Friday, 2 August 2013

පරණ මතක

මේ කතාව කියෙව්වා කියල කාටවත් වැඩක් නැති වෙයි. ඒත් මට මේක මතක් උන හින්ද ලියනවා. මතකයන් විතරක් උන මේ කතා කවදාහරි දවසක මටම කියවන්න හරි ආස හිතෙයි කියල හිතුන.


මේ සිද්දිය උනේ මමයි මල්ලියි පොඩි කාලේ. මට මේ සිද්දිය මෙච්චර මතක තියෙන්නේ ඇයි කියල මට හිතාගන්න බෑ.

මල්ලිගේ නම චතුර. ඉතින් අහල පහල ළමයි ඉතින් එයාට කතා කරන්නේ නමින් නේ. මමත් ඉතින් ඒ විදියටම නමින් තමයි කතා කරන්නේ. එයා නම් මට අක්කි කියල කිව්වේ මම හිතන්නේ. දවසක් අපේ අම්ම මට කතා කරලා කිව්වා, සැරෙන් නෙමෙයි බොහොම ආදරෙන්, "පුතේ ඔයා මල්ලිට නම කියල කතා කරන  එක හොඳ නැනේ, එයාට මල්ලි කියන්න" කියල.

මම ඒ පාර කිව්වා "එහෙනන් මම එයාට චතුර මල්ලි කියල කතා කරන්නම්" කියල.

අම්මා හිනා වෙලා කිව්වා "දැනට එහෙම කතා කරන්න හැබැයි මල්ලි කියන්න පුරුදු වෙන්න" කියල.

වැඩි කල් නොගිහින් මම මල්ලි කියන්න පුරුදු උනා. තාමත්  සිංහල නොදන්නා කෙනෙක් එක්ක උනත් කියනකොට මල්ලි කියල තමා කියන්නේ. පස්සේ ඉතින් මතක් වෙලා කියල දෙනවා මල්ලි කියන්නේ කවුද කියල.

අනේ ඉතින් එයාගේ මතකයන් විතරයි දැන් ඉතින්...

Saturday, 20 July 2013

මම "මම" වෙමි..

මම ඉතින් මම වෙන්නේ නැතුව වෙන කවුරු වෙන්නද? මට මේක ලියන්න හිතුනේ පහු ගිය සතියේ හිතුනු දේවල් ටිකක් නිසා. මිනිසා කියන්නේ ඉතින් සමාජ සත්වයෙක් නේ. ඒ නිසා අපිට අපේ ජීවිත කාලය තුල විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා, විවිධාකාර බැඳීම් ඇති වෙනවා. ඔය මිනිස්සු සහ බැදීම් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. අපේ ජීවිතේ මිහිරි මතක රඳවන්න පුළුවන් ඒ වගේම අමිහිරි මතකත් රඳවන්න පුළුවන්.

ඉතින් ඔය මුණගැහෙන අය සහ ඇතිවෙන බැඳීම් අතරේ නැතිද අපි උපන් දා ඉඳන් පුරුදු වුන ගති පැවතුම්, සමාජ රටා, සිරිත් විරිත් වෙනස් කරන්න හදන අය? ඕනේ තරම් ඉන්නවා. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම එක වගේ උනා නම් ලෝකය කෙතරම් කම්මැලි තැනක් වෙන්නට තිබුනද.. වෙනස් ලෝකයේ වෙනස් ජීවිත රටාවන් අපිව ජීවත් කරවනවා. එහෙනන් ඇයි අපි හදන්නේ තවකෙක් වෙනස් කරන්න...

මම තදින්ම විශ්වාස කරනවා ජීවිතයේ කිසියම් දෙයක් කිරීමට අපහසු නම් එය අපි කරන්නේ හරි විදියට නොවන බව. අලුත් තාක්ෂණයේ "user friendly" බව added advantage එකක් නැත්නම් වටිනාකමක් බවට පත් උනත්, ස්වභාව ධර්මය තුල  එය මුල සිටම පැවති අනිවාර්ය අංගයක් බවයි මගේ හැගීම. යමෙක් යම් කිසි විෂයක් ඉගෙනීමට කෙතරම් උත්සාහ කලත් එහි නිසි ප්‍රථිපල ලබන්නට නොහැකි නම් ඔහු/ඇය සහජයෙන්ම උරුමවූ දෙය ඉගෙන නොගන්නා බව මෙයට එක් උදාහරණයක්. ඒක හරියට චිත්‍ර අඳින්න සහජ දක්ෂතා ඇති අයෙකුට ගණිත විෂය ධාරාව හදාරන්න කිව්වා වගේ.  අප ජීවත් වන කෘතීම ලෝකයේ අපි හැමදේම අපට ඕනෑ විදියට ලබාගන්නට උත්සාහ කරත්, ස්වභාව ධර්මයේ ධර්මතා සමග ජීවත් වන අයෙකුට ආයාසයකින් තොරව හැමදේම ලබන්නට හැකි බවයි මගේ පිළිගැනීම.

මෙය ජීවිතයේ ඇති හැමදේටම අදාලයි. බැදීමකදීත් එය යහපත්ව පවත්වා ගැනීමට එක් අයෙක් තම ගති පැවතුම් අමාරුවෙන් වෙනස් කරගන්නට සිදු වේ නම් එය ස්වභාවිකව ඇති විය යුතු බැඳීමක් විය නොහැකියි නේද? ජීවිතය සැහැල්ලුවෙන් රිද්මියකට අනුව ගෙන යා යුතු දෙයක්. මේ රිද්මය හොඳ මිතුරු දම්, පවුල් සබඳතා ආදී බැදීම් තුලින් වර්ධනය වනු විනා ඒ රිද්මය වෙනස් කර වෙනස් ජීවිතයක් ගත කරන්නට සිදු වේ නම්, එහි කිසියම් ගැටළුවක් තිබිය යුතු නොවේද....

Tuesday, 16 July 2013

සුදු ඇඳුම්...

මටත් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මතක් උනා බ්ලොග් එකක් තියෙනවා කියල. පහුගිය දවස් වල උන දේවල් වල හැටියට ලියන්න හිතුවත්, ලියන්න දෙයක් මතක් උනේ නෑ. දැන් ඉතින් ඔක්කොම කලබල ඉවර උනාට පස්සේ ඔක්කොම දුක හිතෙන දේවල් මැද්දේ සිද්ද උන හිනා යන දේවල් ටිකක් මතක් උනා. අද ලියන්න යන්නේ ඒ එකක්. අනෙක් ඒවත් මතක් වෙන පිළිවෙලට ලියන්නම්.


සමහර බ්ලොග් ලියන අයනම් දන්නවා ඇති, මීට මාස 3 කට කලින් මගේ එකම මල්ලි හදිස්සියේම අපිව දාල ගිය බව. මමත් ඒ වෙලේ ලංකාවේ නොහිටපු නිසාත්, මගේ දෙමව්පියෝ පැය 24 කට වඩා තියන්න අකමැති වුනු නිසා මම ආවේත් අවසන් කටයුතු කර දාට පහුවදා.

 කොහොමහරි මළගෙදර ආපු අයට මාව නොගැහුණු නිසා හත් දවසේ බණ දවසේ ඉතින් හැමෝම මගේ ලඟට ඇවිත් කතා කරලා තම තමන්ගේ ශෝකය ප්‍රකාශ කළා. ඔය අතරේ හාමුදුරුවෝ වඩින්න ඔන්න මෙන්න තියල, තද පාට සායකුයි හැට්ටෙකුයි ඇඳගෙන හිටපු ගෑනු කෙනෙක් ලඟට ඇවිත් කතා කරලා ශෝකය ප්‍රකාශ කරලා මට කියනවා.... "වැඩේ කියන්නේ අපි හැමෝම මේ පාර අවුරුද්දට පුළුවන් තරම් ගත්තෙම සුදු ඇඳුම් නේ"

මට ඉබේම එයාගේ ඇඳුම දිහා බැලුන. හාමුදුරුවෝ වැඩිය නිසා ඒ කතාව එතනින් නැවතුනත් මට පස්සේ හිතුන අපරාදේ අවුරුද්දට ගත්තු සුදු ඇඳුමක් ඇඳගෙන එන්න තිබ්බනේ කියල..
-----------------------------------------------------------------------------------------

Thursday, 2 May 2013

ජීවිතය ------




සිනහ වෙයි දුක් වෙයි
මැරී මැරී උපදියි
කාසි සොයයි නැතුව ලත වෙයි
මෙයද ජීවිතය 
අප කරපින්නා ගත්..

