Sunday, 2 December 2012

අද අලුත් දවසක්.....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල පොරොන්දුවක් දෙන්නේ නෑ..

2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 වසර අවසන් වෙනකොට මාස 3කට නිවාඩුවට ඇමෙරිකාවේ ඇවිත් ජනවාරි යන්න බලාගෙන හිටිය.. ඒත් 2012 ජනවාරි වෙනකොට ඇමරිකාවේ තව කාලයක් ඉන්න තීන්දු වුනා...කර කර හිටිය රැකියාව අත හරින්න උනා...2011 ඔක්තෝම්බර් මාසේ මාස 3කට කියල ඇමරිකාවේ ආපු ගමන තවමත් ඇමරිකාවේ...කවදා ආයේ ලංකාවට යනවද කියල දන්නෙත් නෑ...

ජීවිතේ එහෙමයි...සමහර විට වුනු වෙනස හොඳයි කියල හිතෙනවා...ඒත් කොළඹ කලබල පාරවල්, සෙනග පිරිච්ච බස්, පාර හැම තැනම යන මිනිස්සු ජීවිතේට කොච්චර අත් දැකීම් එකතු කරනවද... හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා....

ජීවිතේ ඔහොමයි....කවදාවත් තේරුම් ගන්න බැරි මේ ජීවිතේ තේරුම් ගන්න උත්සහ ගන්නවා වෙනුවට ලැබෙන හැමදේම හොදින් බාර ගෙන ජීවත් වෙනවා නම්...හැමදේම කොච්චර සුන්දරද?

Thursday, 29 November 2012

ජීවිතය...

සිරවී බිත්ති හතරක
සිහින දකිමි
ලෝකය දකින්නට
විඳින්නට...
හෙට දිනක...
අද දින සැපයි... අඩුවක්ම නැත...
එහෙත් මම කිරිල්ලියකි..
කුමක් තිබුනත් කුමටද,
තටු සිඳලූ කල..

Wednesday, 28 November 2012

කාලෙකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...
දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත... 

Thursday, 31 May 2012

ඉතින් කාලෙකට පස්සේ.....

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන් පස්සේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. හරියට ග්‍රහයෙක් මාරු උනා වගේ. මාස තුනකට කියල ඇමරිකාවට ඇවිත් දැන් මාස හයකටත් වඩා මෙහෙ. මහත්තයාගේ රස්සාවේ වැඩකට ඉස්කෝලෙන් නිවාඩුත් අරන් ආවාට...තව ඉන්න වෙනවා කියල දැනගත්තම රස්සාවෙන් අයින් වෙන්න උනා. අවුරුදු 7 කට පස්සේ මම කරන්න වැඩක් නැතුව නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. 

පහු ගිය කාලේ බ්ලොග් ජීවිතෙන් අයින් වුනා ...හුඟක් කලකිරෙන දේවල් උනා...තවමත් ඒවා වෙනවද දන්නේ නෑ..ලඟකදී  බ්ලොග් නොලිව්වත් සමහර බ්ලොග් ලියපු අයගේ ගැට වලට අහු වෙලා ගොඩ ආවේ අමාරුවෙන් .. ජීවිතේ කාටවත් අහුවෙලා නෑ... අහුවෙන්නෙත් නෑ... කියල අභිමානෙන් හිටපු මම අහු වෙනකන්ම දන්නේ නෑ... පලවෙනි වතාවට මම මගේ ඉක්මනින් කේන්ති යන ගතිය පලක් ඇති වැඩකට පාවිච්චි කරා... නැත්නම් මම තාමත් හිතේ අමාරුවෙන්.  වෙච්ච දේවල් වලට පස්සේ අපේ මහත්තය දැන් සිංහල බ්ලොග් ලියන අය ඔක්කොම ගැන හිතන්නේ ඒ මිම්මෙන්... 

ජීවිතේ ඔහොමයි... 

Tuesday, 6 December 2011

Monday, 6 June 2011

මැරූ පෙම....

අමතකව ගිය අතීතය ඇවිදින්
දවා හළු කරයි ම සිත් මඬල......
එදා නුඹ අයැදි විට
මා නොදැන සිටියෙමි
මෙතරම්
මා නුඹට පෙම් කල වග...
එදා ප්‍රතික්ෂේප කර
නුඹ සිත් රිදෙව්වෙමි...
සියල්ල අවසන්ය...
අද සුසුමක් සමග මා තනිවීමි.....

Thursday, 14 April 2011

මේ ඔබ කියවන්නේ සිහින උළෙලේ මඩ ප්‍රචාරයයි

අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල හරි මට ඉවර කරන්න රාජකාරියක් තියේ. අපේ ඉතින් තිබ්බනේ අර සිහින බක් මහා උළෙල. හැමෝම ගිහින් ඇවිත් ඒක ගැන ලිව්වට මම ලිව්වේ නැනේ. ලිව්වේ නැත්තේ ඉතින් හරි වෙලාව එනකන් හිටිය නිසා තමයි ඉතින්. අවුරුදු උළෙල නම් සුපිරියි. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපේ සහෝදර සහෝදරියෝ පහු ගිය කාලේ ඒක ගැන ඇතිවෙන්න ලිව්වා.

මම මේ ලියන්න යන්නේ උළෙල වර්ණවත් කරපු ඒක ඒක චරිත ගැන...

ඉස්සෙල්ලම ලියන්නේ අපේ අභීත අය්ය ගැන. මුලින්ම හීනේ දැක්කෙත් එයා නේ. 'ඔක්කොම හරි මල්ලි හරි හරි' කියල හැමදේම හොයල බැලුවත් එයා තමයි. (ඔන්න දැන් අනෙක් අය ඔරවන්න එපා මට, එයා විතරක් නෙවෙයි හැමෝම වැඩ කරා). ගෙදරින් කට පාඩම් කරගෙන ආපු පිළිගැනීමේ කතාවත් අයිය හොඳටම කිව්වා.


අවුරුදු උත්සවේ දවසෙත් දුවල පැනල වැඩ හොයා බැලුවා. කඹ අදින්න ගිහින් සද්දන්තයෝ පැත්තේ ඉඳගෙන එයාලව පැරද්දුව කියල තමයි ආරංචිය. දැන් කට කතාව යන්නේ අභීත අය්යා කොයි පැත්තේ හිටියත් පරදිනවා කියලා තමයි.

මේ තියෙන්නේ අපේ අය්යාගේ වැඩ....



ඔන්න ඉතින් ඊළඟට කියන්න යන්නේ අපේ මාරයා ගැන තමා...




උළෙලේ හිටපු ප්‍රසිද්ධම චරිතේ තමා අපේ මාරයා තුමා. අපරාදේ තරග සේරම දිනලා තෑගි අරන් යන්න ඇවිත් තිබ්බේ. ඒත් අයියට ලොකු අසාධාරණයක් වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න කට්ටිය ඉඩ දුන්නේ නෑ. අය්යම හරි හිත් වේදනාවෙන් ඒක ගැන ලියල තිබ්බා.

අයියා බනිස් කන්න ගියා..අන්තිමට අය්යට ඒක තරගයක් බව අමතක වෙලා හිතේ හැටියට බනිස් කකා ඉන්නකොට, දිනපු එක්කෙනා තෑග්ග අරගෙනත් ඉවරයි. මේ තියෙන්නේ ඒ පින්තුරේ...



අයියා තොප්පි තරගෙටත් ගියා. සුදු හංසි තමයි මාරයාට තොප්පිය දැම්මේ, එකෙනුත් ඉතින් වැඩේ හරි ගියේ නෑ.

මාරේ අයියා දුවන්නත් ගියා. ඒ උනාට කවුද එකෙක් මාරයියට කියල "මේ තරගේ වෙනස් මේකේ ඉස්සරහට නෙමෙයි පිටිපස්සට" කියල. අනික්‌ අය ඉස්සරහට දුවන කොට අපේ මාරයිය පිටිපස්සට දිව්වා. ඒ උනාට තරගේ නීති රීති වල හැටියට ඉස්සරහට ඉස්සෙල්ලම යන එක්කෙනලු දිනුම්. නැත්නම් මාරයියා තමා එක.



සිහින අවුරුදු කුමරිය ගැන කියනකොට අපේ අනුරාධ මල්ලි ගැන නම් නොකියම බෑ. හරිම කැපවීමෙන් තමයි මල්ලි ඒක සංවිධානය කරේ. රට්ටු එක එක කතා කිව්වා. මල්ලි සැලුනේ නෑ. මල්ලිත් නළුවා වගේ එදා ඇවිල්ලා photo shoot එකකට වගේ ෆොටෝ ගත්තා කියල තමයි කට්ටිය කියන්නේ. මෙන්න බලන්නකෝ මේ පින්තුරේ.


ඊළඟට කියන්න යන්නේ අපේ තවත් ප්‍රධාන සංවිධායකයෙක් වෙන වැපා ගැන.වැපා තමා ඉතින් වැඩි හරියක් ගේට්ටුවේ හිටියේ කොච්චර හොඳට එතන රාජකාරිය කරාද කියනවනම් එයා ප්‍රධාන ආරාධිත අමුත්තෙකුටත් ටිකට් එකක් දෙන්න හදල.

මේ ඔක්කොම කතා අස්සේ අපේ කණියා මල්ලි ගැන නොකියම බෑනේ. එයත් ඉතින් දුරු කතර ගෙවාගෙන් අවුරුදු උත්සවේට ඇවිත් හිටියට මේ කොල්ලෝ ටික මල්ලිත් එක්ක කතා කොරල නැනේ. පවු අප්පා.
මේ බලන්න කොලුවා බලන් ඉන්න හැටි..


පස්සේ ඉතින් අරගලේ බේරලා දැන් මල්ලි සතුටින් ඉන්නවා.

ඔක්කොම කියල මංතුමී ගැන නොකිව්වොත් හරි නැනේ. මමත් ගියා යෝගට් කවන්න. එකේ වෙච්ච හරිය නම් කට්ටිය දන්නවා ඇතිනේ. කොල්ල යෝගට් කෑව, මම පස් කෑවා..

දැන් ඉතින් ඔය මඩ පාරක් වැදිච්ච කට්ටිය මාත් එක්ක ඔරොප්පු වෙන්න ඕනේ නැ. මේ ලබන්නාවූ අවුරුද්දට තරහ මරහ තියාගෙන යන එක හොඳ නැනේ.

ෆොටෝ ටික ගත්තේ එදා ඇවිත් හිටිය අපේ කැමරා අයියල මල්ලිලාගෙන් ඒ අයටත් බොහොම ස්තුතියි...

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!