Monday, 29 April 2013

ආදරණීය මල්ලි!


හෙටට ඔයා අපිව දාලා ගිහින් හරියටම සති තුනක් වෙනවා. කවදාවත් අපෙන් ඈත් වෙලා නොහිටිය ඔයා අපිව දාලා හදිස්සියේම යන්නම ගියා. පලවෙනිදා ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ කවදාවත් නැති විදියට මට එන්න කියල බල කරපු වෙලේ මම අසරණ වෙච්ච තරම දන්නේ මම විතරයි. ඒත් එවෙලේ දැනගෙන හිටිය නම් ඊට සතියකට පස්සේ ඔයා අපි හැමෝවම දාල යනවා කියල මම හැමදේම අත ඇරලා එනවා.

වෙනදට අම්මටයි තාත්තටයි කතා කරාම මල්ලි ඉන්නවද අහල ඔයාගේ කට හඬ ඇහෙනකන් මම බලන් ඉන්නවා. මම හෙලෝ කියල කොහොමද කියල අහන්නත් කලින් ඔයා කියනවා හොඳින් ඉන්නවා අක්කි කියල. සමහරදාට ලෙඩ වෙලා හොඳටම අමාරු උනත් ඔය කියන්නේ හොඳින් ඉන්නවා කියල. පස්සේ තමයි මම දැනගන්නේ ඔය ලෙඩ වෙලා හිටිය කියල. එහෙම වත් ඔය මට දුකක් දුන්නේ නෑ.
මේ පාර ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ ඉඳන්, මම බලන් හිටියේ ඊට සති දෙකකට පස්සේ තිබ්බ මගේ උපන් දිනේට ඔයා කතා කරනකන්. ඒත් ඒ දවස වෙනකන් තිය අඩුමගානේ ඔයාගේ උපන් දිනේට මම එවපු කාඩ් එක බලන්නවත් ඔය හිටියේ නැ. එකත් ආවේ ඔයාගේ මිනිය උස්සන දවසේ උදේ.

හැමදාම මට එන්න කියා කියා කියනවා අන්තිමට මම එනකොට ඔය යන්නම ගිහින්. මම ලංකාවේ නැති කාලේ ඔය මගේ අඩුව අම්මගෙයි තාත්තාගෙයි හිත්වල පිරෙව්වා. හැමතිස්සෙම මට කිව්වා අක්කි නැති නිසා මම අම්මවයි තාත්තයි බලාගන්නවා කියල. ඔයා නැති දා මම ඒ දේ කරනවා, ඒත් කවදාවත් ඔය නැති අඩුව මට පුරවන්න බෑ.

කවදාවත් ජීවිතේ වරදක් නොකරපු ඔයා මේ වෙනකොටත් හොඳ තැනක ඉපදිලා ඇති. ඒත් අපි තාමත් තව එක දවසක් හරි ඔයාව දකින්න පෙරුම් පුරනවා.

මල්ලිට නිවන් සැප ලැබේවා! සංසාරේ කිසිම දවසක මේ වගේ අකල් මරණයක් අත් නොවේවා!

මම බ්ලොග් ලියන කාලේ මල්ලි ගැනත් කතා ලියල තියෙනවා... පොඩි එකාගේ රචනාව,

"~~Most outstanding team එක~~", දඹලගේ නෑයෝ එයා ගැන ලියපුවා තමා..

Sunday, 2 December 2012

අද අලුත් දවසක්.....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල පොරොන්දුවක් දෙන්නේ නෑ..

2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 වසර අවසන් වෙනකොට මාස 3කට නිවාඩුවට ඇමෙරිකාවේ ඇවිත් ජනවාරි යන්න බලාගෙන හිටිය.. ඒත් 2012 ජනවාරි වෙනකොට ඇමරිකාවේ තව කාලයක් ඉන්න තීන්දු වුනා...කර කර හිටිය රැකියාව අත හරින්න උනා...2011 ඔක්තෝම්බර් මාසේ මාස 3කට කියල ඇමරිකාවේ ආපු ගමන තවමත් ඇමරිකාවේ...කවදා ආයේ ලංකාවට යනවද කියල දන්නෙත් නෑ...

