Friday, 31 December 2010

ආයුබෝවන් 2010 welcome 2011

2010 ගෙවී යමින් පවතී. අලුත් වසර උදවෙන්නට ඇත්තේ තව පැය කිහිපයක් පමණි. ඊට කලින් පරණ වසර ගැන ලියා අතීතාවර්ජනයක් කරන්නට මට සිතුනි. 2010 මුල් වකවානුවේ මට සුන්දර මතක නැති තරම්ය. වෙන තරමක් දේවල් උනේ මගේ කරුමෙටය.

හොඳින් කල්පනා කල විට මට මා දුරකථනය මිලදී ගත් බව මතක් වේ. එයනම් දැන් සැහෙන්න පරණ පාටය. දුටු කෙනෙකු සිතන්නේ අරගෙන අවුරුදු ගානක් ගතවී ඇත කියාය. කෙසේ වෙතත් මතක් කර බැලු විට මාස 7 කි. වැඩි කලක් නැත.

ඊට පසු මතක් වන්නේ මා එවක සේවය කල ජාත්‍යන්තර පාසලේ දෙවන වාරයේදී, වාරයටම නිවාඩු 3 ක් ගත් බැවින් දින 4 ක් බැනුම් අසන්නට වූ සැටිය. එය නම් මට කිසිදා අමතක නොවන සිද්දියකි.

ඉන්පසුව සැප්තැම්බරයේ ඇරඹි නව වාරයේ මම එහි ගණිත ගුරුතුමියට අමතරව සිංහල ගුරුත්මියද, බුද්ධාගම ගුරුතුමියද, සහ තව බොහෝ විෂය භාර ගුරුතුමියක වීමී. ඒ අතුරින් ගණිතය හැර අනෙක් බොහෝ විෂයන් මාද දැන සිටියේ අල්ප වශයෙනි. කෙසේ හෝ මා ඒවා ඉගැන්නුවෙමි. උගන්නට ගොස් ඇන ගත් වාරද ඇත.

ඔය කාලයේ මගේ පෙර පිනකට ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වූ තරග විභාගය මා සමත්ව, එයින් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂනයෙන්ද සමත්වුනෙමි. පුහුණුවකින් පසු මට දැනට උගන්වන පාසැලට පත්වීම ලැබුණි. 2010 වසරේ මට වූ හොඳම දෙය එයයි.  එයින් පසු මගේ ජීවිතය තරමක් හෝ සුන්දර විය. මුල් දවසේ මෙම පාසලට ගිය දවසේ එහි වූ ගුරු නිවාඩු ලේඛනය දැක මට ප්‍රීතියක් ඇති විය. මෙහි ගුරුවරු රිසිසේ නිවාඩු ගනිති.

දෙසැම්බර් මාසයේ මා මෙම බ්ලොගය පටන් ගතිමි. එය ගොස් ඇති දුර හැමදෙනාම ම දනී. ඒ නිසා ඒ ගැන මා කිව යුතු නැත.
වසර අවසානයට පෙර බ්ලොගයෙන් මා ගැසූ මඩ තොප්පියක් කණියා මල්ලි ඇද තම හිස මත පළන්දා  ගෙන 'කෙකිට වාරයක් නම් තිත්තයාට වාරයක් ද ඇතැයි' යයි පවසා තිබුන බවද ආරංචි විය. තිත්තයාට වාරයක් ලබන අවුරුද්දේ වත් නොලැබෙවායි  ප්‍රාර්ථනා කරමි.

ඒ කෙසේ වෙතත් ඊළඟ අවුරුද්ද එනතෙක්‌ මා ඇඟිලි ගනිමින් බලා සිටිමි. ඒවා ගැන අසා පලක් නැත. ඒවා කීමට මගේ  බලාපොරොත්තුවක්ද නැත.
අවසානයේ, මේ අවුරුද්දේ මගේ කතා කියවූ, නොකියවූ, කොමෙන්ටු දැමු නොදැමූ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභ නව වසරක් පතමි!!

වචනෙන් දෙන උදව්ව...

අපේ මල්ලි ගැන දැන් ඉතින් කට්ටිය දන්නවනේ.. දන්නේ නැති කට්ටිය මෙතනින් කියවන්න. පොඩි එකාගේ රචනාව, ටීම් ඒක,.දඹලාගේ නෑයා

මිනිහ ඉතින් මාර කම්මැලියා නේ. එයාගේ වැඩ මොකවත්ම කරගන්නේ නෑ. අම්මා තමයි ගොඩක් කරන්නේ. මාවයි, තාත්තවයිත් හොඳට කඩේ යවනවා. අපිත් එය පවු හින්ද කඩේ යනවා.