Monday, 29 April 2013

ආදරණීය මල්ලි!


හෙටට ඔයා අපිව දාලා ගිහින් හරියටම සති තුනක් වෙනවා. කවදාවත් අපෙන් ඈත් වෙලා නොහිටිය ඔයා අපිව දාලා හදිස්සියේම යන්නම ගියා. පලවෙනිදා ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ කවදාවත් නැති විදියට මට එන්න කියල බල කරපු වෙලේ මම අසරණ වෙච්ච තරම දන්නේ මම විතරයි. ඒත් එවෙලේ දැනගෙන හිටිය නම් ඊට සතියකට පස්සේ ඔයා අපි හැමෝවම දාල යනවා කියල මම හැමදේම අත ඇරලා එනවා.

වෙනදට අම්මටයි තාත්තටයි කතා කරාම මල්ලි ඉන්නවද අහල ඔයාගේ කට හඬ ඇහෙනකන් මම බලන් ඉන්නවා. මම හෙලෝ කියල කොහොමද කියල අහන්නත් කලින් ඔයා කියනවා හොඳින් ඉන්නවා අක්කි කියල. සමහරදාට ලෙඩ වෙලා හොඳටම අමාරු උනත් ඔය කියන්නේ හොඳින් ඉන්නවා කියල. පස්සේ තමයි මම දැනගන්නේ ඔය ලෙඩ වෙලා හිටිය කියල. එහෙම වත් ඔය මට දුකක් දුන්නේ නෑ.
මේ පාර ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ ඉඳන්, මම බලන් හිටියේ ඊට සති දෙකකට පස්සේ තිබ්බ මගේ උපන් දිනේට ඔයා කතා කරනකන්. ඒත් ඒ දවස වෙනකන් තිය අඩුමගානේ ඔයාගේ උපන් දිනේට මම එවපු කාඩ් එක බලන්නවත් ඔය හිටියේ නැ. එකත් ආවේ ඔයාගේ මිනිය උස්සන දවසේ උදේ.

හැමදාම මට එන්න කියා කියා කියනවා අන්තිමට මම එනකොට ඔය යන්නම ගිහින්. මම ලංකාවේ නැති කාලේ ඔය මගේ අඩුව අම්මගෙයි තාත්තාගෙයි හිත්වල පිරෙව්වා. හැමතිස්සෙම මට කිව්වා අක්කි නැති නිසා මම අම්මවයි තාත්තයි බලාගන්නවා කියල. ඔයා නැති දා මම ඒ දේ කරනවා, ඒත් කවදාවත් ඔය නැති අඩුව මට පුරවන්න බෑ.

කවදාවත් ජීවිතේ වරදක් නොකරපු ඔයා මේ වෙනකොටත් හොඳ තැනක ඉපදිලා ඇති. ඒත් අපි තාමත් තව එක දවසක් හරි ඔයාව දකින්න පෙරුම් පුරනවා.

මල්ලිට නිවන් සැප ලැබේවා! සංසාරේ කිසිම දවසක මේ වගේ අකල් මරණයක් අත් නොවේවා!

මම බ්ලොග් ලියන කාලේ මල්ලි ගැනත් කතා ලියල තියෙනවා... පොඩි එකාගේ රචනාව,

"~~Most outstanding team එක~~", දඹලගේ නෑයෝ එයා ගැන ලියපුවා තමා..

Sunday, 2 December 2012

අද අලුත් දවසක්.....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල පොරොන්දුවක් දෙන්නේ නෑ..

2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 වසර අවසන් වෙනකොට මාස 3කට නිවාඩුවට ඇමෙරිකාවේ ඇවිත් ජනවාරි යන්න බලාගෙන හිටිය.. ඒත් 2012 ජනවාරි වෙනකොට ඇමරිකාවේ තව කාලයක් ඉන්න තීන්දු වුනා...කර කර හිටිය රැකියාව අත හරින්න උනා...2011 ඔක්තෝම්බර් මාසේ මාස 3කට කියල ඇමරිකාවේ ආපු ගමන තවමත් ඇමරිකාවේ...කවදා ආයේ ලංකාවට යනවද කියල දන්නෙත් නෑ...

ජීවිතේ එහෙමයි...සමහර විට වුනු වෙනස හොඳයි කියල හිතෙනවා...ඒත් කොළඹ කලබල පාරවල්, සෙනග පිරිච්ච බස්, පාර හැම තැනම යන මිනිස්සු ජීවිතේට කොච්චර අත් දැකීම් එකතු කරනවද... හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා....

ජීවිතේ ඔහොමයි....කවදාවත් තේරුම් ගන්න බැරි මේ ජීවිතේ තේරුම් ගන්න උත්සහ ගන්නවා වෙනුවට ලැබෙන හැමදේම හොදින් බාර ගෙන ජීවත් වෙනවා නම්...හැමදේම කොච්චර සුන්දරද?

Thursday, 29 November 2012

ජීවිතය...

සිරවී බිත්ති හතරක
සිහින දකිමි
ලෝකය දකින්නට
විඳින්නට...
හෙට දිනක...
අද දින සැපයි... අඩුවක්ම නැත...
එහෙත් මම කිරිල්ලියකි..
කුමක් තිබුනත් කුමටද,
තටු සිඳලූ කල..

Wednesday, 28 November 2012

කාලෙකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...
දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත... 

Thursday, 31 May 2012

ඉතින් කාලෙකට පස්සේ.....

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන් පස්සේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. හරියට ග්‍රහයෙක් මාරු උනා වගේ. මාස තුනකට කියල ඇමරිකාවට ඇවිත් දැන් මාස හයකටත් වඩා මෙහෙ. මහත්තයාගේ රස්සාවේ වැඩකට ඉස්කෝලෙන් නිවාඩුත් අරන් ආවාට...තව ඉන්න වෙනවා කියල දැනගත්තම රස්සාවෙන් අයින් වෙන්න උනා. අවුරුදු 7 කට පස්සේ මම කරන්න වැඩක් නැතුව නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. 

පහු ගිය කාලේ බ්ලොග් ජීවිතෙන් අයින් වුනා ...හුඟක් කලකිරෙන දේවල් උනා...තවමත් ඒවා වෙනවද දන්නේ නෑ..ලඟකදී  බ්ලොග් නොලිව්වත් සමහර බ්ලොග් ලියපු අයගේ ගැට වලට අහු වෙලා ගොඩ ආවේ අමාරුවෙන් .. ජීවිතේ කාටවත් අහුවෙලා නෑ... අහුවෙන්නෙත් නෑ... කියල අභිමානෙන් හිටපු මම අහු වෙනකන්ම දන්නේ නෑ... පලවෙනි වතාවට මම මගේ ඉක්මනින් කේන්ති යන ගතිය පලක් ඇති වැඩකට පාවිච්චි කරා... නැත්නම් මම තාමත් හිතේ අමාරුවෙන්.  වෙච්ච දේවල් වලට පස්සේ අපේ මහත්තය දැන් සිංහල බ්ලොග් ලියන අය ඔක්කොම ගැන හිතන්නේ ඒ මිම්මෙන්... 

ජීවිතේ ඔහොමයි... 

Tuesday, 6 December 2011

Monday, 6 June 2011

මැරූ පෙම....

අමතකව ගිය අතීතය ඇවිදින්
දවා හළු කරයි ම සිත් මඬල......
එදා නුඹ අයැදි විට
මා නොදැන සිටියෙමි
මෙතරම්
මා නුඹට පෙම් කල වග...
එදා ප්‍රතික්ෂේප කර
නුඹ සිත් රිදෙව්වෙමි...
සියල්ල අවසන්ය...
අද සුසුමක් සමග මා තනිවීමි.....

Thursday, 14 April 2011

මේ ඔබ කියවන්නේ සිහින උළෙලේ මඩ ප්‍රචාරයයි

අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල හරි මට ඉවර කරන්න රාජකාරියක් තියේ. අපේ ඉතින් තිබ්බනේ අර සිහින බක් මහා උළෙල. හැමෝම ගිහින් ඇවිත් ඒක ගැන ලිව්වට මම ලිව්වේ නැනේ. ලිව්වේ නැත්තේ ඉතින් හරි වෙලාව එනකන් හිටිය නිසා තමයි ඉතින්. අවුරුදු උළෙල නම් සුපිරියි. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපේ සහෝදර සහෝදරියෝ පහු ගිය කාලේ ඒක ගැන ඇතිවෙන්න ලිව්වා.

මම මේ ලියන්න යන්නේ උළෙල වර්ණවත් කරපු ඒක ඒක චරිත ගැන...

ඉස්සෙල්ලම ලියන්නේ අපේ අභීත අය්ය ගැන. මුලින්ම හීනේ දැක්කෙත් එයා නේ. 'ඔක්කොම හරි මල්ලි හරි හරි' කියල හැමදේම හොයල බැලුවත් එයා තමයි. (ඔන්න දැන් අනෙක් අය ඔරවන්න එපා මට, එයා විතරක් නෙවෙයි හැමෝම වැඩ කරා). ගෙදරින් කට පාඩම් කරගෙන ආපු පිළිගැනීමේ කතාවත් අයිය හොඳටම කිව්වා.


අවුරුදු උත්සවේ දවසෙත් දුවල පැනල වැඩ හොයා බැලුවා. කඹ අදින්න ගිහින් සද්දන්තයෝ පැත්තේ ඉඳගෙන එයාලව පැරද්දුව කියල තමයි ආරංචිය. දැන් කට කතාව යන්නේ අභීත අය්යා කොයි පැත්තේ හිටියත් පරදිනවා කියලා තමයි.

මේ තියෙන්නේ අපේ අය්යාගේ වැඩ....



ඔන්න ඉතින් ඊළඟට කියන්න යන්නේ අපේ මාරයා ගැන තමා...




උළෙලේ හිටපු ප්‍රසිද්ධම චරිතේ තමා අපේ මාරයා තුමා. අපරාදේ තරග සේරම දිනලා තෑගි අරන් යන්න ඇවිත් තිබ්බේ. ඒත් අයියට ලොකු අසාධාරණයක් වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න කට්ටිය ඉඩ දුන්නේ නෑ. අය්යම හරි හිත් වේදනාවෙන් ඒක ගැන ලියල තිබ්බා.

අයියා බනිස් කන්න ගියා..අන්තිමට අය්යට ඒක තරගයක් බව අමතක වෙලා හිතේ හැටියට බනිස් කකා ඉන්නකොට, දිනපු එක්කෙනා තෑග්ග අරගෙනත් ඉවරයි. මේ තියෙන්නේ ඒ පින්තුරේ...



අයියා තොප්පි තරගෙටත් ගියා. සුදු හංසි තමයි මාරයාට තොප්පිය දැම්මේ, එකෙනුත් ඉතින් වැඩේ හරි ගියේ නෑ.

මාරේ අයියා දුවන්නත් ගියා. ඒ උනාට කවුද එකෙක් මාරයියට කියල "මේ තරගේ වෙනස් මේකේ ඉස්සරහට නෙමෙයි පිටිපස්සට" කියල. අනික්‌ අය ඉස්සරහට දුවන කොට අපේ මාරයිය පිටිපස්සට දිව්වා. ඒ උනාට තරගේ නීති රීති වල හැටියට ඉස්සරහට ඉස්සෙල්ලම යන එක්කෙනලු දිනුම්. නැත්නම් මාරයියා තමා එක.



සිහින අවුරුදු කුමරිය ගැන කියනකොට අපේ අනුරාධ මල්ලි ගැන නම් නොකියම බෑ. හරිම කැපවීමෙන් තමයි මල්ලි ඒක සංවිධානය කරේ. රට්ටු එක එක කතා කිව්වා. මල්ලි සැලුනේ නෑ. මල්ලිත් නළුවා වගේ එදා ඇවිල්ලා photo shoot එකකට වගේ ෆොටෝ ගත්තා කියල තමයි කට්ටිය කියන්නේ. මෙන්න බලන්නකෝ මේ පින්තුරේ.


ඊළඟට කියන්න යන්නේ අපේ තවත් ප්‍රධාන සංවිධායකයෙක් වෙන වැපා ගැන.වැපා තමා ඉතින් වැඩි හරියක් ගේට්ටුවේ හිටියේ කොච්චර හොඳට එතන රාජකාරිය කරාද කියනවනම් එයා ප්‍රධාන ආරාධිත අමුත්තෙකුටත් ටිකට් එකක් දෙන්න හදල.

මේ ඔක්කොම කතා අස්සේ අපේ කණියා මල්ලි ගැන නොකියම බෑනේ. එයත් ඉතින් දුරු කතර ගෙවාගෙන් අවුරුදු උත්සවේට ඇවිත් හිටියට මේ කොල්ලෝ ටික මල්ලිත් එක්ක කතා කොරල නැනේ. පවු අප්පා.
මේ බලන්න කොලුවා බලන් ඉන්න හැටි..


පස්සේ ඉතින් අරගලේ බේරලා දැන් මල්ලි සතුටින් ඉන්නවා.

ඔක්කොම කියල මංතුමී ගැන නොකිව්වොත් හරි නැනේ. මමත් ගියා යෝගට් කවන්න. එකේ වෙච්ච හරිය නම් කට්ටිය දන්නවා ඇතිනේ. කොල්ල යෝගට් කෑව, මම පස් කෑවා..

දැන් ඉතින් ඔය මඩ පාරක් වැදිච්ච කට්ටිය මාත් එක්ක ඔරොප්පු වෙන්න ඕනේ නැ. මේ ලබන්නාවූ අවුරුද්දට තරහ මරහ තියාගෙන යන එක හොඳ නැනේ.

ෆොටෝ ටික ගත්තේ එදා ඇවිත් හිටිය අපේ කැමරා අයියල මල්ලිලාගෙන් ඒ අයටත් බොහොම ස්තුතියි...

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

Wednesday, 13 April 2011

අවුරුද්ද...

පරණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අළුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න..ඒ අස්සේ මමත් සමරනවා මගේ 26 වෙනි උපන්දිනේ. උපන් දිනේ උනාට වෙනාද තරම් සන්තෝසයක් නෑ හිතේ. වයසට යන එක ඉතින් සතුටට පත වෙන කාරණයක් නෙවීනේ..ඒකට වඩා හිතේ දුක, අම්මල එක්ක සමරන අන්තිම අවුරුද්ද නිසා. කවුරුත් ඒක ගැන කතා නොකලට මම දන්නවා ඒක හැමෝම හිතේ කොනක තියාගෙන ඉන්නවා කියල.

අවුරුදු 26 ක තිස්සේ අම්මලත් එක්කම හැදිලා, දැන් ගෙදරින් යන දවස ලං වෙනකොට ඇති වෙන දුක නම් දරාගන්න අමාරුයි. කොච්චර රණ්ඩු කරත්, මුරණ්ඩු වැඩ කරත් ගෙදරට තියෙන බැදීම තේරෙන්නේ දැන් තමයි. මොනවා උනත් තව මාස 4 කින් මම අළුත් ගෙදරක් තනන්න ඉගිලෙන්න එපැය.

අදට මේ ටික ඇති...

හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

Sunday, 10 April 2011

ඔබට පෙම් බැදී මම....

සඳ ඔබ මගේ...
මා දිවිය එලිය කල
පෙම්බරාණෙනි...
සෙනෙහස උතුරන...
ඔබ හද තුල මම
ලැගුම් ගත්තෙමි...

සත් සියක් සත් පියුම් පිපේවා...
මලින් පිරී ගත් ලොවක් සැදේවා
ඒ ලොව රජ කුමරිය මම වෙන්නෙමි
ඔබ අත ගත් මා රැජිනියකි.....

Saturday, 2 April 2011

මල්ලිගේ උපන්දිනේ

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා. බස් පදින අය නම් දන්නවා මේ දවස්වල මට වැඩ තරම.  ඒ වැඩ අස්සේ අපේ මල්ලි ඊයේ එයාගේ 23 වෙනි උපන් දිනේ සැමරුවා. ඉපදුනේ අප්‍රේල් 1 වෙනිදා උනාට එයාගේ මතකයටයි මොලේටයි ගහන්න කෙනෙක් අපේ පවුලේ නම් නෑ. හරි උවමනාවෙන් ඉගෙන ගත්තා නම් අද එයා අපි හැමෝටම වඩා ඉහල තැනක ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය දන්නවනේ මල්ලිගේ කතා. දඹලාගේ නෑයාපොඩි එකාගේ රචනාව, outstanding team එක.

ඒ කොහොම උනත් අපි හැමෝගෙම පණ එයා. අම්මයි තාත්තයි, මමයි එයාව බලාගන්නේ මැණිකක් බලාගන්නවා වගේ. 23 වෙනි උපන්දිනේ සැමරුවට අපිට තාම එයා පොඩි ළමයෙක් වගේ. කලින් දවසේ කේක් එකක්, ඉටිපන්දම් එක්ක ගෙනත් දුන්නම හිනාවෙච්ච ලස්සන මට තාම මතකයි. දැන් අවුරුදු කීපයක ඉඳං එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා අපි එයාව හැම තිස්සෙම සතුටින් තියන්නමයි බලන්නේ.

අද නම් ගොඩාක් ලියන්න වෙලා නෑ වගේ. ඒත් මගේ මල්ලිට නිරෝගී උපන්දිනයක් ඊළඟ අවුරුද්දෙවත් සමරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. 

Sunday, 20 March 2011

සිහිය....

සිහිය කියන දේ අපිට කොච්චර වටිනවද කියල තේරෙන්නේ සිහිය විකල් වුනු කෙනෙක් දැක්කමයි. අසිහියෙන් මොන තරම් දේවල් ඒ අය කරනවද. අපිට ඒ මනුස්සයට වැරැද්දක් කියන්නත් බෑනේ. සිහිය විකල් වුනු කෙනෙක් නැත්නම් සාමාන්‍යයෙන් කියන විදියට නම පිස්සෙකුට අම්මා තාත්තා කවුද කියලවත් අඳුරගන්න බෑනේ. ඒ වගේ කෙනෙක් ඒගොල්ලෝ කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියල දන්නෙත් නෑ.

සාමාන්‍ය මිනිස්සු වන අපිට ඒ අය කරන එක දැක්කම තරහා යනවා තමයි. ඒත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ අය අනුකම්පාව ලැබිය යුතු කොටසක්. පිස්සු හැදෙනවා කියන්නේ මිනිහෙකුට හැදෙන්න පුළුවන් නරකම ලෙඩේ. පිස්සු හැදුනු කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන උනත් මිය යන තෙක්ම පිස්සෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මනුස්සයත්, එයාගේ පවුලේ අයත් මුළු ජීවිත කාලෙම විඳවනවා. පිස්සු හැදුන කෙනෙක් අම්මට, තාත්තාට ගැහුවත් ඉවසා ගෙන ඉන්න වෙනවා. මොකද ඒ මනුස්සයා හිතල කරන දෙයක් නෙවෙයි ඒක. අසිහියෙන් කරන දේකට ගහල බැනල වැඩක් නැති නිසා.

මීට අවුරුදු කීපෙකට කලින්, මනස අවුල් උනු කෙනෙක් කරපු සුළු වැරැද්දකට පොලිස් කාරයෙක් එලව එළවා  පහරදුන්නා. ඒ මනුස්සයා ගහන්න එපා කියල වදිද්දී ඒ පොලිස් කාරය ලොකු පොල්ලකින් ඒ මිනිහට ගහල මුද මැදට දැම්ම. ඊට‍ පස්සේ ඒ මනුස්සය ගිලිලා මැරුණා. මේ සිද්ධිය රුපවාහිනි නාලිකාවකින් පෙන්නුවා.

මම මේක ලියන්නේ ඇයි කියලා මාව හොඳට දන්න අය දන්නවා. අනෙක් අය මගෙන් අහන්න එපා ඇයි කියල. සිහිය විකල් වුනු අයට අනුකම්පාව දක්වන්න. ඒ අයත් කාගෙහරි සමීපතමයෙක්...


දන්නෙම නැතුව ආදරණීය නවාතැන සින්ඩි ලංකා වෙබ් අඩවියේ 'බ්ලොග් ස්ටාර්' තරගයේ තුන්වෙනි වටයටත් ඇවිත්.  ඔන්න ඉතින් ආදරණීය නවාතැනට කැමති කෙනෙක් ඉන්නවා නම් මනාපයක් දෙන්න. 

Monday, 7 March 2011

පුවත්පත් ලිපියක් සදහා ඔබේ අදහස් ඕනෑ`

මෙය මා ලිවීමට බලාපොරොත්තු වන පුවත්පත් ලිපියක් සදහා වේ.

නැන්දම්මා ලේලි ගැටුම් පිළිබඳව ඔබේ අදහස කුමක්ද? එය නැවැත්වීමට දෙපාර්ශවය කලයුතු යැයි ඔබ සිතන්නේ කුමක්ද? මෙම අවස්ථාවේදි සැමියාගේ කලයුත්තේ කුමක්ද?

ඔබේ අදහස් සමග ඔබගේ නම, වයස හා රැකියාව සඳහන් කරන්න. අදහස් දැක්වීම සියලු දෙනාටම විවෘතයි

Tuesday, 1 March 2011

වසාපන් මේ මා දිනමිණ විගසේ

නීල ගණදුර පැතිරෙන       අඹරේ
සරා සඳ කුමාරි පිපියන්    රහසේ
ශ්වේත වූ වළා කුමාරෝ   රිසිසේ
වසාපන් මේ මා දිනමිණ  විගසේ

(තේරුම: ගණ අඳුර පැතිරෙන අහසට එන්න සඳ කුමාරි, සුදු වලාකුළු විත් හිත් පරිදි වසන්න මේ මහා සුර්යයා)

මිහිකලා දුකින් වියලී ඇත           සරියේ
මල්ඵල අතැර තුරුලිය හැඩවෙයි දුකිනේ
දියවලා නැගණි මුතු ඇට වැසි     දෙමිනේ
වසාපන් මේ මා දිනමිණ             විගසේ
(තේරුම: පොලෝ තලය වියලී ඇත, ගස් වැල් මල් ගෙඩි නැතිව දුකින් ඇත. වැහි වලාකුලක් ඇවිදින වැස්සක් දී වසනු මැන මේ මහා සුර්යයා)


ගගුලිය, දොළලිය මිහින්     දුරු වී
සිසිලස සිතගත නොහදන  කල්හී
මඳ මඳ තරුකැට අහසට වන්හී
වසාපන් මේ මා දිනමිණ  විගසී

(තේරුම: ගංගා ඇලදොළ වියලී ගොසිනි, සිසිලසක් ඇත්තෙම නැත. යන්තම් දිලෙන කුඩා තරුකැට විත් වසනු මන මේ මහා සුර්යයා)

සරා සඳ කුමරි පිපිලා    රහසේ
මල් ඵල  ත්රුලිය වෙත ආ සතොසේ
ගගුලිය දොළලිය මිහිමත සැරසේ
වැසුවා මේ මා දිනමිණ විගසේ

(සඳ ඇවිත් අහසට, මල් ඵල ඇවිත් ගස් වලට, ගංගා ඇලදොළ පිරී ඉතිරි ගොසිනි. වසා ඇත මේ මහා සුර්යයා)

Sunday, 27 February 2011

බ්ලොග් අවකාශයේ හිත් රිදවුම...

මම සිංහල බ්ලොග් ලෝකයට අගන්තුකයෙක්මි. මම බ්ලොග් ලියන්නට පටන් ගෙන තවම ගත වී ඇත්තේ තෙමෙසක්‌ පමණි. ඒ තෙමසට මම බොහෝ දෙනා දැන හදුනා ගත්තෙමි. එහෙත්, සමහරුන්ව නිසි පරිදි හදුනා ගන්නට නොහැකි විනි. එසේ වුයේ නම් අද මෙය ලිය නොවන්නට ඉඩ තිබුණි. කෙසේ වුවත් විය යුතු සියල්ල සිදු වුනි. මූණු පොතේ බ්ලොග් මිතුරෝහිදී, කලක අඹ යහළුවකු මෙන් පෙනී සිට පසුව හදිසියේ තරහා වූ කෙනෙක් කල කී දෙයකින් සිදුවූ සිදුවීමකින් සිත රිදී මා මගේ බ්ලොගය වසා දමා නැවතත් කිසි දිනෙක සිංහලෙන බ්ලොග් නොලියන්නට තීරණය කලෙමි. මගේ ලිපි කියැවූ, අදහස් දැක්වූ සැමට තුති. මින් ඉදිරියට මා සිංහල බ්ලොග්කාරියක නොවෙමි. ඒ තීරණයට මම දහස් වර සතුටු වෙමි.

ආයුබෝවන්!!!

Wednesday, 16 February 2011

ආදරයක තරම...

කුණාටුවකින් තම මව අහිමිවූ සුදු කොටි පැටවුන්ට අම්මා කෙනෙක්....