ජීවිතේ එහෙමයි...සමහර විට වුනු වෙනස හොඳයි කියල හිතෙනවා...ඒත් කොළඹ කලබල පාරවල්, සෙනග පිරිච්ච බස්, පාර හැම තැනම යන මිනිස්සු ජීවිතේට කොච්චර අත් දැකීම් එකතු කරනවද... හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා....

ජීවිතේ ඔහොමයි....කවදාවත් තේරුම් ගන්න බැරි මේ ජීවිතේ තේරුම් ගන්න උත්සහ ගන්නවා වෙනුවට ලැබෙන හැමදේම හොදින් බාර ගෙන ජීවත් වෙනවා නම්...හැමදේම කොච්චර සුන්දරද?

Thursday, 29 November 2012

ජීවිතය...

සිරවී බිත්ති හතරක
සිහින දකිමි
ලෝකය දකින්නට
විඳින්නට...
හෙට දිනක...
අද දින සැපයි... අඩුවක්ම නැත...
එහෙත් මම කිරිල්ලියකි..
කුමක් තිබුනත් කුමටද,
තටු සිඳලූ කල..

Wednesday, 28 November 2012

කාලෙකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...
දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත... 

Thursday, 31 May 2012

ඉතින් කාලෙකට පස්සේ.....

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන් පස්සේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. හරියට ග්‍රහයෙක් මාරු උනා වගේ. මාස තුනකට කියල ඇමරිකාවට ඇවිත් දැන් මාස හයකටත් වඩා මෙහෙ. මහත්තයාගේ රස්සාවේ වැඩකට ඉස්කෝලෙන් නිවාඩුත් අරන් ආවාට...තව ඉන්න වෙනවා කියල දැනගත්තම රස්සාවෙන් අයින් වෙන්න උනා. අවුරුදු 7 කට පස්සේ මම කරන්න වැඩක් නැතුව නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. 

පහු ගිය කාලේ බ්ලොග් ජීවිතෙන් අයින් වුනා ...හුඟක් කලකිරෙන දේවල් උනා...තවමත් ඒවා වෙනවද දන්නේ නෑ..ලඟකදී  බ්ලොග් නොලිව්වත් සමහර බ්ලොග් ලියපු අයගේ ගැට වලට අහු වෙලා ගොඩ ආවේ අමාරුවෙන් .. ජීවිතේ කාටවත් අහුවෙලා නෑ... අහුවෙන්නෙත් නෑ... කියල අභිමානෙන් හිටපු මම අහු වෙනකන්ම දන්නේ නෑ... පලවෙනි වතාවට මම මගේ ඉක්මනින් කේන්ති යන ගතිය පලක් ඇති වැඩකට පාවිච්චි කරා... නැත්නම් මම තාමත් හිතේ අමාරුවෙන්.  වෙච්ච දේවල් වලට පස්සේ අපේ මහත්තය දැන් සිංහල බ්ලොග් ලියන අය ඔක්කොම ගැන හිතන්නේ ඒ මිම්මෙන්... 

ජීවිතේ ඔහොමයි... 

Tuesday, 6 December 2011

Monday, 6 June 2011

මැරූ පෙම....

අමතකව ගිය අතීතය ඇවිදින්
දවා හළු කරයි ම සිත් මඬල......
එදා නුඹ අයැදි විට
මා නොදැන සිටියෙමි
මෙතරම්
මා නුඹට පෙම් කල වග...
එදා ප්‍රතික්ෂේප කර
නුඹ සිත් රිදෙව්වෙමි...
සියල්ල අවසන්ය...
අද සුසුමක් සමග මා තනිවීමි.....