ඔන්න ඉතින් මේ ලගදී දවසක අම්මා එයාගේ කාමරේ අස් කරන්න ලැස්ති වෙලා. ලේසි නෑ එකත අස් කරන්න. දැන් අස් කරත් තව ටිකකින් බලද්දී කලින් තිබිච්ච විදියමයි. අම්මාත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ, පොඩි එකානේ කියල අස් කරනවා. හැබැයි පොඩ්ඩක් මල්ලි එකට උදවු කරන්නේ නම නෑ. එය කරන්නේ ඒ වෙලාවට කාමරෙන් එලියට යන ඒක විතරයි.

මේ ළඟදිත් ඕක කරන්න යනකොට මන් විහිළු කරා "මොනවාද හලෝ! ගිහින් උදව කරනවකෝ" කියල. දැන් ඉතින් මෙය හිටපු තැනින් නැගිටලා ගියා. මාත් හිතුවා අද නං වහී කියල.

ටික වෙලාවකින් මට ඇහෙනවා මෙයා අම්මාට කියනවා
"අම්මේ මේ වචනෙකින් කරන්න පුළුවන් උදව්වක් තියෙනවනං කියන්නකෝ" කියල.....

හීං ටොක්ක

අද ඉතින් අවුරුද්දේ අන්තිම දවසනේ. ඉස්කෝලේ පටන් ගන්න කලින් තියෙන අන්තිම සතියේ දවස. ඒ නිසාම ඉස්කෝලෙන් දාලා තිබ්බා ගුරු හමුවක්. ඔන්න ඉතින් ගුරු හමුවේදී අපේ අලුත් විදුහල්පතිනිය එහෙම කතා කරා.ගුරු හමුව අවසානයේ අපි ඉතින් ගුරු වරුත් එක්ක කතා කරන්න එහෙම ගියා.

කලින් වාරේ ඉවර වෙන දවසේ මට එවල තිබුන සාමාන්‍ය පෙළ ගණිතය කරන්න කියල දන්වල එවල තිබ්බා. අපි ඉතින් අලුතෙන් ගිය උසස් පෙළ ගුරුවරුනේ. උපාධියත් කරලා, ඊටපස්සේ ආණ්ඩුවෙන් තිබ්බ විභාගෙත් පාස් කරලා, සම්මුඛ පරීක්ෂණ වලට එහෙම පෙනී හිටලා හම්බෙච්ච රස්සාවනේ. අපිටත් ඉතින් උණ. මං ඉතින් අරගල කරා මට සාමාන්‍ය පෙළ පන්ති වලට උගන්න බෑ කියල. අපේ අංශ භාර ගුරුතුමීත් මට සපෝර්ට් එකට කාර්යභාර නියෝජ්‍ය විදුහල්පති ගාවට ගිහින් මේ කතන්දරේ කිව්වා. එයා ඉතින් පොරොන්දු උනා එක ගැන හොයල බලලා මොකක් හරි කරන්න. ඒ කතාව එතනින් ඉවරයි.

අපේ සහකාර විදුහල්පතිතුමියක් ඉන්නවා, මගේ විෂයම උගන්වන. එය තමයි මාව මේ ඉස්කෝලෙට අරගෙන උගන්වන ඒවා ගැන එහෙම මට ගුරු හැරු කම දෙන්නේ.

අද ඉතින් මං ගියා එතුමියවත් හම්බෙන්න. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කතාව හැරුන වෙනම පැත්තකට.

මිස්:- දැන් ඔයාට වෙන පන්ති එහෙම දීල නැද්ද?
මම: 11 වසර දීලා තියෙනවනේ
මිස්:- ඒක හොඳයි. ඔයාට දෙන ඒවා බාරගෙන කරන්න ඕනේ. මං මුලින්ම ගියාම රසායන විද්‍යාවත් කරා. 8 වසර ගණිතයත් කරා. ඒවා ඉතින් හරි ප්‍රයෝජනයි.
මං ඉතින් ඔලුව වන වනා අහගෙන ඉන්නවා.
මිස්:- ඔයාව අනික අපි කොච්චර අමාරුවෙන්ද මේ ඉස්කෝලෙට ගත්තේ කරන පීරියඩ් ගැන අඩුයි කියල මාරු කරොත් එහෙම. එකයි මං ඔයාව 11 ට දාන්න කිව්වේ. ඔය ඉතින් එහෙ කලර්ස් පෙන්නන්න.

