Saturday, 20 July 2013

මම "මම" වෙමි..

මම ඉතින් මම වෙන්නේ නැතුව වෙන කවුරු වෙන්නද? මට මේක ලියන්න හිතුනේ පහු ගිය සතියේ හිතුනු දේවල් ටිකක් නිසා. මිනිසා කියන්නේ ඉතින් සමාජ සත්වයෙක් නේ. ඒ නිසා අපිට අපේ ජීවිත කාලය තුල විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා, විවිධාකාර බැඳීම් ඇති වෙනවා. ඔය මිනිස්සු සහ බැදීම් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. අපේ ජීවිතේ මිහිරි මතක රඳවන්න පුළුවන් ඒ වගේම අමිහිරි මතකත් රඳවන්න පුළුවන්.

ඉතින් ඔය මුණගැහෙන අය සහ ඇතිවෙන බැඳීම් අතරේ නැතිද අපි උපන් දා ඉඳන් පුරුදු වුන ගති පැවතුම්, සමාජ රටා, සිරිත් විරිත් වෙනස් කරන්න හදන අය? ඕනේ තරම් ඉන්නවා. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම එක වගේ උනා නම් ලෝකය කෙතරම් කම්මැලි තැනක් වෙන්නට තිබුනද.. වෙනස් ලෝකයේ වෙනස් ජීවිත රටාවන් අපිව ජීවත් කරවනවා. එහෙනන් ඇයි අපි හදන්නේ තවකෙක් වෙනස් කරන්න...

මම තදින්ම විශ්වාස කරනවා ජීවිතයේ කිසියම් දෙයක් කිරීමට අපහසු නම් එය අපි කරන්නේ හරි විදියට නොවන බව. අලුත් තාක්ෂණයේ "user friendly" බව added advantage එකක් නැත්නම් වටිනාකමක් බවට පත් උනත්, ස්වභාව ධර්මය තුල  එය මුල සිටම පැවති අනිවාර්ය අංගයක් බවයි මගේ හැගීම. යමෙක් යම් කිසි විෂයක් ඉගෙනීමට කෙතරම් උත්සාහ කලත් එහි නිසි ප්‍රථිපල ලබන්නට නොහැකි නම් ඔහු/ඇය සහජයෙන්ම උරුමවූ දෙය ඉගෙන නොගන්නා බව මෙයට එක් උදාහරණයක්. ඒක හරියට චිත්‍ර අඳින්න සහජ දක්ෂතා ඇති අයෙකුට ගණිත විෂය ධාරාව හදාරන්න කිව්වා වගේ.  අප ජීවත් වන කෘතීම ලෝකයේ අපි හැමදේම අපට ඕනෑ විදියට ලබාගන්නට උත්සාහ කරත්, ස්වභාව ධර්මයේ ධර්මතා සමග ජීවත් වන අයෙකුට ආයාසයකින් තොරව හැමදේම ලබන්නට හැකි බවයි මගේ පිළිගැනීම.

මෙය ජීවිතයේ ඇති හැමදේටම අදාලයි. බැදීමකදීත් එය යහපත්ව පවත්වා ගැනීමට එක් අයෙක් තම ගති පැවතුම් අමාරුවෙන් වෙනස් කරගන්නට සිදු වේ නම් එය ස්වභාවිකව ඇති විය යුතු බැඳීමක් විය නොහැකියි නේද? ජීවිතය සැහැල්ලුවෙන් රිද්මියකට අනුව ගෙන යා යුතු දෙයක්. මේ රිද්මය හොඳ මිතුරු දම්, පවුල් සබඳතා ආදී බැදීම් තුලින් වර්ධනය වනු විනා ඒ රිද්මය වෙනස් කර වෙනස් ජීවිතයක් ගත කරන්නට සිදු වේ නම්, එහි කිසියම් ගැටළුවක් තිබිය යුතු නොවේද....

Tuesday, 16 July 2013

සුදු ඇඳුම්...

මටත් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මතක් උනා බ්ලොග් එකක් තියෙනවා කියල. පහුගිය දවස් වල උන දේවල් වල හැටියට ලියන්න හිතුවත්, ලියන්න දෙයක් මතක් උනේ නෑ. දැන් ඉතින් ඔක්කොම කලබල ඉවර උනාට පස්සේ ඔක්කොම දුක හිතෙන දේවල් මැද්දේ සිද්ද උන හිනා යන දේවල් ටිකක් මතක් උනා. අද ලියන්න යන්නේ ඒ එකක්. අනෙක් ඒවත් මතක් වෙන පිළිවෙලට ලියන්නම්.


සමහර බ්ලොග් ලියන අයනම් දන්නවා ඇති, මීට මාස 3 කට කලින් මගේ එකම මල්ලි හදිස්සියේම අපිව දාල ගිය බව. මමත් ඒ වෙලේ ලංකාවේ නොහිටපු නිසාත්, මගේ දෙමව්පියෝ පැය 24 කට වඩා තියන්න අකමැති වුනු නිසා මම ආවේත් අවසන් කටයුතු කර දාට පහුවදා.

 කොහොමහරි මළගෙදර ආපු අයට මාව නොගැහුණු නිසා හත් දවසේ බණ දවසේ ඉතින් හැමෝම මගේ ලඟට ඇවිත් කතා කරලා තම තමන්ගේ ශෝකය ප්‍රකාශ කළා. ඔය අතරේ හාමුදුරුවෝ වඩින්න ඔන්න මෙන්න තියල, තද පාට සායකුයි හැට්ටෙකුයි ඇඳගෙන හිටපු ගෑනු කෙනෙක් ලඟට ඇවිත් කතා කරලා ශෝකය ප්‍රකාශ කරලා මට කියනවා.... "වැඩේ කියන්නේ අපි හැමෝම මේ පාර අවුරුද්දට පුළුවන් තරම් ගත්තෙම සුදු ඇඳුම් නේ"

මට ඉබේම එයාගේ ඇඳුම දිහා බැලුන. හාමුදුරුවෝ වැඩිය නිසා ඒ කතාව එතනින් නැවතුනත් මට පස්සේ හිතුන අපරාදේ අවුරුද්දට ගත්තු සුදු ඇඳුමක් ඇඳගෙන එන්න තිබ්බනේ කියල..
-----------------------------------------------------------------------------------------

Thursday, 2 May 2013

ජීවිතය ------




සිනහ වෙයි දුක් වෙයි
මැරී මැරී උපදියි
කාසි සොයයි නැතුව ලත වෙයි
මෙයද ජීවිතය 
අප කරපින්නා ගත්..

Monday, 29 April 2013

ආදරණීය මල්ලි!


හෙටට ඔයා අපිව දාලා ගිහින් හරියටම සති තුනක් වෙනවා. කවදාවත් අපෙන් ඈත් වෙලා නොහිටිය ඔයා අපිව දාලා හදිස්සියේම යන්නම ගියා. පලවෙනිදා ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ කවදාවත් නැති විදියට මට එන්න කියල බල කරපු වෙලේ මම අසරණ වෙච්ච තරම දන්නේ මම විතරයි. ඒත් එවෙලේ දැනගෙන හිටිය නම් ඊට සතියකට පස්සේ ඔයා අපි හැමෝවම දාල යනවා කියල මම හැමදේම අත ඇරලා එනවා.

වෙනදට අම්මටයි තාත්තටයි කතා කරාම මල්ලි ඉන්නවද අහල ඔයාගේ කට හඬ ඇහෙනකන් මම බලන් ඉන්නවා. මම හෙලෝ කියල කොහොමද කියල අහන්නත් කලින් ඔයා කියනවා හොඳින් ඉන්නවා අක්කි කියල. සමහරදාට ලෙඩ වෙලා හොඳටම අමාරු උනත් ඔය කියන්නේ හොඳින් ඉන්නවා කියල. පස්සේ තමයි මම දැනගන්නේ ඔය ලෙඩ වෙලා හිටිය කියල. එහෙම වත් ඔය මට දුකක් දුන්නේ නෑ.
මේ පාර ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ ඉඳන්, මම බලන් හිටියේ ඊට සති දෙකකට පස්සේ තිබ්බ මගේ උපන් දිනේට ඔයා කතා කරනකන්. ඒත් ඒ දවස වෙනකන් තිය අඩුමගානේ ඔයාගේ උපන් දිනේට මම එවපු කාඩ් එක බලන්නවත් ඔය හිටියේ නැ. එකත් ආවේ ඔයාගේ මිනිය උස්සන දවසේ උදේ.

හැමදාම මට එන්න කියා කියා කියනවා අන්තිමට මම එනකොට ඔය යන්නම ගිහින්. මම ලංකාවේ නැති කාලේ ඔය මගේ අඩුව අම්මගෙයි තාත්තාගෙයි හිත්වල පිරෙව්වා. හැමතිස්සෙම මට කිව්වා අක්කි නැති නිසා මම අම්මවයි තාත්තයි බලාගන්නවා කියල. ඔයා නැති දා මම ඒ දේ කරනවා, ඒත් කවදාවත් ඔය නැති අඩුව මට පුරවන්න බෑ.

කවදාවත් ජීවිතේ වරදක් නොකරපු ඔයා මේ වෙනකොටත් හොඳ තැනක ඉපදිලා ඇති. ඒත් අපි තාමත් තව එක දවසක් හරි ඔයාව දකින්න පෙරුම් පුරනවා.

මල්ලිට නිවන් සැප ලැබේවා! සංසාරේ කිසිම දවසක මේ වගේ අකල් මරණයක් අත් නොවේවා!

මම බ්ලොග් ලියන කාලේ මල්ලි ගැනත් කතා ලියල තියෙනවා... පොඩි එකාගේ රචනාව,

"~~Most outstanding team එක~~", දඹලගේ නෑයෝ එයා ගැන ලියපුවා තමා..

Sunday, 2 December 2012

අද අලුත් දවසක්.....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල පොරොන්දුවක් දෙන්නේ නෑ..

2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 වසර අවසන් වෙනකොට මාස 3කට නිවාඩුවට ඇමෙරිකාවේ ඇවිත් ජනවාරි යන්න බලාගෙන හිටිය.. ඒත් 2012 ජනවාරි වෙනකොට ඇමරිකාවේ තව කාලයක් ඉන්න තීන්දු වුනා...කර කර හිටිය රැකියාව අත හරින්න උනා...2011 ඔක්තෝම්බර් මාසේ මාස 3කට කියල ඇමරිකාවේ ආපු ගමන තවමත් ඇමරිකාවේ...කවදා ආයේ ලංකාවට යනවද කියල දන්නෙත් නෑ...

ජීවිතේ එහෙමයි...සමහර විට වුනු වෙනස හොඳයි කියල හිතෙනවා...ඒත් කොළඹ කලබල පාරවල්, සෙනග පිරිච්ච බස්, පාර හැම තැනම යන මිනිස්සු ජීවිතේට කොච්චර අත් දැකීම් එකතු කරනවද... හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා....

ජීවිතේ ඔහොමයි....කවදාවත් තේරුම් ගන්න බැරි මේ ජීවිතේ තේරුම් ගන්න උත්සහ ගන්නවා වෙනුවට ලැබෙන හැමදේම හොදින් බාර ගෙන ජීවත් වෙනවා නම්...හැමදේම කොච්චර සුන්දරද?

Thursday, 29 November 2012

ජීවිතය...

සිරවී බිත්ති හතරක
සිහින දකිමි
ලෝකය දකින්නට
විඳින්නට...
හෙට දිනක...
අද දින සැපයි... අඩුවක්ම නැත...
එහෙත් මම කිරිල්ලියකි..
කුමක් තිබුනත් කුමටද,
තටු සිඳලූ කල..

Wednesday, 28 November 2012

කාලෙකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...
දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත...