Monday 31 January 2011

ගෙදර ප්‍රධානියා....

මේ කතාව කිව්වේ අපේ පාසලේ ගුරුතුමියකගේ දියණියක්. ඇය 3 වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. අප පාසලේම නිසා එයාගේ පන්ති ඉවර උනාම මෙයා එනවා අපිත් එක්ක කතා කර කර ඉන්න. මේකත් ඒ කතා කර කර හිටපු වෙලාවක කියපු දෙයක්.

ඒක සැරයක් මෙයාගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයක අහල තිබුනලු "ගෙදර ප්‍රධානියා කවුද?" කියල. හිතන්න පුලුවන්ද අපේ චුටි නෝනා දීල තියෙන උත්තරේ.

මෙය ලියලා ගෙදර ප්‍රධානියා බල්ලා කියල" අම්මත් ගුරුවරියක් නිසා වස ලැජ්ජාවලු. අපේ මල්ලිගේ ජාතියේම එක්කෙනෙක්. කොහොමහරි මෙයාට පස්සේ කියල දීලා "පුතේ ගෙදර ප්‍රධානියා තාත්තා නේ" කියල.

මෙයා ඔය කතාව අපිත් එක්ක කියල කියනවා. " ඒ වුනාට ගෙදර උයන්නේ අම්මනේ. මගේ වැඩ සේරම කරලා දෙන්නෙත් අම්මා නේ. එතකොට හරි නම් ගෙදර ප්‍රධානියා වෙන්න ඕනේ අම්මා නේද" කියල.

පොඩි ඒකාටත් තේරෙනවා ගෙදර වැදගත්ම පුද්ගලයා අම්මා කියල. :)

Thursday 27 January 2011

නිදහස......

මෙම අදහස් විමසුම අත ළඟ එන නිදහස් දිනය වෙනුවෙන් ලියවෙන පුවත්පත් ලිපියක් සඳහා වේ.

ඔබට නිදහස යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? නිදහස යන්නට ඔබේ වචනයෙන් දෙන නිරවචනය කුමක්ද?

අදහස් පළ කිරීමේදී ඔබේ සැබැ නම සඳහන් කරන්න. (මුළු නම අවශ්‍ය නොවේ)

Tuesday 25 January 2011

෴අම්මාට විහින් අහු වීම....෴

පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබිල දැන් තමයි පොඩ්ඩක් නිදහස් උනේ. ලියන්න වෙලාවක් තිබ්බෙත් නෑ, ලියන්න කතාවක් මතක් උනෙත් නෑ. කලින් දවසේ පොස්ට් එකක් ලියන දවසක කතාවක් මතක් උනා ඒක ලියන්නයි යන්නේ. මේක අවුරුදු ගණනාවක් පරණ කතාවක්. මට වෙච්ච රසවත්ම සිද්ධි වලින් එකක්. හැබැයි වෙනකොට නම් රසවත් උනේ නෑ. කරපු ලොකුම මෝඩකම කියල තමයි එදා හිතුනේ.

මේ කතාවට සම්බන්ධ මමයි, ලඟදි දවසක මාව කැන්දන් යන්න බලං ඉන්න කුමාරයයි. කුමාරය ගැන මීට කලින් මම කියල තියනවා. අපේ ගණිත පන්තියේ හිටි කොල්ල තමා  ඉතින්.

මේ සිද්ධිය උනේ සිංහල අවුරුද්ද කිට්ටු කරලා. දවසක් අම්මයි මමයි අත්තම්මයි ගෙදර අනික් අයයි ගියා අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න. ගියේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඳුම් කඩේකට. මම ඔතනදි හැමෝම හරියන්නේ නෑ කියද්දි කලිසමක් ගත්තා. අනෙක් අය එපාම කිව්වා ඒක මට මදි කියල. ඒ කඩේ ඇඳලා බලන්න පහසුකම් නෑ. ඉතින් මගේ පණ්ඩිත කමට අරගෙන ආවට මොකද ගෙදර ඇවිල්ල බැලින්නම් කිට්ටු කරන්නවත් බෑ. වස ලැජ්ජාව දැන්. කියන්නවත් විදියක් නෑ කාටවත්.

ඊටපස්සේ කුමාරයට කතා කරලා කිව්වම එය කිව්වා පහුවදා මගේ පන්තියකින් පස්සේ යමු කියල. එදා පන්තිය කලිනුත්  ඇරියා. දැන් ඉතින් ජෝඩුව ගිහින් කඩේ ඇවිදලා වෙන කලිසමකුත් අරගෙන කවුන්ටරේට ආවම ඒ මනුස්සයා කියනවා මගේ කලින් ගත්ත කලිසමට වඩා මේ කලිසම ලාබයි, සල්ලි දෙන්න බැරි නිසා ඒ ගානට වෙන මොනවහරි අරන් එන්න කියලා. ඊටපස්සේ ආයේ අපි ඇඳුම් පැත්තට. මෙන්න බොලේ අපේ අම්මත් ඉන්නවා.අපේ අම්මා කුමාරයාව දන්නවා උනාට මේ හුටපට දැනගෙන හිටියේ නෑ. අපි දෙන්න දැන් හොඳටම බය වෙලා. අම්ම දැක්ක විත්තියක් පෙනුනේ නෑ. හැබැයි මට හිතුනේ දැකල අහක බල ගත්තා කියල.

අපි ගන්න ගිය එකත් අතැරලා අයෙම කවුන්ටරේ ගාවට ආවා. ඒ ගොල්ලෝ මොකක්ද එකක් අර ගානට හරියන්න දුන්න අපි ඒකත් අරගෙන එලියට ආවා. දැන් දෙන්නා හොඳටම බය වෙලා. එලියට වෙලා මොනවාද කරන්නේ කියල කල්පනා කරනවා. මට හිතුනෙම අම්මා දැක්ක කියල. ඊටපස්සේ කුමාරයා කිව්වා අපි අම්මට ගිහින් කතා කරමු. දැන් මමත් ඉන්නවනේ ගෙදර ගියොත් ඔයාට තනියම මූණ දෙන්න වෙනවනේ කියල.

ඔහොම හිතල අපි කඩේ ඉස්සරහ දොර පැත්තට යනකොට අම්මා ඉන්නවා. මාත් කුමාරයට වැහිලා හිටියා. අම්මා එයාව දැක්ක විතරයි "පුතා කොහොමද? මෙහෙ මොකද කරන්නේ" කියල හොඳට සුහදව කතා කරනවා.
බලනකොට අම්මා අපිව දැකලා නෑ. අම්මා රත් උනේ එහා පැත්තේ මම ඉන්නවා දැකල. ඊටපස්සේ ඉතින් හොඳට අහගත්තා. දෙන්නම බැනුම් අහලා, කොහොමහරි ටික දවසකින් අම්ම කැමති උනා. තාත්තා කැමති වෙන්න නම් කාලාන්තරයක් ගියා.

ඔන්න ඔහොම තමයි අපි අම්මට බලෙන් අහු වුනේ. ......:) 

Thursday 20 January 2011

වෙනස

ගුරුවරියක් නොවුවානම්
සැනසීමෙන්
පියනගන්නට තිබුනා පාසලට,
කණිසමටත් පසුව....!


ප.ලි: ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ටීචර් ලාගෙන් බැනුම් අහන්න වෙයි ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල බයට වේලාසන ඉස්කෝලේ යන්න දඟලනවා. දැන් රතු ඉරට කලින් ඉස්කෝලේ යන්න දඟලනවා. 

අපිට වෙච්ච දේ...

ඊයේ දෙය්යනේ කියල දත කට මැදගෙන කාලෙකට පස්සේ ලිව්වා මදෑ. ටික වෙලාවකින් මඩ අයිති කාරයා අඩාගෙන එනවා කරපු වැඩේ සවුත්තුයි කියල, ඉතින් මමත් කලබල වෙච්ච පාර ඒක මකල දැම්ම. මටත් මාර අප්සෙට්.  මෙන්න එපාර හවස කියනවා "අපෝ ඔය හරි මෝඩයි, ලියපු එකත් මැකුව නේ " කියල. ඔය වෙලාවට නම් ඉතින් කියන්න ඕනේ ඒවා මතක වෙන්නෙත් නෑ.

කොහොමහරි කමක් නෑ සැහෙන කාලෙකට පස්සේ මාත් ඔන්න ලියන්න ආවා. රංග අය්යත් සෙන්චරිය ගහල ඉන්න වෙලාවේ හරි නැනේ මොකවත් නොලිව්වොත්. මම නම් ඉතින් ළමයෙක් ගේ කතාවක් නිසා සැහෙන්න දුක් වෙලා ලියන එකත් එපා වෙලා හිටියේ. දැන් ඉතින් ළමය වැඳලා සමත්ව අරගෙන තියෙන්නේ. ඒත් ඉතින් රිදුනු හිත සනීප වෙන්න නම් තව ටික දවසක් යාවී. එහෙම කියල නොලිය ඉන්නත් බැනේ.

හරි හමන් කතාවක් මතක වෙන්නෙත් නෑ ලියන්න. ඒ නිසා අදට මෙතනින් නවතිනවා. මට දැන් පොඩි කතාවක් මතක් වෙනවා වගේ, ඔන්න ඒක හෙටම ලියනවා. 

Wednesday 12 January 2011

෴ගුරු සිත නොරිදවා෴

ගුරු සිත රිදී
කවි සිත මැකී
ගලා යන සිහින් කඳුළු බිදුවක්
බොඳ කරවීය
දුටු ගුරු සිසු සිහින...

ලකුණකි දෙකකි
එය මුළු ලකුනටද නොදැනේ...
එහෙත් එය වටී
නුඹට
ගුරු සිතට වඩා...

දුටිමි සිහින
කප්පරක්...
අද එයද බොදවී...
ලෙන්ගතු නැති සිසු කැළ
පමණක් ඇත ඉතිරිවී......

Monday 10 January 2011

මවුනි දයාබර...

නේක වදනින්
ඔබව රිදවා
සතුටු වන්නට නොසිතුවෙමි
මම...
නමුදු...
ඔබේම ලෙයින් උපන්
මා හට
සමාව හිමි බව
තිර නිසාවෙන්
සිත නිදහස් කරගත
යුතු නිසාවෙන්....

ඔයා මැරි කරලද?

මේක උනේ අද මම බස් එකක් එනතුරු ඩුප්ලිකේෂන් පාරේ හිටගෙන් ඉන්නකොට. මම වැඩකට බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගොඩ වැදී ආපහු ගෙදර එන්න 112 බසයක් එනතුරු හිටියා. මම ඉතින් පදිංචිය නුගේගොඩ පැත්තේ නොවැ. ඒ නිසා 112 ක් එනකන් කට්ට කන එක ලේසියි වෙන බස් ගන්නවට වඩා. ඔහොම ඉතින් කට්ට කකා ඉන්න කොට ඔතනට ආපු තවත් හාදයෙක් මගේ දිහා බලල හොඳට අදුනනව වගේ හිනා පානවා. මාත් බැලුව කවුද බොල මේ කියලා. දැකල පුරුදු ගතියක් වත් නෑ.

ටික වෙලාවකින් මෙන්න මේ මනුස්සය මගේ පැත්තට එනවා. මාත් අහක බලාගන්න හදනකොටම, 'ඔයා බණ්ඩාරවෙල නේද?" කියල ඇහුව. මට හිතුනා යන්තම් හරි මාව දන්න මනුස්සයෙක් වෙන්න ඇති කියල. මං කිව්වා ඔව් කියල. ඉස්කෝලේ නමත් කියල ඇහුවා, මං ඒකටත් ඔව් කීවා. මටත් ඉතින් කට වහගෙන ඉන්න බෑනේ. මාත් ඇහුවා "ඔයා බණ්ඩාරවෙලද? මං නම් දැකල නෑ කියල. " "මිනිහ කිව්වා ඔව් කියල. මාත් ඉතින් එක අහගෙන සද්ද නැතුව ඉන්න යන කොට මගෙන් මෙයා සැහෙන ප්‍රශ්න අහනවා. ඉන්ටර්විව් එකක් වගේ. මේ කොහෙද යන්නේ? මෙහෙ මොකද කරන්නේ? වගේ රටේ නැති ඒවා. මාත් ඉතින් වචනෙන් දෙකෙන් උත්තර දීල බේරෙන්න හදන කොට, මෙයා නවත්තන්නේ ම නෑ..

ඔහොම ටික වෙලාවක් යද්දී මේ මිනිහ අහනවා "ඔයා මැරි කරලද?" කියල. මං කිව්වා "ඔව් මේ අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ කියල. මේක කිව්වා විතරයි මිනිහ ටිකක් එහාට වෙලා ෆෝන් එකත් සාක්කුවෙන් එලියට  අරගෙන කෝල් එකක් ඩයල් කරලා කනේ ගහ ගත්තා. මට කතා කරේ නැති ගානට පැත්තකට වෙලා.

එතකොටනේ මට තේරුනේ මිනිහා මොකටද ආවේ කියල. :) හොඳ වෙලාවට බේරුනේ.

Friday 7 January 2011

අර තියෙන්නේ අපේ ගෙදර!

මේකත් ඉතින් මං කරපු වික්‍රමයක් තමයි. මේක මං ගිය මොන්ටිසොරියේදී වෙච්ච කතාවක්. මාව අනෙක් ළමයින්ට වඩා අවුරුද්දක් කලින් මොන්ටිසෝරි දැම්මා තාත්තාට මාව තනියම බල ගන්න බෑ කියල. එතකොට මොකක්හරි හේතුවක් හින්ද අම්මා කොළඹ ඇවිත් හිටියේ මල්ලිත් එක්ක. මමයි තාත්තයි බණ්ඩාරවෙල හිටියේ. එහෙම ඉඳලත් මොන්ටිසෝරි යන්න බෑ කියල සෙල්ලම් දාපු නිසා වැඩි දවසක් යන්න කලින් මාව එහෙං අස් කරගෙන ඇවිත් කොළඹ මොන්ටිසොරියකට දැම්ම. මං ඉතින් මොන්ටිසෝරි දෙකකට ගිහින් තියෙනවා.

ඉතින් ඔය බණ්ඩාරවෙල මොන්ටිසෝරියේ ඉන්නකොට ළමයි එකතු උනාම විස්තර අහනව ගෙදර විස්තර එහෙම. පොඩි කියල වෙනසක් නෑ. මගෙනුත් ඔහොම ප්‍රශ්න ගොඩක් අහල අන්තිමට අහන්නේ ගෙදර කොහෙද කියලා. ඒ දවස් වල නමකින් තැනක් කියන්න දන්නේ නෑනේ. මං ඉතින් කියන්නේ මෙතනින් පාර දිගේ ගිහිල්ලා මේ කන්ද නැගල ඊළඟ කන්ද බැහැලා එතනින් එන පාරෙන් හැරිලා යන්න තියෙන්නේ කියල. ඕක ඉතින් හැමෝටම කියන්න ගියාම වාතයක් වෙනවානේ. ටික දවසක් යනකොට මට ඒක කියන එක එපා උනා.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කොහෙද ඔයාලගේ ගෙදර තියෙන්නේ " කියල. මං ටක් ගාලා අත දිගෑරල "අර තියෙන්නේ අපේ ගෙදර කියල" මොන්ටිසොරිය ඉස්සරහ තිබ්බ ගෙදරක් පෙන්නුවා.
ඊටපස්සේ දවසක අම්ම ගෙදර ආවම මං අම්මට   ' අම්මේ අර ළමය ඇහුවා නේ අපේ ගෙදර කොහෙද කියලා , මං පෙන්නුවා ඉස්සරහ ගෙදර කියල" කියල කිව්වා. අම්ම අර කියපු ලමයව දන්නවා, එයාගේ අම්මයි තාත්තයි අපේ අම්මගේ යාලුවෝ.
අම්මා මගේ කතාව අහගෙන ඉඳල ඒක පාරටම කිව්වේ "ඔයා පෙන්නලා තියෙන්නේ ඒ ළමයාගේම ගෙදර නේ."
එදයින් පස්සේ කවුරුහරි ගෙදර තියෙන තැන ඇහුවම මං කිව්වේ "ඒක තියෙන්නේ ගොඩාක් දුර කියල " විතරයි.

Thursday 6 January 2011

හැඟුම්.......

සත් වසකට පෙර ඇරඹි 
අප පාසල් ප්‍රේමය...
බාදක වැට කඩොලු,
සුන්දර මතක අතරින් 
ගලා ගිය අපේ ලෝකය...
අද..
නැවතී සොඳුරු මංසලක
අලුත් පැතුමන් හා එක්ව  ..
ඉබි ගමනින් යන කාලය 
රන් හුයෙන් අප බැදෙන 
දින තෙක් 
නොඉවසිල්ලෙන් මහද පුරවයි...

අපිට තේ දෙන්න!

මෙච්චර දවස් මං මල්ලිට වෙච්ච කතායි එය කියපු කරපු එවයි කිව්වා නේ. ඔය වගේම කතා සෙට් එකක් තියෙනවා මටත්. ඒවා ඉතින් වැඩිය කතා වෙන්නේ නෑ. මං ගෙදර ලොක්ක නේ.

දැන් වගේ නෙවෙයි ඉස්සර පොඩි කාලේ මගේ වැඩේ කියවන එකලු. තනියම ඉන්නකොටත් කතා කර කරලු ඉන්නේ. දැන් නම් එච්චර කතා කරන්නේ නෑ. ලියන එක තමා වැඩිපුර කරන්නේ. පොඩි මගේ කතා හින්ද අපේ අම්මටයි තාත්තාටයි වෙච්ච ඇබැද්දි ටිකක් තමයි මේ.

කතාව 1:

අම්මයි තාත්තයි දවසක් මාත් එක්ක කොහෙද ගමනක් යන කොට, තේ බොන්න කියල නැවත්තුවලු. තේ බොන්න කලින් මොනවහරි කන්නත් ගන්නවනේ. ඉතින් තාත්තා මගෙන් ඇහුවලු "මොනවාද පුතේ ඕනේ?" කියල.  මං ගත්තු කටටම හයියෙන් කෑගහල කිව්වලු "තාත්තේ මට අර උඩ තියෙන fan එක ඕනේ" කියල. කඩේ හිටිය හැමෝම හිනාවෙන්න ගත්තලු. අම්මයි තාත්තයි වැඩි වයසකත් නෙමෙයි ඉඳල තියෙන්නේ. ලැජ්ජාවේ පන ගියාලු. කොහොමහරි හරි අමරුවෙන්ලු ශේප් කරගෙන එලියට අරන් ඇවිත් තියෙන්නේ.


කතාව 2. 

මේකත් ඉතින් මගේ කට ගැන තමා. අම්මයි තාත්තයි දවසක් මාව එක්කරගෙන තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු. යනකොට බිස්කට් එහෙම අරගෙන යනවනේ. ඉතින් ඔහොම අරගෙන ගිහින් තාත්තයි අම්මයි අර ගෙදර කට්ටියත් එක්ක බර කතාවක් ලු. ටික වෙලාවක් මං ඕක දිහා බලාගෙන ඉඳල කිව්වලු "අර බිස්කට් එක කඩල අපිට දීලා බොන්න මොනවහරි එහෙම ගෙන්න" කිව්වලු. අම්මටයි තාත්තටයි පොලොව පලාගෙන යන්න හිතුනලු. ඊටපස්සේ කොහොමහරි මාව එලියට එක්කරගෙන යන එක සැහෙන්න අඩු කරාලු.

Wednesday 5 January 2011

මල්ලියි මමයි....

ලියන්න දෙයක් නෑ කියලා උඩ බලාගෙන ඉන්න කොට තමා රංග අය්යාගේ අපේ නංගි පෝස්ට් එක කියෙව්වේ. මටත් මතක උනා මල්ලිටයි මටයි වෙච්ච ඇබැද්දියක්. මේක උනේ අපි තංගල්ලට ගිය අලුත. එතකොට මට අවුරුදු  8 ක් විතර ඇති මල්ලිට අවුරුදු 5 යි. එහෙ ගෙදරට ගිය අලුත වැඩිය බඩු තිබුනෙත් නෑ. අපිට ඕන හැටියේ දඟලන්න පුළුවන්.

අපිට හම්බවෙච්ච තව අලුත් දෙයක් තමයි ජනෙල වල ගහල තිබ්බ දැල්. අපි හිටපු බණ්ඩාරවෙල ගෙදර ඕව තිබුනේ නෑ. ඒ මදිවට එළියේ බිත්තියකුත් තිබ්බා හිල් හිල් තියෙන. (අනේ මන්ද ඒවාට මොනවා කියනවද කියල). කොහොමහරි ඕව දැක්කම මට මතක වෙච්ච් පලවෙනි දේ තමයි ඕවයේ නගින්න පුළුවන් නේද කියල. ඒ දවස් වල උඩවල් වල නගින පිස්සුවම තමා තිබ්බේ. හැබැයි හොරෙන් තමයි කලේ. දන්නවනේ කන්න වෙනවා කියල. ගේ ලගම තිබ්බ, කරපිංචා ගහක නගින්න ගිහිල්ල, එකේ පොඩි ගැට්ටක අඳුම පැටලිලා, කවුරුහරි එනකන් එල්ලිලා හිටපු දවසුත් තිබ්බා.

මේ කියන්න යන කතාව උනේ ජනේලේ ග්‍රිල් වල නගින්න ගිහින්. ඒ ගෙදර තිබ්බේ නිකන්ම මෝස්‌තර නැති කොටු කොටු ග්‍රිල්. ඒ නිසා නගින්න ලේසියි. දවසක් අම්මා අපි දෙන්නට දවාලේ බත් කව කවා හිටියා.  ඒ හිටපු  කාමරේ ඉඳං කුස්සියට ටිකක් යන්න ඕනේ. අම්ම වතුර ගේන්න එහෙම කුස්සියට යනකොට මන් කරන්නේ ජනේලේ දිගේ උඩට නගිනවා. අම්මා එන සද්දෙට ටක් ගාලා බහිනවා. ඕක බලන් ඉඳල මල්ලිත් නගින්න පටන් ගත්තා. අම්මා එනකොට දෙන්නම බහිනවා. අම්මා කොහොමහරි අපි දෙන්නටම කවලා, කෙහෙල් ගෙඩි අරන් එන්න ගිය අතරේ අපි ආපහු නැග්ගා. නැගල අම්ම එනවා ඇහෙනකොට මං බැස්සා, මල්ලිට කලබලේට බහින්න බැරි උනා. කොහොමහරි අම්ම එනකොටම එයා ජනේලෙන් ඇඳට වැටුනා.
ඇඳට වැටිලා මිනිහා දැන් නැගිටින්නේ නෑ. අම්මා බයවෙලා කෑගහනවා. මං කිව්වා 'නෑ එයා ඔය හිනා වේවි ඉන්නවා' කියලා. පස්සේ බැරිම තැන හරවලා බලනකොට වැටිච්ච වේගෙට එයාගේ අත වැලමිටින් කැඩිලා. එයා හොඳටම අඬනවා. අම්මා මට බනිනවා. ඒ අස්සේ තාත්තාත් ගෙදර නෑ මාතර ගිහිල්ලා. කොහොමහරි එයාවත් ගෙන්නවලා මෙයාව මාතර ඉස්පිරිතාලෙට ඇතුළු කරා. ඒ මදිවට මල්ලිට වෙන රෝගි තත්වයන් තිබ්බා. දැන් ඉස්පිරිතාලෙන් ඉල්ලනවා ඒ වාර්තා. ඒවා තිබුනේ බණ්ඩාරවෙල. ඊටපස්සේ අම්මයි මමයි රියදුරෙක් එක්ක රෑම බණ්ඩාරවෙල ගිහින් අර වෛද්‍ය වාර්තා ටික අරගෙන් අනෙත් පැත්තට මාතර ආවා. එවෙලේ ප්ලාස්ටර් එකක් එහෙම අතට දැම්මට පස්සේ සැහෙන කාලයක් වෙදගම බඩගෑව.

ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැග්ගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.

Monday 3 January 2011

මිස් ප්‍රින්සිපල්ද?

නත්තල් නිවාඩුවෙන් පස්සේ අලුත් අවුරුද්දේ ඉස්කෝලේ පටන් ගත්තේ අද. ළමයි බුලත් අරගෙන මුළු ඉස්කෝලේ පුරා ඇවිදිනවා. උසස් පෙළ හැර අනෙක් පන්ති වල වැඩක් නොකෙරුණ තරම්. මමත් අද වෙනදට වඩා පොඩ්ඩක් කලින් ඉස්කෝලේ ගියා. පලවෙනි දවස නිසා හොඳ නැනේ බෙල් ඒක ගහනකොට යන්න.

ඉස්සෙල්ලාම ගිහින් කිව්වා, මං 11 වසර පන්තිය කරන්න කැමතියි කියල. එකේ කතාව මං කලින් දවසක කිව්වනේ. එතකොට ඒ කාලසටහන් බාරව ඉන්න කෙනා කියනවා " ඔයා ඉතින් එදා ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඒක බාරගත්තා නම් ඉවරනේ" කියල. මාත් ඉතින් හිනා වෙලා නිකන් හිටියා.

ඔන්න ඉතින් දවස කොහොමහරි ගෙවුන. දැන් තමයි ඉතින් වැදගත්ම කතාව කියන්න යන්නේ.
විවේක කාලයෙන් පස්සේ මට තිබ්බේ උසස් පෙළ පන්තියක්. ඒකේ මම උගන්වමින් ඉන්නකොට පාට ඇඳුමකින් සැරසුණු දැරිවියක් පන්තියට ආවා.  මම හිතුවා පන්තියේ ළමයෙකුට පණිවිඩයක් කියන්න කියල. බලනකොට මට කතා කරන්න. මාත් බැලුවා මේ මොකද කියල.

ළමයා: මිස් ද character certificate ලියන්නේ?
මම: නෑ
ළමයා: මිස් ජනනි මිස් නේද?
මම: ඔව්
ළමයා: ආ එහෙනං මිස් තමයි ලියන්නේ.
මම: ඇත්තද? මම දැනගෙන හිටියේ නැනේ. කවුද කිව්වේ?
ළමයා:________________මිස් තමයි කිව්වේ.

බලනකොට ඒ ලමයව එවල තියෙන්නේ මට එදා ඔලුව අත ගාල හීන ටොක්කක් දීපු මිස්.
මොනවා කරන්නද මං ඉතින් ලියන්න බාර ගත්තා.

මන් ඔය කතාව ගිහිල්ල ගුරු කාමරේදී අපේ කට්ටියට කිව්වා. එතකොට මගේ යාලුවෙක් අනාගතේදී මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් කියල කෙටි සංවාදයක් රග දක්වල පෙන්නුවා.

ළමයා: මිස් ජනනි මිස්ද?
මම: ඔව්
ළමයා: ආ මිස් තමයි දැන් ප්‍රින්සිපල්!
මම: ඇත්තද?

මේ දවස් වල මට ලැබෙන තනතුරු හැටියට ඒක හම්බුනත් පුදුම වෙන්නේ නෑ. හපොයි මට වෙච්ච දෙයක්!

Sunday 2 January 2011

හනිමූන් එකේ රස...

මේක ඔන්න මට වෙච්ච දෙයක් නෙවෙයි. මේ දවස් වල එයාගේ මගුල් ගෙදරට ලෑස්ති වෙන යාලුවෙකුට වෙච්ච් කතාවක්. එයාගෙන් අවසර එහෙම අරගෙන තමයි මේ බය නැතුව ලියන්නේ. මේ යාළුවා හිටියේ එයාගේ අය්යලගේ ගෙදර. අය්යා නම් බැඳලා දරුවෙක් එහෙමත් ඉන්නවා. අය්යට ඉන්නේ 7 වසරේ ඉගෙනගන්න පොඩි දුවෙක්.

යාළුවාගේ මගුල් ගෙදර තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසවල. ඒ නිසා දැන් ඉඳන්ම ඒ ගෙදර සාකච්චා පවත්වනවලු තියෙන තැන, ඇඳුම්, සහ ශාලාව සරසන විදිය එහෙම ගැන. යාළුවා කොල්ලෙක්, එක කියල ඉන්න එපයි. කොල්ලගේ පාර්ශවයට නේ ඉතින් ඔය හනිමූන් යන තැන ගැන එහෙම තීරණය කරන්න තියෙන්නේ. අර අස්සේ ඕව ගැනත් කතා වෙනවලු. යාළුවා ඉතින් ඔය පොත් එහෙම අරගෙන එකේ තිබුණු 'chocolate fountain' එකක් ගැන එහෙම හරි උනන්දු වෙන හිටියලු.

කොහොමහරි දවසක් අර පොඩි දුව, යාළුවා ලඟට කිට්ටු වෙලා අහනවලු

 "බාප්පේ, ඔය හනිමූන් කියන්නේ රස දෙයක්ද?"
දැන් කොල්ලට කට උත්තර නෑලු. පොඩ්ඩක් හිනා වෙලා මෙයා ඇහුවලු
"ඇයි පුතේ එහෙම අහන්නේ?" කියලා.
" නෑ අපි decorations වලට  chocolate fountain එකයි  honeymoon එකයි දෙකම තියමු කියල."

Saturday 1 January 2011

ජයග්‍රාහකයා නම් කරන ලදී...

විනිසුරුවරුන් පැය ගානකට පසුව ඉතා වෙහෙස මහන්සි වී ජයග්‍රාහකයා පිළිබඳව තීන්දුවකට පැමිණ ඇත. ඔවුන්ගේ තීරණයට අනුව තරගයේ ජයග්‍රාහකයා  වන්නේ දෙසැම්බර් මාසය පුරාවට පොස්ට් 59 ලියු ජනනිය. රංග ලියා ඇත්තේ පොස්ට් 57 ක පමණි.

මේ පිළිබඳව අදහස් දක්වන රංග කියා සිටින්නේ "ජනනිට මගේ සුභ පැතුම්! ඒ උනාට මං පැරදුනේ නෑ. මං අනු ශුරතාවය දිනාගත්තා" 

මෙම තරගයේ අනු ශුරතාවයක් ලබා දෙන්නේද යන්න විනිසුරු මඩුල්ල යථා කාලයේදී තීරණය කරනු ඇත. 

අප මහජනතාවගෙන් තරගය පිලිබදව අදහස් විමසු විට ඔවුන් තම අදහස් ප්‍රකාශ කලේ මෙසේය. 

වයර් මාරුවූ තාක්ෂණික බ්ලොග් ලියන්නෙක්

මල කෝලං! ඕය වගේ තරග හොනද්යි වැඩ නැති අයට. මම නම් අවුරුද්දට 50 ක්‌ වත් ලිව්වේ නෑ.

නිතරම හිනාවෙන්නට අඩගහන බ්ලොග් ලියන්නෙක්

ඔය තරගේ නිසා අපිට තමයි මල වාතෙ... ඇයි ඉතින්  එකක් කියවලා ඉවර වෙලා වැඩක් කරන්න හදනකොට රීඩර් එක අළුත් වෙලා.. ආයෙ යන්න ඕන කියවන්න.... මීට පස්සෙ ඔය දෙන්න දවසකට එකකට වඩා වැඩියෙන් ලියලා තිබුනොත් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න තමයි හිතාගෙන ඉන්නේ...

තනිකමට බ්ලොග් ලියන්නෙක්

මමත් ඒක තමයි පහු ගිය කාලේ බැලුවේ, කියව ගන්න බැරි තරමට පොස්ට් දානවනේ
පූසන් සමාගමේ බ්ලොග්ලියන්නෙක්

දෙන්නාටම අපේ සුභ පැතුම්! අපේ නං වාර්තාව මාසෙට 20 යි. මේ දෙන්නා දවස් 3 න් එක කැඩුවනේ

සිතේ කල්පනාවන් ලියන බ්ලොග් ලියන්නෙක්

මොනවා නැතත් දෙන්නටම සුබ පතනවා! අර කලින් කිව්වා වාගේ අපට තමයි කරදරේ ඇයි එකක් කියවලා ඉවර වෙද්දී තව එකක් දානවනේ

කෙසේ හෝ ජයග්‍රාහීකාවගෙන් අදහස් විමසීමට අප ගත් උත්සාහය නිෂ්පල විය. ඇය බ්ලොගොරියාවට බෙහෙත් ගන්නට රෝහලට ගොස් සිටියාය. මෙය ලියන වේලාව වන තුරුත් ඇය පැමිණ සිටියේ නැත. රෝහලෙන් කල විමසුමකදී අපට දැනගන්නට ලැබුනේ ඇයගේ රෝගය උත්සන්න වී ඇති බැවින් නේවාසික ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි. 

අලුත් අවුරුද්දේ වාර්තාවක්‌!

අලුත් අවුරුද්දේ මුලින්ම කියන්නේ දෙසැම්බර් මාසයේ  නවක බ්ලොග් ලියන්නන් දෙදෙනෙක් අතර තිබු නිල නොලත් තරඟයක ගැනයි. ළඟදී බ්ලොග් ලියන්නට පටන් ගෙන බ්ලොගොරියාව හදාගත් ජනනී හා රයිස් කුකරයක්‌ නිසා බ්ලොග් ලියන්නට ආ රංග අතර "මාසයකට ලියු වැඩිම පොස්ට් ගණන" වාර්තාව සදහා පැවති නිල නොලත් තරගයේ ප්‍රථිපල ලබා දීම තව සුළු මොහොතකින් සිදු කෙරේ. ඒ සදහා විනිසුරු මඩුල්ලේ හොඳම
ගණිතඥයෝ දෙදෙනාගේ පොස්ට් ගණන් කරමින් පවතී.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ තරගකරුවන් නිල වශයෙන් තමා තරගයේ යෙදෙන බව නිල වශයෙන් ප්‍රකාශ නොකිරීමයි. එබැවින් තරගය ආරම්භ වූ දිනයක් නොමැති අතර අවසාන වුයේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේය.