඒක පාරටම කිව්වේ "ඔයා පෙන්නලා තියෙන්නේ ඒ ළමයාගේම ගෙදර නේ."
එදයින් පස්සේ කවුරුහරි ගෙදර තියෙන තැන ඇහුවම මං කිව්වේ "ඒක තියෙන්නේ ගොඩාක් දුර කියල " විතරයි.

Thursday, 6 January 2011

අපිට තේ දෙන්න!

මෙච්චර දවස් මං මල්ලිට වෙච්ච කතායි එය කියපු කරපු එවයි කිව්වා නේ. ඔය වගේම කතා සෙට් එකක් තියෙනවා මටත්. ඒවා ඉතින් වැඩිය කතා වෙන්නේ නෑ. මං ගෙදර ලොක්ක නේ.

දැන් වගේ නෙවෙයි ඉස්සර පොඩි කාලේ මගේ වැඩේ කියවන එකලු. තනියම ඉන්නකොටත් කතා කර කරලු ඉන්නේ. දැන් නම් එච්චර කතා කරන්නේ නෑ. ලියන එක තමා වැඩිපුර කරන්නේ. පොඩි මගේ කතා හින්ද අපේ අම්මටයි තාත්තාටයි වෙච්ච ඇබැද්දි ටිකක් තමයි මේ.

කතාව 1:

අම්මයි තාත්තයි දවසක් මාත් එක්ක කොහෙද ගමනක් යන කොට, තේ බොන්න කියල නැවත්තුවලු. තේ බොන්න කලින් මොනවහරි කන්නත් ගන්නවනේ. ඉතින් තාත්තා මගෙන් ඇහුවලු "මොනවාද පුතේ ඕනේ?" කියල.  මං ගත්තු කටටම හයියෙන් කෑගහල කිව්වලු "තාත්තේ මට අර උඩ තියෙන fan එක ඕනේ" කියල. කඩේ හිටිය හැමෝම හිනාවෙන්න ගත්තලු. අම්මයි තාත්තයි වැඩි වයසකත් නෙමෙයි ඉඳල තියෙන්නේ. ලැජ්ජාවේ පන ගියාලු. කොහොමහරි හරි අමරුවෙන්ලු ශේප් කරගෙන එලියට අරන් ඇවිත් තියෙන්නේ.


කතාව 2. 

මේකත් ඉතින් මගේ කට ගැන තමා. අම්මයි තාත්තයි දවසක් මාව එක්කරගෙන තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු. යනකොට බිස්කට් එහෙම අරගෙන යනවනේ. ඉතින් ඔහොම අරගෙන ගිහින් තාත්තයි අම්මයි අර ගෙදර කට්ටියත් එක්ක බර කතාවක් ලු. ටික වෙලාවක් මං ඕක දිහා බලාගෙන ඉඳල කිව්වලු "අර බිස්කට් එක කඩල අපිට දීලා බොන්න මොනවහරි එහෙම ගෙන්න" කිව්වලු. අම්මටයි තාත්තටයි පොලොව පලාගෙන යන්න හිතුනලු. ඊටපස්සේ කොහොමහරි මාව එලියට එක්කරගෙන යන එක සැහෙන්න අඩු කරාලු.

Friday, 31 December 2010

ආයුබෝවන් 2010 welcome 2011

2010 ගෙවී යමින් පවතී. අලුත් වසර උදවෙන්නට ඇත්තේ තව පැය කිහිපයක් පමණි. ඊට කලින් පරණ වසර ගැන ලියා අතීතාවර්ජනයක් කරන්නට මට සිතුනි. 2010 මුල් වකවානුවේ මට සුන්දර මතක නැති තරම්ය. වෙන තරමක් දේවල් උනේ මගේ කරුමෙටය.

හොඳින් කල්පනා කල විට මට මා දුරකථනය මිලදී ගත් බව මතක් වේ. එයනම් දැන් සැහෙන්න පරණ පාටය. දුටු කෙනෙකු සිතන්නේ අරගෙන අවුරුදු ගානක් ගතවී ඇත කියාය. කෙසේ වෙතත් මතක් කර බැලු විට මාස 7 කි. වැඩි කලක් නැත.

ඊට පසු මතක් වන්නේ මා එවක සේවය කල ජාත්‍යන්තර පාසලේ දෙවන වාරයේදී, වාරයටම නිවාඩු 3 ක් ගත් බැවින් දින 4 ක් බැනුම් අසන්නට වූ සැටිය. එය නම් මට කිසිදා අමතක නොවන සිද්දියකි.

ඉන්පසුව සැප්තැම්බරයේ ඇරඹි නව වාරයේ මම එහි ගණිත ගුරුතුමියට අමතරව සිංහල ගුරුත්මියද, බුද්ධාගම ගුරුතුමියද, සහ තව බොහෝ විෂය භාර ගුරුතුමියක වීමී. ඒ අතුරින් ගණිතය හැර අනෙක් බොහෝ විෂයන් මාද දැන සිටියේ අල්ප වශයෙනි. කෙසේ හෝ මා ඒවා ඉගැන්නුවෙමි. උගන්නට ගොස් ඇන ගත් වාරද ඇත.

ඔය කාලයේ මගේ පෙර පිනකට ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වූ තරග විභාගය මා සමත්ව, එයින් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂනයෙන්ද සමත්වුනෙමි. පුහුණුවකින් පසු මට දැනට උගන්වන පාසැලට පත්වීම ලැබුණි. 2010 වසරේ මට වූ හොඳම දෙය එයයි.  එයින් පසු මගේ ජීවිතය තරමක් හෝ සුන්දර විය. මුල් දවසේ මෙම පාසලට ගිය දවසේ එහි වූ ගුරු නිවාඩු ලේඛනය දැක මට ප්‍රීතියක් ඇති විය. මෙහි ගුරුවරු රිසිසේ නිවාඩු ගනිති.

දෙසැම්බර් මාසයේ මා මෙම බ්ලොගය පටන් ගතිමි. එය ගොස් ඇති දුර හැමදෙනාම ම දනී. ඒ නිසා ඒ ගැන මා කිව යුතු නැත.
වසර අවසානයට පෙර බ්ලොගයෙන් මා ගැසූ මඩ තොප්පියක් කණියා මල්ලි ඇද තම හිස මත පළන්දා  ගෙන 'කෙකිට වාරයක් නම් තිත්තයාට වාරයක් ද ඇතැයි' යයි පවසා තිබුන බවද ආරංචි විය. තිත්තයාට වාරයක් ලබන අවුරුද්දේ වත් නොලැබෙවායි  ප්‍රාර්ථනා කරමි.

ඒ කෙසේ වෙතත් ඊළඟ අවුරුද්ද එනතෙක්‌ මා ඇඟිලි ගනිමින් බලා සිටිමි. ඒවා ගැන අසා පලක් නැත. ඒවා කීමට මගේ  බලාපොරොත්තුවක්ද නැත.
අවසානයේ, මේ අවුරුද්දේ මගේ කතා කියවූ, නොකියවූ, කොමෙන්ටු දැමු නොදැමූ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභ නව වසරක් පතමි!!

වචනෙන් දෙන උදව්ව...

අපේ මල්ලි ගැන දැන් ඉතින් කට්ටිය දන්නවනේ.. දන්නේ නැති කට්ටිය මෙතනින් කියවන්න. පොඩි එකාගේ රචනාව, ටීම් ඒක,.දඹලාගේ නෑයා

මිනිහ ඉතින් මාර කම්මැලියා නේ. එයාගේ වැඩ මොකවත්ම කරගන්නේ නෑ. අම්මා තමයි ගොඩක් කරන්නේ. මාවයි, තාත්තවයිත් හොඳට කඩේ යවනවා. අපිත් එය පවු හින්ද කඩේ යනවා.

ඔන්න ඉතින් මේ ලගදී දවසක අම්මා එයාගේ කාමරේ අස් කරන්න ලැස්ති වෙලා. ලේසි නෑ එකත අස් කරන්න. දැන් අස් කරත් තව ටිකකින් බලද්දී කලින් තිබිච්ච විදියමයි. අම්මාත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ, පොඩි එකානේ කියල අස් කරනවා. හැබැයි පොඩ්ඩක් මල්ලි එකට උදවු කරන්නේ නම නෑ. එය කරන්නේ ඒ වෙලාවට කාමරෙන් එලියට යන ඒක විතරයි.

මේ ළඟදිත් ඕක කරන්න යනකොට මන් විහිළු කරා "මොනවාද හලෝ! ගිහින් උදව කරනවකෝ" කියල. දැන් ඉතින් මෙය හිටපු තැනින් නැගිටලා ගියා. මාත් හිතුවා අද නං වහී කියල.

ටික වෙලාවකින් මට ඇහෙනවා මෙයා අම්මාට කියනවා
"අම්මේ මේ වචනෙකින් කරන්න පුළුවන් උදව්වක් තියෙනවනං කියන්නකෝ" කියල.....

හීං ටොක්ක

අද ඉතින් අවුරුද්දේ අන්තිම දවසනේ. ඉස්කෝලේ පටන් ගන්න කලින් තියෙන අන්තිම සතියේ දවස. ඒ නිසාම ඉස්කෝලෙන් දාලා තිබ්බා ගුරු හමුවක්. ඔන්න ඉතින් ගුරු හමුවේදී අපේ අලුත් විදුහල්පතිනිය එහෙම කතා කරා.ගුරු හමුව අවසානයේ අපි ඉතින් ගුරු වරුත් එක්ක කතා කරන්න එහෙම ගියා.

කලින් වාරේ ඉවර වෙන දවසේ මට එවල තිබුන සාමාන්‍ය පෙළ ගණිතය කරන්න කියල දන්වල එවල තිබ්බා. අපි ඉතින් අලුතෙන් ගිය උසස් පෙළ ගුරුවරුනේ. උපාධියත් කරලා, ඊටපස්සේ ආණ්ඩුවෙන් තිබ්බ විභාගෙත් පාස් කරලා, සම්මුඛ පරීක්ෂණ වලට එහෙම පෙනී හිටලා හම්බෙච්ච රස්සාවනේ. අපිටත් ඉතින් උණ. මං ඉතින් අරගල කරා මට සාමාන්‍ය පෙළ පන්ති වලට උගන්න බෑ කියල. අපේ අංශ භාර ගුරුතුමීත් මට සපෝර්ට් එකට කාර්යභාර නියෝජ්‍ය විදුහල්පති ගාවට ගිහින් මේ කතන්දරේ කිව්වා. එයා ඉතින් පොරොන්දු උනා එක ගැන හොයල බලලා මොකක් හරි කරන්න. ඒ කතාව එතනින් ඉවරයි.

අපේ සහකාර විදුහල්පතිතුමියක් ඉන්නවා, මගේ විෂයම උගන්වන. එය තමයි මාව මේ ඉස්කෝලෙට අරගෙන උගන්වන ඒවා ගැන එහෙම මට ගුරු හැරු කම දෙන්නේ.

අද ඉතින් මං ගියා එතුමියවත් හම්බෙන්න. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කතාව හැරුන වෙනම පැත්තකට.

මිස්:- දැන් ඔයාට වෙන පන්ති එහෙම දීල නැද්ද?
මම: 11 වසර දීලා තියෙනවනේ
මිස්:- ඒක හොඳයි. ඔයාට දෙන ඒවා බාරගෙන කරන්න ඕනේ. මං මුලින්ම ගියාම රසායන විද්‍යාවත් කරා. 8 වසර ගණිතයත් කරා. ඒවා ඉතින් හරි ප්‍රයෝජනයි.
මං ඉතින් ඔලුව වන වනා අහගෙන ඉන්නවා.
මිස්:- ඔයාව අනික අපි කොච්චර අමාරුවෙන්ද මේ ඉස්කෝලෙට ගත්තේ කරන පීරියඩ් ගැන අඩුයි කියල මාරු කරොත් එහෙම. එකයි මං ඔයාව 11 ට දාන්න කිව්වේ. ඔය ඉතින් එහෙ කලර්ස් පෙන්නන්න.

මං ඉතින් තව ටිකක් ඔලුව වනල හොඳයි කියල ආවා.මං කොයි වෙලාවෙවත් මේ මිස්ට කියල තිබුනේ නෑ මට 11 වසර කරන්න බෑ කියල. කවුරු හරි කියල මගේ අරගලේ ගැන.
මං ඉතින් හිතා ගත්තා ඔන්න ඔහේ කරන්න. :)

Saturday, 25 December 2010

~~දඹලාගේ නෑයා~~

ඔන්න මේ කතාවත් අපේ මලයා කියපු කතාවක් තමයි. එයාගේ කතා දෙකක් මං කලින් දවසක් කිව්වනේ. අපේ මලයා බබා වගේ හිටියට අවුරුදු 22 ක තරුණයෙක්. ගෙදර බාලයා නිසාත්, පොඩි කාලේ පටන් අසනීප නිසාත් ගෙදර හැමෝම එයට සැලකුවේ පොඩි ළමයෙකුට වගේ. ඒ පුරුද්දට තාමත් අම්මයි, තාත්තයි ගාවට ගිහින් ශේප් එකේ ගානක් එහෙම කඩා ගන්නවා. තාම කිසි දේක බරක් පතලක් හිතන්නේ නැති නිසා සමහර වෙලාවට හොඳ කතා කියනවා. මෙන්න මේ කතාවත් එය කියපු එකක්.

මෙයා දවාලට ගෙදර ඉන්න නිසා, අපේ අම්ම පොලේ යනකොට මලයවත් එක්කගෙන යනවා. හැබැයි ඉතින් ගෙදර නම් කිසිම වැඩක් කරන්නේ නෑ. අඩුම ගානේ කාපු පිගාන වත් හෝදන්නේ නෑ. අම්මාගේ ඉස්සර ඉඳං පුරුද්දක් තිබුනා, එළවලු ගෙනාවම මල්ලිගෙන් අහනවා ඒවායේ නම්. එක හේතුවක් තමයි එය ඉගෙන ගන්න ඕනේ කියල හිතන එක. අනිත් එක තමයි එයා දෙන උත්තර අහන්න.

මේ ලඟදි දවසකත් අම්මා මල්ලිව පොලේ එක්කරගෙන ගිහින් ඇවිත්, දැන් දෙන්නත් එක්ක එළවලු අස් කරනවලු.
අම්මා දඹල පෙන්නලා ඇහුවලු.."පුතේ මේ මොනවාද?" කියල. දැන් මිනිහා කල්පනා කරනවලු මෙයාට මතක් වෙලාම නෑ. ටික වෙලාවක් කල්පනා කරලා කිව්වලු දන්නේ නෑ කියල. ඉතින් අම්ම කියල දීලා ඒ දඹල කියල.

ඊටපස්සේ බණ්ඩක්කා පෙන්නලා ඇහුවලු "එහෙනන් පුතේ මේ මොනවාද කියන්නකෝ" කියල.
දැන් මිනිහ අයෙත් කල්පනා කරනවලු. ඒත් මතක් වෙන්නේ නෑලු. ඔහොම ටිකක් වෙලා කල්පනා කරලා කිව්වලු.

"මොනවා උනත් මේවා නම් දඹලාගේ නෑයෙක්" කියල. :)

Wednesday, 22 December 2010

"~~නවක ගුරු සුහද හමුව~~"

ඔන්න අද හා හා පුරා කියල අපේ අලුතින් උපාධිධාරී ගුරු පත්වීම් හම්බුනු ගුරුවර ගුරුවරියන්ගේ සුහද හමුවක් තිබුන. පත්වීම් ලැබිලත් වැඩි කාලයක් නැති නිසා, මේක තමයි අපේ පළමු හමුව. හමුව තිබුනේ නුවර. ලංකාවේ හැම දිසාවෙන්ම ගුරුවරු මෙයට සහභාගී වෙනවා කියපු නිසා, කොළඹ හා අවට අය කතිකා කරගත්ත කෝච්චියේ මේ ගමන යන්න.

කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්න තිබ්බේ උදේ 7 ට. කාගේ කාගේත් හැටි දන්නා අමරේ අය්ය හැමෝටම උදේ 6.30 වෙද්දී කොටුව ස්ටේෂමට එන්න කියල තිබ්බ. මාත් ඉතින් උදේ පාන්දරම ඇඳගෙන, කල්පනා කරා කොහොමද යන්නේ කියල. 138 බස් එකේ යන ඒක ලේසි උනත් මට හිතුන උදේ පාන්දර කෝච්චියෙන් කොටුවට යන ඒක ඊට වඩා ලේසියි කියල. ඉතින් අපේ නඩේ ගුරාට දුරකථන ඇමතුමක් දීල, මං එන විදියත් කිව්වා. මොකද ඉතින් කෝච්චිය නුගේගොඩට 6.10 ට එනවා කිව්වට ඕව ඉතින් විශ්වාස නැනේ. ලංකාවේ කොච්චි නේ.  ඉතින් මං ගත්ත කොටුවට ටිකට් එකක්. මගේ තිබුණු කලබලේට තව පොඩ්ඩෙන් මං සල්ලි දීල ටිකට්ටුව කවුන්ටරේම දාල යනවා. කවුන්ටරේ හිටපු මනුස්සයගෙන් උදේ පාන්දරම නෝන්ඩියක් එහෙම කාල. මං හිමින් සැරේ ඇවිද්ද ප්ලැට් ෆෝර්ම් ඒක දිහාට. හිතුව වගේම කෝච්චිය චුට්ටක් විතර පරක්කුයි. ඒත් ඉතින් හොඳට ඉඩ තිබුණු නිසා ඒවා ගැන නොසිතාම මං නැගල වාඩි උන.

කෝච්චිය කොටුවට එනකොට 6.35 ට විතර ඇති. බැස්ස විතරයි අමරේ අය්ය දුරකථන ඇමතුමක් එහෙම දීල විමසුවා මං ඉන්න ඉසව්ව. තුනේ නේ ප්ලට්ෆොර්ම් එකට එන්න කියල, ඇත්තටම එයා හිටියේ 2. කොහොමහරි ඒ අවුලත් විසඳගෙන අපි නැග්ග කෝච්චියට. මං ඉතින් පිටිපස්සෙන් ගමරාලත් එක්ක පොඩි කයියක් ගහගෙන ඉන්නකොට, අපිට ඇහුන ඉස්සරහ පොඩි කලබලයක්. (ගමරාල කවුද කියල මං මීට කලින් කියල තියෙනවා. කියවල නැත්නම් මෙන්න) බලනකොට අපේ අමරේ අයය හයියෙන් හයියෙන් ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ඉන්න මහත්තයෙක්ව අමතනවා.අමරේ අය්යා ඉතින් හරි චන්ඩියා දැන්. කොළඹ 7 නේ පදිංචිය.

අමරේ අයය: මේ අපිට වෙන් කරපු ආසන නේ මහත්තය!
මහත්තය: එහෙම වෙන්නේ කොහොමද? මේ අපේ ආසන
අමරේ අය්යා: ඒක වෙන්න බැනේ. මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා.
මහත්තයා: පොඩ්ඩක් අයෙ ඔය ටිකට් ඒක බලන්නකෝ.
අමරේ අයය: ආහ් සමාවෙන්න මහත්තය. අපි මේ බලල තියෙන්නේ ආපහු එන ටිකට්. අපිට තියෙන්නේ බී එකේ.

කොහොමින් හරි අපි ඒ මනුස්සයගෙන් ගුටි නොකා බේරිලා ආවා. තව ටිකක් වෙලා ගියා නම් මොනවා වෙයිද දන්නේ නෑ.

කතාවේ හොඳම හරිය තියෙන්නේ ඊටපස්සේ..ඒ ටික පස්සේ ලියන්නම්...