මං ඉතින් තව ටිකක් ඔලුව වනල හොඳයි කියල ආවා.මං කොයි වෙලාවෙවත් මේ මිස්ට කියල තිබුනේ නෑ මට 11 වසර කරන්න බෑ කියල. කවුරු හරි කියල මගේ අරගලේ ගැන.
මං ඉතින් හිතා ගත්තා ඔන්න ඔහේ කරන්න. :)

Thursday, 30 December 2010

අනේ අපෙනුත් ඉන්ටවිව් එකක් ගන්නකො!

ඔන්න ඉතින් අද දවාලේ මං නිවාඩු පාඩුවේ අහිංසක විදියට බ්ලොගයකුත් කියවමින් ඉන්න වෙලාවක, ඒක පාරටම ආවේ නැද්ද චැට් පණිවිඩයක්. අර ජී මේල් චැට් ඒකෙන්. බලනකොට ප්‍රසිද්ධ බ්ලොග් ලියන්නෙක්. කාලයක් තාක්ෂණික බ්ලොග් ලියන්නෙක් විදියට ඉඳල දැන් මේ වයර් එකක් මාරු වෙලා මේ දවස් වල කතන්දර ලියන කෙනෙක්.  ළඟදී දවසක තමන්ගේ බ්ලොගයෙන් කීයක්‌ හරි හොයන්න මහන්සි වෙන මල්ලිලාට එහෙමත් පොඩ්ඩක් තදින් කතා කරලා තිබ්බා.  චැට් ඒක දැක්කම මාත්  කල්පනා කරා මොකද මේ හදිස්සියේ කියල.

ටික වෙලාවක් යනකොට නේ කථාව තේරුනේ. ඔන්න ඉතින් සිදුවූ කතා බහ මෙසේය.


****: ඒක නෙමේ
පත්තරේට මං ගැන දාන්න බැයිද :D
මම: අපෝ පත්තරවලට ඔය හැමෝගෙම ගැන දාන්නේ නෑ. 
***: ආ එහෙමද? ඉන්නවකෝ
මම: ඔව් එහෙමයි. ඇයි වලිද? 
***: කවදා හරි අපි ගැනත් ලියයි. එදාට බලාගමු 
මම :හා බලාගමු.
***: අයින්ස්ටයින් වත් මුලිංඉස්කෝලෙං පැන්නුවලු
මම:  ඒ අයින්ස්ටයින් නේ. අනික ඔයාව පොඩි කාලේ ඉස්කෝලෙන් පැන්නුවේ නෑ නේ. පැන්නුව නම් ලියන්නවත් තිබ්බ. 
***: මාත් අයින්ස්ටයින් වගේ උන දාට එනවකෝ මගෙං ඉන්ටවිව් ඉල්ලං.දෙන්නැ 
මම: අපෝ එපා.
***: දෙන්නෙත් නැ 
ඔන්න ඔහොමයි කථාව ඉතින්. පවු නේ කියන්නේ නෑ ඉතින් මෙහෙම කිවූ කෙනා. ඔය ගොල්ලෝ හිතා ගන්න,.:D කරුණාවෙන් සලකන්න. මෙය ඔරිජිනල් චැට් එකම නොවේ. එඩිට් කරන ලද්දකි. අදාල පුද්ගලයාගේ ඉල්ලීම පරිදි අවසාන සටහන තබනු ලැබේ.

මාර්ග සංඥා

මේ සිද්ධිය උනේ මං පත්තර මහා ගෙදර ඉන්න කාලේ. අපේ කතෘ තුමියට අදහසක් පහල උනා, අපි අවට තියෙන දේවල් ක්‍රියා කරන ආකාරය ගැන සීරිස්‌ එකක් කරන්න. ඔය තොප්පිය ඉතින් පාවෙලා පාවෙලා ගිහින් වැටුනේ මට. දැන් මමත් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොනවා ගැන ලියන්නද කියල. අපේ තාත්තා වැඩ කරන්නේ මාර්ග පිලිබඳ කටයුතු කරන අධිකාරියක. ඉතින් තාත්තාගේ යටතේ තමයි ඔය මාර්ග සංඥා එහෙම තිබ්බේ. ඉතින් මං ලේසියටත් එක්ක හිතුවා, ඒවා ක්‍රියා කරන හැටි ලියනවා කියල. ගෙදර ඉඳන්ම ලියන්න පුළුවන්නේ.

දැන් ඉතින් මං විස්තර හොයාගෙන ලිපිය ලියනකොට තාත්තා කිව්වා, අපිට විතරක් නෙවෙයි කොළඹ නගර සභාවටත් අයිති ටිකක් තියෙනවා. මෙන්න මේ නොම්බරෙන් අහවලාට කතා කරලා විස්තර දැනගන්න කියල. 
මං ඉතින් ඔන්න ඔය අහවලාට කතා කර.

මම: මං මේ අහවල් පත්තරෙන් කතා කරන්නේ. ඔය අහවලාද කතා කරන්නේ?
අහවලා: ඔව් මම තමයි. 
මම: මට mr. ගේ නොම්බරේ දුන්නේ අහවල් අධිකාරියේ mr......,මම ලිපියක් කරනවා මාර්ග සංඥා ගැන. මම අධිකාරියෙනුත් විස්තර ගත්තා, මට තව විස්තර ටිකක් ගන්න ඕනේ.
අහවලා: දෙන්නම්. මොනවාද දැන ගන්න ඕනේ.

දැන් අහවලා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන ගමන්, අපෝ අධිකාරියේ Mr....දන්නේ නෑ මොනවත්, කිය කියා මනමාල විදියට මාත් එක්ක කථාව. මාත් ඒක දැනුනේ නෑ වගේ ප්‍රශ්න අහල මට දැනගන්න ඕනේ ටික දැනගත්ත. 

මම: මේ ලිපිය මෙන්න මේ දවසේ පත්තරේ පලවෙනවා, ඊට කලින් ප්‍රශ්නයක් තිබුනොත් මම කතා කරන්නම්. 
අහවල: ඔයාගේ නමවත් කිව්වේ නැනේ.
මම:මං ජනනි අමරසේකර. 
අහවල: (හිනාවී) ඔයාට mr.......ගේ නමමනේ තියෙන්නේ. නෑයෙක්වත් ද? 
විහිළුවෙන් ඇහුවා, මාව තව ටිකක් කතාවට අල්ලගන්න. 

මම: ඔව් ඒ මගේ තාත්තා. 

මිනිහා ටික වෙලාවක් කතා කරේ නෑ. ඊටපස්සේ අමාරුවෙන් හරි එහෙනම් මං තියන්නම් කියල තිබ්බ. එතකොට මිනිහගේ කට හඬ හොදටම වෙනස් වෙලා තිබ්බා. :)



Wednesday, 29 December 2010

~~වාර්තාගත පොස්ට් පනහ පසු කරා~~

ඔන්‍න‍ ඉතින් ~ආදරණීය නවාතැන පටන් අරගෙන මාසෙකුත් ගත වෙලා. ඒ මාසෙට පොස්ට් 50 කට පොඩ්ඩක් වැඩි ගානකුත් ලිය වෙලා. ඉස්කෝලේ නිවාඩු කලේ නොවැ මටත් ඉතින් වෙන වැඩ නෑ ඉතින්. උදේ ඉඳං මේකම ලිව්වා මිසක්. නිවාඩු කාලේ වෙන වැඩක් කෙරුනෙම නැති තරං. ඊළඟ වාරෙට වාර සටහන් ලියන්න කියල පොතක් එහෙමත් ඉස්කෝලෙන් දුන්න. ඒ පොත ඇරලා බලන්නවත් බැරි උනා. ඒ තරමට බ්ලොගේ වැඩ. මේ වාර්තාගත පොස්ට් 50 පසු කරන වෙලාවේ මට තියෙනවා ලොකු වැඩක් කරන්න. ඒ තමයි මන් ලියන ඒවාට කොමෙන්ට් කරලා, මං ලියපු ඒවා කියවල  මාව ධෛර්යමත් කරපු හැමදෙනාටම ස්තුති කරන ඒක.

අවුරුදු ගානක් තිස්සේ ඉංග්‍රීසි පත්තරේකට ලියපු මට සිංහලෙන් ලියන ඒක ලොකු අභියෝගයක් උනා. ලැජ්ජයි කියන්නත්, ඒත් කාලයක් තිබ්බා සිංහලෙන් ලියන්න වුනු රාජකාරි ලිපියක් වත් ගලපාගන්න බැරුව අසරණ වුනු. ඒ තරමට මන් ඉංග්‍රීසි ලිවිල්ලට හුරු වෙලා හිටියා. හිතේ ආසාවට මේක ලියන්න පටන් ගත්තට මෙච්චර දුර එන්න පුළුවන් කියලනම් හිතුනේ නෑ. මුලින් පටන් අරගෙන දාපු ඒක පොස්ට් එකක් වත් මුණු පොතෙවත් දැම්මේ නැත්තේ, කාටවත් කියවන්න දෙයක් නෑ කියල තිබුණු වරදකාරී හැගීමෙන්. පලවෙනි කතාවත් ලියාගෙන ඔහේ ඉන්නකොට තමයි අපේ බිඟු කොමෙන්ට් එකක් දාල මට පොඩි තල්ලුවක් දුන්නේ. එදාම මම දෙවෙනි කතාවකුත් ලිව්වා. 

ඊටපස්සේ දවසක ගෙදර ප්‍රශ්නයක් නිසා මන් හොඳටම මූඩ් ගහල ඉන්න වෙලාවක තමයි අම්මයි, තාත්තයි ගැන ලියල දිගටම ලියන්න පටන් ගත්තේ. එදා ඉඳං පටන් ගත්තු ගමන අපේ රංග අය්ය කියන විදියට බ්ලොගොරියාව හැදෙනකන්ම ගියා. තාමත් සුව නෑ. 

ඉතින් වචනයක්වත් ලියා ගන්න පුලුවන්ද කියල සැකෙන් ආපු ගමන මෙච්චර දුර එන්න තරම් හයිය දුන්නේ මං ලියපු ඒවා බලපු, කොමෙන්ට් කරපු, මගේ බ්ලොග් ඒක follow කරපු ඔය හැමෝම. ඉතින් කීප දෙනෙක් නම් වශයෙන් කියනවනම්, අපේ බිඟු, කෙල්ලොන්ගෙන් සෙනසුරු අපල තියෙන රංග අයිය, මට චූටි ටීචර් කියන මධුරංග, මගේ කතා විතරක් කියවනවා කියපු , මගේ බ්ලොගයෙන් කොහොමහරි verification අයින් කරගත්තු සෝරෝ මෙය මං පොඩි කාලේ ගිය ඉස්කෝලෙට සතුරු ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ, මං ලියන ඒවාට කැමති කියපු කිවිඳි, ඉලන්දාරියා, අපේ එරන්ද, නවම් මාවත , මේ ලඟදි ඉංග්‍රීසි ලිපියක් සින්ඩියට වැටීම පළිබඳව කණගාටුවෙන් උන්නු දේදුනු, මගේ ලෝකය, ජංජාල චාමර,  දෙවෙනි , ගිටාර් කෝඩ් ගැන කියල දෙන අසංක, අපේ කණිය මල්ලි, බ්ලොග් ගඩොල්, කැම්පස් එකේ සුමුදු මල්ලි, බ්ලොග් ලෝකයේ සැරිසරන මට හම්බුනු අනෙක් ගුරුතුමිය සංජු , ජෙනි, කාලාන්තරයක් තිස්සේ මාව අඳුරන එරංග , හිඟන්නා , ලස්සන පින්තුර ගන්න අංජන , කරෙස්බ්ලොග්, කැන්ඩි, සිරකරුවා , myviththi, nihal gurusinghe , thusitha, hasitha, ravi, සිතුවිලි ,  හිස් අහස, DReeZone, dinesh, පිණි බිඳු, මහිමා,නිම්ෂා, චින්තන.   නම් කියපු අය විතරක් නෙවෙයි නන් අයුරින් උදව කරපු හැමෝටම බොහොම පින්!

කඩ ඉම

රාත්‍රිය නිහඩයි...නිසසලයි...
බියකරුවූ ලෙසින්...
ජීවනගමනේ තවත් කඩ ඉමක්‌
පසු කරන්නට ලගයි දැන්..
මියෙම්දෝ....රැකෙම්දෝ...
ඉරණමට බාරයි...
නමුත්..
දෙවිදුනේ
ඉඩ හරින්න..
තවත් කාලයක්
ජීවිතය දිගහරින්නට
ජීවිතය ජීවත් කරන්නට
යහපත් වූ ලෙසින්...

ප.ලි. මට මේ කවිය හම්බුනේ පරණ කොළ වගයක් අස්සේ තිබිලා. මට තාමත් මතකයි මං මේක ලියපු දවස. මං ප්‍රශ්නයක් නිසා හොඳටම අවුල් වෙලා හිටපු රෑක මං  මේක ලිව්වේ. මට ඒ වෙලාවේ ඕන කලේ හැමදේම දාලා ජීවිතය අවසාන කරන්න. මට ඒ තරමට දරාගන්න බැරි වුනු ප්‍රශ්නයක්. අන්තිමට කොලයක් අරන් මේ කවිය ලිව්වා. කවියේ අන්තිම හරිය වෙනකොට මං කලබලවෙලා හිටපු එක ටිකක් අඩු වෙලා හරි සිහියෙන් හිතන්න පුළුවන් මට්ටමට ආවා. දැන් තමයි තේරෙන්නේ කොච්චර මෝඩ වැඩක්ද මං කරන්න හැදුවේ කියලා.