Google+ Followers

Friday, 31 December 2010

ආයුබෝවන් 2010 welcome 2011

2010 ගෙවී යමින් පවතී. අලුත් වසර උදවෙන්නට ඇත්තේ තව පැය කිහිපයක් පමණි. ඊට කලින් පරණ වසර ගැන ලියා අතීතාවර්ජනයක් කරන්නට මට සිතුනි. 2010 මුල් වකවානුවේ මට සුන්දර මතක නැති තරම්ය. වෙන තරමක් දේවල් උනේ මගේ කරුමෙටය.

හොඳින් කල්පනා කල විට මට මා දුරකථනය මිලදී ගත් බව මතක් වේ. එයනම් දැන් සැහෙන්න පරණ පාටය. දුටු කෙනෙකු සිතන්නේ අරගෙන අවුරුදු ගානක් ගතවී ඇත කියාය. කෙසේ වෙතත් මතක් කර බැලු විට මාස 7 කි. වැඩි කලක් නැත.

ඊට පසු මතක් වන්නේ මා එවක සේවය කල ජාත්‍යන්තර පාසලේ දෙවන වාරයේදී, වාරයටම නිවාඩු 3 ක් ගත් බැවින් දින 4 ක් බැනුම් අසන්නට වූ සැටිය. එය නම් මට කිසිදා අමතක නොවන සිද්දියකි.

ඉන්පසුව සැප්තැම්බරයේ ඇරඹි නව වාරයේ මම එහි ගණිත ගුරුතුමියට අමතරව සිංහල ගුරුත්මියද, බුද්ධාගම ගුරුතුමියද, සහ තව බොහෝ විෂය භාර ගුරුතුමියක වීමී. ඒ අතුරින් ගණිතය හැර අනෙක් බොහෝ විෂයන් මාද දැන සිටියේ අල්ප වශයෙනි. කෙසේ හෝ මා ඒවා ඉගැන්නුවෙමි. උගන්නට ගොස් ඇන ගත් වාරද ඇත.

ඔය කාලයේ මගේ පෙර පිනකට ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වූ තරග විභාගය මා සමත්ව, එයින් පසු පැවැත්වූ සම්මුඛ පරීක්ෂනයෙන්ද සමත්වුනෙමි. පුහුණුවකින් පසු මට දැනට උගන්වන පාසැලට පත්වීම ලැබුණි. 2010 වසරේ මට වූ හොඳම දෙය එයයි.  එයින් පසු මගේ ජීවිතය තරමක් හෝ සුන්දර විය. මුල් දවසේ මෙම පාසලට ගිය දවසේ එහි වූ ගුරු නිවාඩු ලේඛනය දැක මට ප්‍රීතියක් ඇති විය. මෙහි ගුරුවරු රිසිසේ නිවාඩු ගනිති.

දෙසැම්බර් මාසයේ මා මෙම බ්ලොගය පටන් ගතිමි. එය ගොස් ඇති දුර හැමදෙනාම ම දනී. ඒ නිසා ඒ ගැන මා කිව යුතු නැත.
වසර අවසානයට පෙර බ්ලොගයෙන් මා ගැසූ මඩ තොප්පියක් කණියා මල්ලි ඇද තම හිස මත පළන්දා  ගෙන 'කෙකිට වාරයක් නම් තිත්තයාට වාරයක් ද ඇතැයි' යයි පවසා තිබුන බවද ආරංචි විය. තිත්තයාට වාරයක් ලබන අවුරුද්දේ වත් නොලැබෙවායි  ප්‍රාර්ථනා කරමි.

ඒ කෙසේ වෙතත් ඊළඟ අවුරුද්ද එනතෙක්‌ මා ඇඟිලි ගනිමින් බලා සිටිමි. ඒවා ගැන අසා පලක් නැත. ඒවා කීමට මගේ  බලාපොරොත්තුවක්ද නැත.
අවසානයේ, මේ අවුරුද්දේ මගේ කතා කියවූ, නොකියවූ, කොමෙන්ටු දැමු නොදැමූ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභ නව වසරක් පතමි!!

වචනෙන් දෙන උදව්ව...

අපේ මල්ලි ගැන දැන් ඉතින් කට්ටිය දන්නවනේ.. දන්නේ නැති කට්ටිය මෙතනින් කියවන්න. පොඩි එකාගේ රචනාව, ටීම් ඒක,.දඹලාගේ නෑයා

මිනිහ ඉතින් මාර කම්මැලියා නේ. එයාගේ වැඩ මොකවත්ම කරගන්නේ නෑ. අම්මා තමයි ගොඩක් කරන්නේ. මාවයි, තාත්තවයිත් හොඳට කඩේ යවනවා. අපිත් එය පවු හින්ද කඩේ යනවා.

ඔන්න ඉතින් මේ ලගදී දවසක අම්මා එයාගේ කාමරේ අස් කරන්න ලැස්ති වෙලා. ලේසි නෑ එකත අස් කරන්න. දැන් අස් කරත් තව ටිකකින් බලද්දී කලින් තිබිච්ච විදියමයි. අම්මාත් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ, පොඩි එකානේ කියල අස් කරනවා. හැබැයි පොඩ්ඩක් මල්ලි එකට උදවු කරන්නේ නම නෑ. එය කරන්නේ ඒ වෙලාවට කාමරෙන් එලියට යන ඒක විතරයි.

මේ ළඟදිත් ඕක කරන්න යනකොට මන් විහිළු කරා "මොනවාද හලෝ! ගිහින් උදව කරනවකෝ" කියල. දැන් ඉතින් මෙය හිටපු තැනින් නැගිටලා ගියා. මාත් හිතුවා අද නං වහී කියල.

ටික වෙලාවකින් මට ඇහෙනවා මෙයා අම්මාට කියනවා
"අම්මේ මේ වචනෙකින් කරන්න පුළුවන් උදව්වක් තියෙනවනං කියන්නකෝ" කියල.....

හීං ටොක්ක

අද ඉතින් අවුරුද්දේ අන්තිම දවසනේ. ඉස්කෝලේ පටන් ගන්න කලින් තියෙන අන්තිම සතියේ දවස. ඒ නිසාම ඉස්කෝලෙන් දාලා තිබ්බා ගුරු හමුවක්. ඔන්න ඉතින් ගුරු හමුවේදී අපේ අලුත් විදුහල්පතිනිය එහෙම කතා කරා.ගුරු හමුව අවසානයේ අපි ඉතින් ගුරු වරුත් එක්ක කතා කරන්න එහෙම ගියා.

කලින් වාරේ ඉවර වෙන දවසේ මට එවල තිබුන සාමාන්‍ය පෙළ ගණිතය කරන්න කියල දන්වල එවල තිබ්බා. අපි ඉතින් අලුතෙන් ගිය උසස් පෙළ ගුරුවරුනේ. උපාධියත් කරලා, ඊටපස්සේ ආණ්ඩුවෙන් තිබ්බ විභාගෙත් පාස් කරලා, සම්මුඛ පරීක්ෂණ වලට එහෙම පෙනී හිටලා හම්බෙච්ච රස්සාවනේ. අපිටත් ඉතින් උණ. මං ඉතින් අරගල කරා මට සාමාන්‍ය පෙළ පන්ති වලට උගන්න බෑ කියල. අපේ අංශ භාර ගුරුතුමීත් මට සපෝර්ට් එකට කාර්යභාර නියෝජ්‍ය විදුහල්පති ගාවට ගිහින් මේ කතන්දරේ කිව්වා. එයා ඉතින් පොරොන්දු උනා එක ගැන හොයල බලලා මොකක් හරි කරන්න. ඒ කතාව එතනින් ඉවරයි.

අපේ සහකාර විදුහල්පතිතුමියක් ඉන්නවා, මගේ විෂයම උගන්වන. එය තමයි මාව මේ ඉස්කෝලෙට අරගෙන උගන්වන ඒවා ගැන එහෙම මට ගුරු හැරු කම දෙන්නේ.

අද ඉතින් මං ගියා එතුමියවත් හම්බෙන්න. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කතාව හැරුන වෙනම පැත්තකට.

මිස්:- දැන් ඔයාට වෙන පන්ති එහෙම දීල නැද්ද?
මම: 11 වසර දීලා තියෙනවනේ
මිස්:- ඒක හොඳයි. ඔයාට දෙන ඒවා බාරගෙන කරන්න ඕනේ. මං මුලින්ම ගියාම රසායන විද්‍යාවත් කරා. 8 වසර ගණිතයත් කරා. ඒවා ඉතින් හරි ප්‍රයෝජනයි.
මං ඉතින් ඔලුව වන වනා අහගෙන ඉන්නවා.
මිස්:- ඔයාව අනික අපි කොච්චර අමාරුවෙන්ද මේ ඉස්කෝලෙට ගත්තේ කරන පීරියඩ් ගැන අඩුයි කියල මාරු කරොත් එහෙම. එකයි මං ඔයාව 11 ට දාන්න කිව්වේ. ඔය ඉතින් එහෙ කලර්ස් පෙන්නන්න.

මං ඉතින් තව ටිකක් ඔලුව වනල හොඳයි කියල ආවා.මං කොයි වෙලාවෙවත් මේ මිස්ට කියල තිබුනේ නෑ මට 11 වසර කරන්න බෑ කියල. කවුරු හරි කියල මගේ අරගලේ ගැන.
මං ඉතින් හිතා ගත්තා ඔන්න ඔහේ කරන්න. :)

Thursday, 30 December 2010

අනේ අපෙනුත් ඉන්ටවිව් එකක් ගන්නකො!

ඔන්න ඉතින් අද දවාලේ මං නිවාඩු පාඩුවේ අහිංසක විදියට බ්ලොගයකුත් කියවමින් ඉන්න වෙලාවක, ඒක පාරටම ආවේ නැද්ද චැට් පණිවිඩයක්. අර ජී මේල් චැට් ඒකෙන්. බලනකොට ප්‍රසිද්ධ බ්ලොග් ලියන්නෙක්. කාලයක් තාක්ෂණික බ්ලොග් ලියන්නෙක් විදියට ඉඳල දැන් මේ වයර් එකක් මාරු වෙලා මේ දවස් වල කතන්දර ලියන කෙනෙක්.  ළඟදී දවසක තමන්ගේ බ්ලොගයෙන් කීයක්‌ හරි හොයන්න මහන්සි වෙන මල්ලිලාට එහෙමත් පොඩ්ඩක් තදින් කතා කරලා තිබ්බා.  චැට් ඒක දැක්කම මාත්  කල්පනා කරා මොකද මේ හදිස්සියේ කියල.

ටික වෙලාවක් යනකොට නේ කථාව තේරුනේ. ඔන්න ඉතින් සිදුවූ කතා බහ මෙසේය.


****: ඒක නෙමේ
පත්තරේට මං ගැන දාන්න බැයිද :D
මම: අපෝ පත්තරවලට ඔය හැමෝගෙම ගැන දාන්නේ නෑ. 
***: ආ එහෙමද? ඉන්නවකෝ
මම: ඔව් එහෙමයි. ඇයි වලිද? 
***: කවදා හරි අපි ගැනත් ලියයි. එදාට බලාගමු 
මම :හා බලාගමු.
***: අයින්ස්ටයින් වත් මුලිංඉස්කෝලෙං පැන්නුවලු
මම:  ඒ අයින්ස්ටයින් නේ. අනික ඔයාව පොඩි කාලේ ඉස්කෝලෙන් පැන්නුවේ නෑ නේ. පැන්නුව නම් ලියන්නවත් තිබ්බ. 
***: මාත් අයින්ස්ටයින් වගේ උන දාට එනවකෝ මගෙං ඉන්ටවිව් ඉල්ලං.දෙන්නැ 
මම: අපෝ එපා.
***: දෙන්නෙත් නැ 
ඔන්න ඔහොමයි කථාව ඉතින්. පවු නේ කියන්නේ නෑ ඉතින් මෙහෙම කිවූ කෙනා. ඔය ගොල්ලෝ හිතා ගන්න,.:D කරුණාවෙන් සලකන්න. මෙය ඔරිජිනල් චැට් එකම නොවේ. එඩිට් කරන ලද්දකි. අදාල පුද්ගලයාගේ ඉල්ලීම පරිදි අවසාන සටහන තබනු ලැබේ.

මාර්ග සංඥා

මේ සිද්ධිය උනේ මං පත්තර මහා ගෙදර ඉන්න කාලේ. අපේ කතෘ තුමියට අදහසක් පහල උනා, අපි අවට තියෙන දේවල් ක්‍රියා කරන ආකාරය ගැන සීරිස්‌ එකක් කරන්න. ඔය තොප්පිය ඉතින් පාවෙලා පාවෙලා ගිහින් වැටුනේ මට. දැන් මමත් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොනවා ගැන ලියන්නද කියල. අපේ තාත්තා වැඩ කරන්නේ මාර්ග පිලිබඳ කටයුතු කරන අධිකාරියක. ඉතින් තාත්තාගේ යටතේ තමයි ඔය මාර්ග සංඥා එහෙම තිබ්බේ. ඉතින් මං ලේසියටත් එක්ක හිතුවා, ඒවා ක්‍රියා කරන හැටි ලියනවා කියල. ගෙදර ඉඳන්ම ලියන්න පුළුවන්නේ.

දැන් ඉතින් මං විස්තර හොයාගෙන ලිපිය ලියනකොට තාත්තා කිව්වා, අපිට විතරක් නෙවෙයි කොළඹ නගර සභාවටත් අයිති ටිකක් තියෙනවා. මෙන්න මේ නොම්බරෙන් අහවලාට කතා කරලා විස්තර දැනගන්න කියල. 
මං ඉතින් ඔන්න ඔය අහවලාට කතා කර.

මම: මං මේ අහවල් පත්තරෙන් කතා කරන්නේ. ඔය අහවලාද කතා කරන්නේ?
අහවලා: ඔව් මම තමයි. 
මම: මට mr. ගේ නොම්බරේ දුන්නේ අහවල් අධිකාරියේ mr......,මම ලිපියක් කරනවා මාර්ග සංඥා ගැන. මම අධිකාරියෙනුත් විස්තර ගත්තා, මට තව විස්තර ටිකක් ගන්න ඕනේ.
අහවලා: දෙන්නම්. මොනවාද දැන ගන්න ඕනේ.

දැන් අහවලා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන ගමන්, අපෝ අධිකාරියේ Mr....දන්නේ නෑ මොනවත්, කිය කියා මනමාල විදියට මාත් එක්ක කථාව. මාත් ඒක දැනුනේ නෑ වගේ ප්‍රශ්න අහල මට දැනගන්න ඕනේ ටික දැනගත්ත. 

මම: මේ ලිපිය මෙන්න මේ දවසේ පත්තරේ පලවෙනවා, ඊට කලින් ප්‍රශ්නයක් තිබුනොත් මම කතා කරන්නම්. 
අහවල: ඔයාගේ නමවත් කිව්වේ නැනේ.
මම:මං ජනනි අමරසේකර. 
අහවල: (හිනාවී) ඔයාට mr.......ගේ නමමනේ තියෙන්නේ. නෑයෙක්වත් ද? 
විහිළුවෙන් ඇහුවා, මාව තව ටිකක් කතාවට අල්ලගන්න. 

මම: ඔව් ඒ මගේ තාත්තා. 

මිනිහා ටික වෙලාවක් කතා කරේ නෑ. ඊටපස්සේ අමාරුවෙන් හරි එහෙනම් මං තියන්නම් කියල තිබ්බ. එතකොට මිනිහගේ කට හඬ හොදටම වෙනස් වෙලා තිබ්බා. :)



Wednesday, 29 December 2010

~~වාර්තාගත පොස්ට් පනහ පසු කරා~~

ඔන්‍න‍ ඉතින් ~ආදරණීය නවාතැන පටන් අරගෙන මාසෙකුත් ගත වෙලා. ඒ මාසෙට පොස්ට් 50 කට පොඩ්ඩක් වැඩි ගානකුත් ලිය වෙලා. ඉස්කෝලේ නිවාඩු කලේ නොවැ මටත් ඉතින් වෙන වැඩ නෑ ඉතින්. උදේ ඉඳං මේකම ලිව්වා මිසක්. නිවාඩු කාලේ වෙන වැඩක් කෙරුනෙම නැති තරං. ඊළඟ වාරෙට වාර සටහන් ලියන්න කියල පොතක් එහෙමත් ඉස්කෝලෙන් දුන්න. ඒ පොත ඇරලා බලන්නවත් බැරි උනා. ඒ තරමට බ්ලොගේ වැඩ. මේ වාර්තාගත පොස්ට් 50 පසු කරන වෙලාවේ මට තියෙනවා ලොකු වැඩක් කරන්න. ඒ තමයි මන් ලියන ඒවාට කොමෙන්ට් කරලා, මං ලියපු ඒවා කියවල  මාව ධෛර්යමත් කරපු හැමදෙනාටම ස්තුති කරන ඒක.

අවුරුදු ගානක් තිස්සේ ඉංග්‍රීසි පත්තරේකට ලියපු මට සිංහලෙන් ලියන ඒක ලොකු අභියෝගයක් උනා. ලැජ්ජයි කියන්නත්, ඒත් කාලයක් තිබ්බා සිංහලෙන් ලියන්න වුනු රාජකාරි ලිපියක් වත් ගලපාගන්න බැරුව අසරණ වුනු. ඒ තරමට මන් ඉංග්‍රීසි ලිවිල්ලට හුරු වෙලා හිටියා. හිතේ ආසාවට මේක ලියන්න පටන් ගත්තට මෙච්චර දුර එන්න පුළුවන් කියලනම් හිතුනේ නෑ. මුලින් පටන් අරගෙන දාපු ඒක පොස්ට් එකක් වත් මුණු පොතෙවත් දැම්මේ නැත්තේ, කාටවත් කියවන්න දෙයක් නෑ කියල තිබුණු වරදකාරී හැගීමෙන්. පලවෙනි කතාවත් ලියාගෙන ඔහේ ඉන්නකොට තමයි අපේ බිඟු කොමෙන්ට් එකක් දාල මට පොඩි තල්ලුවක් දුන්නේ. එදාම මම දෙවෙනි කතාවකුත් ලිව්වා. 

ඊටපස්සේ දවසක ගෙදර ප්‍රශ්නයක් නිසා මන් හොඳටම මූඩ් ගහල ඉන්න වෙලාවක තමයි අම්මයි, තාත්තයි ගැන ලියල දිගටම ලියන්න පටන් ගත්තේ. එදා ඉඳං පටන් ගත්තු ගමන අපේ රංග අය්ය කියන විදියට බ්ලොගොරියාව හැදෙනකන්ම ගියා. තාමත් සුව නෑ. 

ඉතින් වචනයක්වත් ලියා ගන්න පුලුවන්ද කියල සැකෙන් ආපු ගමන මෙච්චර දුර එන්න තරම් හයිය දුන්නේ මං ලියපු ඒවා බලපු, කොමෙන්ට් කරපු, මගේ බ්ලොග් ඒක follow කරපු ඔය හැමෝම. ඉතින් කීප දෙනෙක් නම් වශයෙන් කියනවනම්, අපේ බිඟු, කෙල්ලොන්ගෙන් සෙනසුරු අපල තියෙන රංග අයිය, මට චූටි ටීචර් කියන මධුරංග, මගේ කතා විතරක් කියවනවා කියපු , මගේ බ්ලොගයෙන් කොහොමහරි verification අයින් කරගත්තු සෝරෝ මෙය මං පොඩි කාලේ ගිය ඉස්කෝලෙට සතුරු ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ, මං ලියන ඒවාට කැමති කියපු කිවිඳි, ඉලන්දාරියා, අපේ එරන්ද, නවම් මාවත , මේ ලඟදි ඉංග්‍රීසි ලිපියක් සින්ඩියට වැටීම පළිබඳව කණගාටුවෙන් උන්නු දේදුනු, මගේ ලෝකය, ජංජාල චාමර,  දෙවෙනි , ගිටාර් කෝඩ් ගැන කියල දෙන අසංක, අපේ කණිය මල්ලි, බ්ලොග් ගඩොල්, කැම්පස් එකේ සුමුදු මල්ලි, බ්ලොග් ලෝකයේ සැරිසරන මට හම්බුනු අනෙක් ගුරුතුමිය සංජු , ජෙනි, කාලාන්තරයක් තිස්සේ මාව අඳුරන එරංග , හිඟන්නා , ලස්සන පින්තුර ගන්න අංජන , කරෙස්බ්ලොග්, කැන්ඩි, සිරකරුවා , myviththi, nihal gurusinghe , thusitha, hasitha, ravi, සිතුවිලි ,  හිස් අහස, DReeZone, dinesh, පිණි බිඳු, මහිමා,නිම්ෂා, චින්තන.   නම් කියපු අය විතරක් නෙවෙයි නන් අයුරින් උදව කරපු හැමෝටම බොහොම පින්!

කඩ ඉම

රාත්‍රිය නිහඩයි...නිසසලයි...
බියකරුවූ ලෙසින්...
ජීවනගමනේ තවත් කඩ ඉමක්‌
පසු කරන්නට ලගයි දැන්..
මියෙම්දෝ....රැකෙම්දෝ...
ඉරණමට බාරයි...
නමුත්..
දෙවිදුනේ
ඉඩ හරින්න..
තවත් කාලයක්
ජීවිතය දිගහරින්නට
ජීවිතය ජීවත් කරන්නට
යහපත් වූ ලෙසින්...

ප.ලි. මට මේ කවිය හම්බුනේ පරණ කොළ වගයක් අස්සේ තිබිලා. මට තාමත් මතකයි මං මේක ලියපු දවස. මං ප්‍රශ්නයක් නිසා හොඳටම අවුල් වෙලා හිටපු රෑක මං  මේක ලිව්වේ. මට ඒ වෙලාවේ ඕන කලේ හැමදේම දාලා ජීවිතය අවසාන කරන්න. මට ඒ තරමට දරාගන්න බැරි වුනු ප්‍රශ්නයක්. අන්තිමට කොලයක් අරන් මේ කවිය ලිව්වා. කවියේ අන්තිම හරිය වෙනකොට මං කලබලවෙලා හිටපු එක ටිකක් අඩු වෙලා හරි සිහියෙන් හිතන්න පුළුවන් මට්ටමට ආවා. දැන් තමයි තේරෙන්නේ කොච්චර මෝඩ වැඩක්ද මං කරන්න හැදුවේ කියලා.

අරුමය...

තනිව මා හිනැහෙයි,
තනිව වැළපෙයි
කිමද මේ අරුමේ..
ඇඟිලි ගනිමින් දින ගනී මා
නොඉවසිල්ලෙනි දැන්..
මවු අවුත් මා හිස සීබී
පිය අවුත් මා කඳුළු පිසලයි..
කෙලෙස මා ඉගිල යන්නද 
ඔබ හැරදා...

ප.ලි. මෙය නිකන්ම නිකන් කවි සිතුවිල්ලක් විදියට බාරගත්තොත් හොඳා!

Tuesday, 28 December 2010

නුඹට කියන වග නම්...

වාහනේ ඇතුලේ සීතලම සීතලයි. වෙනදට ඒ හීතල දරාගන්න බැරුව කෑගහන මං අද ගොළු වෙලා. උදේ ඉඳං සන්තෝසෙන් නුඹ එක්ක උඩ පැන ඇවිද්ද මං ඒක පාරටම ගොළු වෙලා. මටවත් හිත ගන්න බැරි තරමට මගේ හිත රිදිලා.විහිළුව දුර දිග ගිහින් නුඹ කෑගැසූ හැටි මට තාමත් මතක වෙනවා. කොහොම අමතක කරන්නද? හිතාගන්නවත් බැරි වෙලාවක උණු දෙයක්. "විහිලුවට නේ මං කිව්වේ, ඇයි මේ රණ්ඩු කරන්නේ?" මගේ සිත නුඹගෙන් විමසනවා. ඒත් ඒ සිතුවිල්ල වචන වලට පෙරලගන්න බැරි තරමට මගේ හිත රිදිලා. මගේ කට හඬ ඇහිලා මට තවත් දුක හිතෙවී. මං නිහඬවම ඔහේ බලාගෙන හිටියා.

දවල් කන්න යන වේලේ මට හිතුනා හිතේ දුක යනකම් ඉකි ගහ ගහා අඬන්න. ඒත් ඉතින් හිතේ හැටියට වැඩ කරන්න කොයින්ද ඉඩ. කොහොම හරි චුට්ටක් මාත් එක්ක හිනා වෙලා "මට සමා වෙන්න" කියනකොට. මට රටක් රාජ්ජයක් හම්බුනා වගේ. ඒ මං දිනුවා, නුඹ පැරදුනා කියල හිතල නම් නෙවෙයි. නුඹ මා හා අයෙත් හොඳින් කියන හැගීම හිතට ආපු නිසා. මට ගොඩක් සන්තෝස හිතුනා. එයින් පස්සේ මංහිටියේ ගොඩාක් සතුටින්. නුඹට දැනෙන්න ඇති මා වෙනදාටත් වඩා දොඩමලු උන වග.

ඒත් ඒ සතුට හරියට භුක්ති විඳින්නත් කලින් නුඹ ආයෙත් මාත් එක්ක තරහ වෙලා. අද නම් මහා අපල දවසක්. මට අද දවසට එහෙම අනන්ත වාරයක් හිතෙන්න ඇති. ලේන්සුවක් අරගෙන කඳුළු වලට හේදිලා ගිය නෙත් අදුන් පිහිදලා දැම්ම. මං මොකටද පෙන්නනේ මං ඇඩුව කියල, මගේ මුරණ්ඩු හිත මගෙන් අහනවා. දැන් ඉතින් රණ්ඩු උනා ඇති නේද? අනේ නුඹ ඇවිත් මා තුරුල කරගෙන "දැන් හැමදේම හරියි" කියනවනම්...නුඹට නොතේරෙන මගේ හිත අද රිදුනා හොඳටෝම..කවද හරි නුඹ ඒ සිත කියවනවානම් අපේ ජීවිත ඇත්තටම සුන්දර වෙවී..

ගාමිණී ඇන

මේක අපි අර ගුරු හමුවට යද්දී ලසිත අය්ය කියපු කතාවක්. ගොඩක් අය නම් මේක අහලත් ඇති. මට හිතුනා ඔන්‍න‍ අහපු නැති අයටත් එක්ක කියන්න. 

ඔන්න එකෝමත් ඒක කාලෙක දුප්පත් කොල්ලෙක් හිටියලු; තීන මේ කොල්ල දුප්පත් උනාට හරි උත්සාහවන්තයිලු. කොහොමහරි මෙය සල්ලි ටිකක් ඉතුරු කරගෙන හිතුවලු කඩයක් දැම්මොත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියල. ඉතින් දැන් ලාබ ලැබෙන කඩයක් වෙන්නත් එපයි. මෙය හිතුවලු ඇන කඩයක් දාන්න, දැන් මෙයා කඩේ එහෙම හදාගෙන පත්තරේ මෙයාගේ යාලුවෙකුට කිව්වලු "මචං මං ඇන කඩයක් දානවා. උඹ පත්තරේ ඇඩ් එකක් එහෙම දාල මට සපෝර්ට් එකක් දෙන්න" කියල. 

දැන් ඔන්න කඩේ ඇරලා සෙනග එහෙමත් ආවලු. කිසි ප්‍රශ්නයක් නැතුව කඩේ කරගෙන යනකොට ටික වෙලාවකින් මැර අය්යල ටිකක් ආවත් අපේ යාලුවට හොඳට සලකල ගියාලු. දැන් ඉතින් මෙයාට මොකද උනේ කියල හිතාගන්න බැරි උනාලු. 

පස්සේ මෙයා පත්තරේ බලනකොටලු දැක්කේ පත්තරේ දැන්වීමේ ඉන්නවලු "ජේසු තුමාට ඇන ගහල, ගැහුවොත් ගැහුවමයි ගාමිණී ඇන " කියල.

ඊටපස්සේ මෙයා අර පත්තරේ යාළුවා හොයාගෙන ගිහින් බැන්නලු, මොකක්ද බං අර අර කරේ. උඹ නිසා මගේ කඩෙත් කුඩු උනා කියලා.

ඊටපස්සේ යාළුවා කිව්වලු, ඉන්න මම හෙටත් දැන්වීමක් දාල දෙන්නම් ජේසු තුමාව පැත්තේ ගාව ගන්නේ නෑ කියල. 

ඊළඟ දවසෙත් කඩේ ඇරලා ටික වෙලාවක් යනකොට අර මැර අය්යල ටික ඇවිත් මිනිහට අයෙත් සලකල ගියාලු. 
දැන් මිනිහට මාර අප්සෙට්. මෙයා ගිහින් ගත්තලු පත්තරයක්. 
පත්තරේ තියෙනවලු, කුරුසේ පින්තුරේ විතරක්. ඊට යටින් තියෙනවලු "ගාමිණී ඇන ගැහුවනං මෙහෙම වෙන්නේ නැනේ" කියල.

Monday, 27 December 2010

~~ කවිය මම ~~

කවිය මම,
නුඹ පැතුම් මල්
බිඳ දැමු...
කවිය මම
නෑසියන් අහිමි කල,
මිතුරු දම්  බිඳ දැමු...
කවිය මම
සදාතනිකව නුඹ
ආදරය කල...


ප.ලි.: මා කවියට පෙම් බැන්දේ මා පාසල් යන කාල යෙදීය. එකල සිතේ ඇති සංකා සියල්ල කවියකින් කියා දැමීමට මා කැමති විය. මිතුරියක නිසා ඒවා පුවත් පතට දැමීමටද උනන්දු වීමි. ඉරිදා ලංකාදීපයේ ඒවා පළවුණු විටයැ මා දෙමාපියන් දැන ගත්තේ මා කිවිදියක බව. එදා පටන් මගේ ලිවීමට බාදක වැට කඩොලු බැදෙන්නට විය. එහෙත් මා කවියට ආදරය කල නිසාම ලිවීම ඇත නොහරියෙමි. මගේ පවුල මට අහිමි නොවී තිබුනේ මගේ වාසනාවටය. මා පුවත්වත් කලාවීදිනියක වූදා පටන් ඔවුන් තුල මගේ ලිවීම කෙරෙහි ඇති වූ අප්‍රසාදය බොහෝ දුරට අඩු විනි.

~ආදරණීය නුඹ~

සත් වසරක් තිස්සේ
කිසිවෙකුටත් වඩා 
බොහෝදේ ඉවසාගෙන...
ප්‍රේමය අඩු නැතුවම දී..
නුඹ මා රකී අදරින්..

සත් වසරක් තිස්සේ 
වුනු දේ බොහොමැයි..
නොවිය යුතු දෑද
අනන්තව සිදු වුනේමැයි...
එහෙත් ඔබ මා
තවම සුරකියි...

ජීවිතය මෙයැයි
කිසිදා තේරුම් නොගෙන..
ළඟ බලා දුර නොබලන්ට සිතාගෙන
කල වැරදි බෝමැයි
සමාවනු මැන..
ඔබට බොහෝ පින්,
හෙවනැල්ල වී මා ලඟම සිටියාට...

~කිසස්~~

මාතෘකාව දැක්කම වරදවා හිතන්න එපා, මේ වෙන මොනවත් ගැන නෙමෙයි අර කිසස් කියන කෑම ජාතිය සම්බන්ද කතාවක්. මේකත් අපේ අර ගණිත පන්තියේ අතුරු කතාවක්.

ඔන්න මේ කතාව වෙනකොට අපේ පන්තිය පටන් අරගෙන සැහෙන දවසක් ගිහිල්ලා. ඉස්කෝලෙත් A/L පන්ති එහෙම පටන් අරගෙන. ඔය කාලේ වෙනකොට අපිත් එක සම වයසේ හිටපු, ගණිත පන්තියේ හිටපු කොල්ලගේ යාලුවෙක් මගේ යාලුවෙකුට ට්‍රයි කරන්න පටන් ගත්තා. හරියටම කියනවනං අර මම මුලින්ම කියපු කතාවේ (අතීතයේ දවසක) හිටපු කොල්ලෝ හතර දෙනාගෙන් එක්කෙනෙක්. අපි යන ගොඩක් පන්ති වලට ඒ තුන් දෙනාම ආවා. (හතර දෙනාගෙන් එක්කෙනෙක් ජීව විද්‍යාව කරේ) ඉතින් ඔහොම දැකල තමයි අර කොල්ලා මගේ යාලුවට කැමති වෙලා තියෙන්නේ. හඳුනා ගැනීමේ පහසුවට අපි එයාට සමීර කියමුකෝ. සමීර ඉතින් එක එක ඒවා කරනවා මගේ යාළුවා කැමති කරගන්න. අපේ ගණිත පන්තියේ හිටපු එක්කෙනත් ඒවාට ඉතින් හරියට උදව කරනවා. හිටපු ගමන් පන්තියේදී හින්ට් එහෙමත් ගහනවා.

ඔය කොල්ලෝ තුන් දෙනා ගෙන දෙන්නෙක් ඉගෙන ගත්තු පාසලේම තමයි මගේ මල්ලියි, මගේ හොඳම යාලුවෝ දෙන්නගේ මල්ලිලා දෙන්නයි ඉගෙන ගත්තේ. අනිත් කොල්ල හිටියේ ඉස්කෝලේ අපේ පන්තියෙමයි. හැබැයි එයත් කලින් හිටියේ අර ඉස්කෝලේ. උසස් පෙළ කරන්න තමයි අපේ ඉස්කෝලෙට ආවේ. අපි යාලුවෝ තුන් දෙනා එකටම තමයි පන්ති වලට ගියේ, අර ගණිත පන්තියත් ඇතුළුව. ඉතින් සමීරට වැඩිය අපේ යාලුවට කිට්ටුවෙන්න බැරි උනා. අපි හෙමීට මග ඇරලා යනවා දැක්කම. ඔය හේතුව නිසා සමීරයි, ගණිත පන්තියේ හිටපු කොල්ලයි අපේ මල්ලිලට දවසක් බැනල, මටයි මගේ අනික් යාලුවටයි පාඩුවේ ඉන්න කියන්න කියල.

ඊටපස්සේ ගණිත පන්තියේදී වත් අපි ඒ කොල්ල එක්ක කතා කරේ නෑ. ෆීස් සල්ලි ඉල්ලා ගන්නත් අහක බලාගෙන ඉල්ලනවා මිසක් මූනවත් බැලුවේ නෑ. ගෑනු ළමයි හතර දෙනා කොල්ලත් එක්ක හොඳටම තරහා වෙලා. හැබැයි එයාට නම් ගානක් නෑ ඔහේ ඉන්නවා. අපිත් එයා ක්ලාස් එකේ නෑ කියල හිතා ගෙන ඉන්නවා.

ඔහොම ටික දවසක් යනකොට,  ඒක දවසක  මෙයා ක්ලාස් එකට  අරන් එනවා කිසස් පැකට් එකක්. අරන් ඇවිල්ල මගේ අතට දෙනවා ඔයගොල්ලෝ බෙදාගෙන කන්න කියල. මටත් දැන් හිත ගන්න බෑ මේක ගන්නවද නැද්ද කියලත්. මම තමයි ඒ කොල්ල කිට්ටුවම වාඩිවෙලා හිටියේ. කොහොමහරි මං ඒක ගත්තා. අරගෙන එහා කොනටම පාස් කරා. කවුරුත් ඒක කඩන පාටක් නෑ. ඊටපස්සේ ඒක යාලුවෙක් කිව්වා 'ඔන්න එයාටම කඩලා දෙන්න කියන්න' කියල. මාත් ඇහෙන නෑහෙන ගානට කියල ඒක ආපහු දුන්නා.

ක්ලාස් ඒක ඉවරත් උනා දැන් මිනිහ මේක කඩලා දෙන පාටක් නෑ. අපිත් ඉතින් ගෙදර ගියා. පහුවදා අපේ ප්‍රධාන මාතෘකාව ඕක. දැන් අපි කතා වෙනවා, 'තරහට විසි කරලා ගියද දන්නේ නෑ මගදී' කියල.

පස්සේ කාලෙක මං එයාගෙන් ඇහුව එදා මොකද උනේ කියලා. බලනකොට එයා හිතල තියෙන්නේ අපි එපා කියල දුන්න කියල. පස්සේ එයා මගදී යන ගමන් ඒක එයා තනියම ක කා ගිහින්. අපි හිතපු දේවල්! :)

~පළිගැනීම~

අමාවක සඳ
නුඹ...
ආලෝකය අයැදි විට
නොදුන්...
වළාකුල නොවේ යැයි
නොසිතන්න
මම...
පුරහඳ වූ දාට
නුඹ වසන...

Sunday, 26 December 2010

~~සුනාමියේ තවත් කතාවක්~~

අද හැමදෙනාම කතා කරන්නේ සුනාමිය ගැන. ලංකාවට වෙච්ච් කෙටි කලකින් වුනු දරුණුතම විනාශය වුනේ සුනාමියෙන්. සුනාමිය ලං වෙනකොට පුවත් පත සඳහා සුනාමිය හා බැඳුනු කතාවක් සොයා ගැනීමට මට අවශ්‍ය උනා. ඔය ගැන විස්සෝපෙන් ඉන්න කොට, කවදත් කතන්දර කියන්න දක්ෂ 'අපේ ගමරාල' තමයි මේ කතාව කිව්වේ. හැමදාම විහිළු කතා කියල මාව හිනස්සන ගමරාලට සුනාමිය ගැන මේ වගේ දුක් බර අත් දැකීමක් තියෙනවා කියල මට විශ්වාස කරන්නත් බැරි උනා. කොහොමහරි කතාව අහලා මට විනාඩි ගානක් යනකන් මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පුවත්පතට මං මේ කතාව ලිව්වා. මට හිතුනා ඒ කතාව මේකටත් ලිව්වා නම් හොඳයි කියල.සුනාමිය පිළිබඳව තියෙන සංවේදීම කතාව මෙය නොවෙන්න පුළුවන්...ඒත් මේ කතාව හිතේ දරා ගෙන ඉන්න අයට ඇති දුක අනන්තයි, අප්‍රමාණයි.

මං කතාව ගමරාල කියපු වචන වලින්ම කියන්නම්කො. 

ඕක වෙනකොට අපි හිටියේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ. මගේ කාමරේ මං බෙදා ගත්තේ ජයලංකත් එක්ක, එයා මගේ හොඳම යාළුවා වගේම, කැම්පස් එකේ ගොඩක් අයගේ හොඳ යාලුවෙක්. ඕනම වෙලාවක ඕනෑම දෙකට කතා කරොත් වැඩක් නවත්තලා හරි එනවා. වලියකට උනත් උදව කරනවා.

ඔය සුනාමි දවස් වෙනකොට අපේ  අධ්‍යයන කටයුතු ඉවර වෙලා විභාග පටන් ගන්න ඔන්න මෙන්න. විභාගේ පටන් ගත්තොත් ගෙදර යන්න වෙන්නේ නැති නිසා ජයලංක  තීරණය කෙරුව ඒ ඉරිදා ගෙදර යන්න. එයාගේ  ගෙවල් තිබ්බේ මාතර තිහගොඩ. පවුලේ එකම පිරිමි ළමයා. අම්මයි, තාත්තයි වයසයි ඒවගේම අසනීපයි. ඉතින් මෙයා තමයි ගෙදර හැමෝගෙම බලාපොරොත්තුව උනේ.

26 වෙනිදා කැම්පස් එකේ සිල් වැඩ සටහනකුත් තිබ්බා. අපි හැමෝම එදා සිල් ගත්තා. අපේ ආචාර්යවරුත් සිල් ගත්තා. 10 ට විතර ජයලංකගේ ගෑනු ළමයාට ජයලංක කෝල් කරලා කියල තියෙනවා 'මුහුද ගොඩ ගලනවා, කොච්චියටත් වතුර එනවා, ඒත් මං හොඳින් ඉන්නවා' කියල. අපි දැනගෙන හිටියේ නැනේ මේවගේ දෙයක් ගැන, අපි ඉතින් හිතුව මෙයා ඇත්තටම හොඳින් ඇති කියල. අපි සිල් වැඩසටහන කරගෙන ගියා.

හවස 3 ට විතර සේරම ඉවර උනාට පස්සේ තමයි දැනගත්තේ ඇත්තම කතාව. අපි එතකොට ජයලංකට කතා කරා හරි ගියේ නෑ.  පහුවදා උදේම අපි ගාල්ලේ යන්න පිටත් උනා. උදේ 6 ට විතර කොළඹින් පිටත් වුනු ගමන ගාල්ලට යනකොට හවස 3 යි. ඒක තමයි මන් ජීවිතේ ගිහින් තියෙන අමාරුම ගමන. බස් එක තමන්ගේ නැතිවුණු අය හොයන්න යන අයගෙන් පිරිලා. තනි කකුලෙන් තමයි දිගටම ගියේ. ඒ අස්සේ රේඩියෝ එකේ කියනවා මැරිච්ච ගැන, වෙච්ච හානිය එහෙම. මිනිස්සු හූල්ලනවා ඒවා අහල. මැරිච්ච අයගේ හැදුනුම්පත් අංකයි නමයි  කියෙව්වා ඒ අස්සේ. එක නමක් කියන කොට එතන හිටපු ගෑනු කෙනෙක් මහා හය්යෙන් අඬන්න පටන් ගත්තා. බලනකොට ඒ එයා හොයන්න යන කෙනා.

ඔය වගේ අත් දැකීම් ගොඩක් මැද්දේ අපි ඉස්සෙල්ලාම ගියේ කඳවුරු වලට. එතන හැම කෙනෙක්ගෙන්ම අහල බැලුවා. කවුරුත් දැකලා තිබුනේ නෑ. ඒ වෙලාවේ අපිට හම්බුනා කෝච්චියේ ඉඳලා බේරිච්ච බඩ දරු අම්මා කෙනෙක්. ඒ වෙලාවේ නම් අපිට හිතට සහනයක් ආවා. බඩ දරු අම්මා කෙනෙකුත් බේරුනා නම්, මේ කොල්ලත් ඇති නේද කියලා. කොහොම හරි හොයල බැරිම තැන අපි ගිය අපේ ගාල්ලේ හිටපු අපේ යාලුවෙකුගේ ගෙදර. ඊටපස්සේ එයාගේ තාත්තයි, එතන හිටිය තව එයාලගේ අල්ලපු ගෙදර මාමා කෙනෙක්. එයත් එයාගේ නෝනා හොයනවා.

අපි කට්ටියම ඊළඟට ගියේ මහා මෝදර ඉස්පිරිතාලෙට. ඒකට ගියාම නම් දැනුනු හැගීම මට ජීවිතේට දැනිල නෑ. මිනි ගොඩ ගහල හැමතැනම. ඒවා ඉදිමිලා අඳුරගන්නත් අමාරුයි. ට්‍රැක්ටර් වලින් එහෙම මිනී ගේනවා දැකල මට සංසාරේ එපා උනා. පලාතම ගඳයි. අපි ටෝර්ච් ගහ ගහා මිනී බැලුවා. එකක්වත් ජයලංක වගේ නෙමෙයි. එක මිනියකට ටෝර්ච් එක ගහන කොට අර මාමා කිව්වා "පුතා අයෙ ටෝර්ච් එක ගහන්න' කියල. බලනකොට ඒ එයාගේ නෝනා. මගුල් මුද්දෙන් තමයි අඳුරගෙන තිබ්බේ.

ඒ දවසත් ගෙවිලා ගියා. පහුවදා උදේම අපි ගියා කෝච්චිය තිබුණු තැනට. ඒක දැක්කම නම් මම යාළුවා පන පිටින් දකින අදහස අත් හැරියා. අච්චර බර කොච්චි එන්ජිම, මීටර් සීයක් විතර ඈතට ගහ ගෙන ගිහින් තිබුනා. එතන හිටපු මනුස්සයෙක් කිව්වා හොඳටම සවුත්තු වෙච්ච් මිනී ටිකක් එතනම වල දැම්ම කියල. ජයලංකගේ  හැඳුනුම්පතත් අපට එතන තිබිලා හම්බුනා. හුඟක් අමාරුවෙන් අපට හිත හදාගන්න උනා.

එදාම අපි එයාලගේ ගෙදර ගිහින් මරණ ගෙදර වැඩවලට උදව් කරා. මිනියක් නැති මරණ ගෙදරක්. ඊට පස්සේ අවුරුද්දේ අපි ජයලංකව සිහි කරලා ලොකු පිරිතක් සංවිධානය කරා. අපි ඊටපස්සේ හැම අවුරුද්දකම 26 වෙනිදා ජයලංකගේ ගෙදර ගියා.....


~~අසරණකම~~

ජීවිත මංසලක
අතරමංව, වෙහෙසවී
යා නොහැකිව
තව ඉදිරියට
වැතිර ගතිමි
අමාරුවෙන්.......

~~සුනාමියට ඌන පූර්ණයක්~~

සුනාමිය ඇවිත් ගොහින් අදට හරියටම අවුරුදු 6 ක්. 2004 අද වගේ දවසක නත්තල් අසිරියෙන් ලංකාවම පිරිලා තියෙද්දී, පෝදා සාදු නාදය දසත පැතිරෙද්දී හැමදාම අහිංසකව මිනිස්සුන්ට උදව් කරපු මුහුදු රල ගොඩ ගැලුවා. මිනිස්සු මුහුදු රල නිසාම උපයා ගත්තු හැම වස්තුවක් ආපහු මුහුදටම අරගෙන ගියා. 30,000 ක් විතර ජීවිත බිලිගන්න තරම් ඒ රල කුරිරු උනා. සුනාමියෙන් විපතට පත් වූ මිනිස්සු වෙනුවෙන් ලංකාවේ හැම මනුස්සයම එක රොක් උනා. මං මෙතන 'මනුස්සයා' කියල කියන්නේ. විපතට පත් වුනු අයගේ අන්තිමට ඉතුරු වුනු වස්තුවත්, එයින් නොනැවතී මිනී වල තිබුණු රත්රන් ආභරණත් කොල්ල කා ගත්තු පිරිසක් ඔය අතර හිටපු බව රචකයාට මතක නිසා. හොඳ මිනිස්සුගේ ජීවිත අරගෙන ගිහින් ඒ වගේ කුරිරු අමනුස්සයෝ මේ ලෝකේ ඉතුරු කරේ ඇයිද කියල රචකයාට හිතුනු වාර අනන්තයි අප්‍රමානයි.

ජීවිත ඔහේ ගලා ගෙන යනවා..සුනාමියෙන් විපතට පත් වූ වන්ට සහ තම තමන්ගේ නෑදෑ හිතවතුන් මිය ගිය අයට හැරෙන්නට බොහෝ දෙනෙකුට සුනාමියේ කුරුරු බව අමතක වෙලා ගිහින්..මුහුද ආයෙමත් නිසංසලව දවස ගෙවනවා. කාලයක් මුහුදත් එක්ක තරහ වෙලා හිටපු ළමයි අයෙමත් වැලි කෙලියේ යෙදෙනවා.

මිනිස්සු මුහුදේ සම්පත් විනාශ කරපු පලිය ගත්තද මන්දා? කොරල් පර විනාශ නොවුණු තැන වලට, වැලි කඳු විනාශ නොවුණු තැන් වලට  සිදු වූ හානිය අවම උනා. මිනිස්සුන් ගේ  කුරිරුකම් ඉවසා ගන්නට බැරිව සයුර තම කෝපය පෙන්වා අප හැමෝටම පාඩමක් කියා දී අවසන්. බෙදී වෙන්වී සිටි ජනතාවට, කරදර එනවිට ජාති භේද නොසලකා එන බවද, එක්ව ඒවාට මුහුණ දිය යුතු බවද කියාදී අවසානයි.

එහෙත්.....මේ පාඩම කී දෙනෙකුට තවම මතකද? මේ වැරදි නොකරන්නට කී දෙනෙකු අදිටන් කරගත්තාඩ? සිදුවූ දෙයක් සති දෙකක් වැනි කෙටි කාලයකින් අමතක කර දමන අපේ ජාතියට තව කොතරම් සුනාමි ඇවිදින් මේ පාඩම අලුත් කර දිය යුතුද? හිතන්න...මේ එයට හොඳම කාලයි.....

Saturday, 25 December 2010

~~දඹලාගේ නෑයා~~

ඔන්න මේ කතාවත් අපේ මලයා කියපු කතාවක් තමයි. එයාගේ කතා දෙකක් මං කලින් දවසක් කිව්වනේ. අපේ මලයා බබා වගේ හිටියට අවුරුදු 22 ක තරුණයෙක්. ගෙදර බාලයා නිසාත්, පොඩි කාලේ පටන් අසනීප නිසාත් ගෙදර හැමෝම එයට සැලකුවේ පොඩි ළමයෙකුට වගේ. ඒ පුරුද්දට තාමත් අම්මයි, තාත්තයි ගාවට ගිහින් ශේප් එකේ ගානක් එහෙම කඩා ගන්නවා. තාම කිසි දේක බරක් පතලක් හිතන්නේ නැති නිසා සමහර වෙලාවට හොඳ කතා කියනවා. මෙන්න මේ කතාවත් එය කියපු එකක්.

මෙයා දවාලට ගෙදර ඉන්න නිසා, අපේ අම්ම පොලේ යනකොට මලයවත් එක්කගෙන යනවා. හැබැයි ඉතින් ගෙදර නම් කිසිම වැඩක් කරන්නේ නෑ. අඩුම ගානේ කාපු පිගාන වත් හෝදන්නේ නෑ. අම්මාගේ ඉස්සර ඉඳං පුරුද්දක් තිබුනා, එළවලු ගෙනාවම මල්ලිගෙන් අහනවා ඒවායේ නම්. එක හේතුවක් තමයි එය ඉගෙන ගන්න ඕනේ කියල හිතන එක. අනිත් එක තමයි එයා දෙන උත්තර අහන්න.

මේ ලඟදි දවසකත් අම්මා මල්ලිව පොලේ එක්කරගෙන ගිහින් ඇවිත්, දැන් දෙන්නත් එක්ක එළවලු අස් කරනවලු.
අම්මා දඹල පෙන්නලා ඇහුවලු.."පුතේ මේ මොනවාද?" කියල. දැන් මිනිහා කල්පනා කරනවලු මෙයාට මතක් වෙලාම නෑ. ටික වෙලාවක් කල්පනා කරලා කිව්වලු දන්නේ නෑ කියල. ඉතින් අම්ම කියල දීලා ඒ දඹල කියල.

ඊටපස්සේ බණ්ඩක්කා පෙන්නලා ඇහුවලු "එහෙනන් පුතේ මේ මොනවාද කියන්නකෝ" කියල.
දැන් මිනිහ අයෙත් කල්පනා කරනවලු. ඒත් මතක් වෙන්නේ නෑලු. ඔහොම ටිකක් වෙලා කල්පනා කරලා කිව්වලු.

"මොනවා උනත් මේවා නම් දඹලාගේ නෑයෙක්" කියල. :)

Friday, 24 December 2010

සුභම සුභ නත්තලක්!!

මම නම් නත්තල සමරන කෙනෙක් නෙමෙයි, ඒත් පුරුද්දක් විදියට සමරන යාලුවෝ හැමෝටම නත්තල් කාර්ඩ් එකක් යවන්න අමතක කරන්නේ නෑ. පොඩි කාලෙන් පස්සේ අපි ගෙදර නත්තල් ගහක හදල සරසන්නවත් උනන්දු උනේ නෑ. මට මතකයි අපි පොඩි කාලේ අම්මයි තාත්තයි අපි කැමති මොනවාද කියල අහල හොරෙන් රෑට නත්තල් ගහ යටින් ගෙනත් තියෙනවා. අපිත් ඉතින් ඇත්තටම පුදුම උනා මුල් කලේ. ඒ දවස් වල අපි වාර විභාගෙට ලකුණු අඩු විෂයන්ට වැඩපොත් එහෙමත් ඔය තෑගි අතරේ තිබුන. එතකොට අපේ අම්ම කිව්වේ "බලන්න නත්තල් සීයා දැකල ඔයාට ඒ විෂයට ලකුණු අඩුයි කියල. ඒක තමයි පොතක් ගෙනත් දීල තියෙන්නේ" කියල.

හැබැයි ඉතින් පස්සේ කාලේ නම් අපි දෙන්නම, මල්ලියි මමයි දැනගත්තා තාත්තා තමයි මේ තෑගි ගේන්නේ කියල. එහෙම දැනගත්තට පස්සෙත් අවුරුදු දෙකක් විතරම නත්තල් ගහ හදන චාරිත්‍රය ගෙදර තිබුනා. පස්සේ කාලයත් එක්කම ඒක නැති වෙලා ගියා.

පස්සේ නත්තල සමරන මගේ ළඟ කෙනෙකුට හිටියේ මං වැඩ කරපු පත්තරේ කතෘතුමිය. එයාගේ නත්තල් ගහ හරිම අමුතු එකක්. ඒ වගේම හරිම ලස්සනයි. වේලුනු ලොකු අත්තකට සුදු පාට තීන්ත ගාලයි ඒක හදල තිබ්බේ. පුංචි පුන්චි කෑලි එල්ලලා, බල්බ් වැලක් දාල ඒක හරිම ලස්සනයි. අපි නත්තල් කිට්ටු වෙනකොට අනිවාර්යෙන්ම ඒ ගෙදර යනවා එයා  නත්තලට හදපු කෑම කන්න.

නත්තල දැන් නම් අපිට විශේෂයක් නෑ නිවාඩු දිනයක් ඇරෙන්න,, ඒ උනාට

නත්තල සමරන හැමදෙනාටම සුභ නත්තලක් කියල ප්‍රර්ථනා කරනවා!!!

පෝය නිවාඩුවත් නැතිවෙන ලකුණු...


ලංකාව ලෝකයේ අනෙක් රටවල් අතුරින් වැඩිම නිවාඩු ගණනකට හිමි කම් කියන රටකි. පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයට නිවාඩු දැනටත් වැඩිය. තව විදියකින් කියනවනම් රාජ්‍ය අංශය භුක්ති නිවාඩු බොහොමයක් පෞද්ගලික අංශයේ රැකියා කරන අයට අහිමිය. පැතිර යන අලුත්ම කතාව නම්, 2011 වසරේ සිට පෞද්ගලික අංශයට පෝය නිවාඩුවත් අහිමි වන බවය. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවත්, දැනට මුද්‍රණය කර ඇති බොහෝ දින දර්ශන වල පෝය නිවාඩුව සඳහන් කර ඇත්තේ රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් බව තමයි ආරංචිය. ප්‍රශ්නය පෞද්ගලික අංශයේ උදවියට පෝයට පන්සල යාම තහනම් ද? මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට වෙනදාටත් වඩා උනන්දුවෙන් නව වසර එළඹෙන තුරු බලා හිදිමු....

~~සොඳුරු සිතැත්තිය~~

නිල් අහස යට , තුරු වදුලු මත සැතපෙන්නම්
ජීවයෙන් පිරි මහා සයුරු රැලි විදගන්නම්
මල් මකරන්දයක මලක් වී මම පිපෙන්නම්
ඔබගේ සොඳුරු සිතැත්තිය වී මම ඉන්නම්.....

මල්ගොමු සිසාරා හමා එන මද පවන සේ
බිඟු රෑන ගයනා සියුම් ගී පද වැලක් සේ
හිමිදිරියේ ඇසෙනා කිචිබිචිය නාදයක් සේ
ඔබේ ආලය මගේ හද තුල රැගුම් දේ ...





~~රිදුනු සිත~~

වැටෙන්නට නොදී කඳුළු කැට
ඇස් දෙකේ තද කරන්
අගුලු ලා රිදෙන හදවතට 

එන්නට නොදී කිසිවෙකුට
රිදව රිදවා සිනාසුනු

ඔබ කිසිවෙකුට අද ඉඩ නෑ

මං තනියෙන්ම නැගිටින්ට වෙර දරමි..!



~~රැයක මහිම~~














තරු දරුවන් පිරිවරලා
සඳු කුමරිය හැඩවීලා
මහා රැඟුම් දක්වන්නට
නිශාචරයෝ සැරසීලා

කඩුපුල් සුවදින් මත් වී
තොසින් රඟන වවුලුහාමී
මහා සද්දෙන් මැදියම් රැ
කුලගෙට යනවා

රැහැය්යන්ගේ නඩු විභාග
බකමූණගේ විනිසුරු කම
කෑලි කපන ගණ අඳුරේ
කරන විකුම් දේ සතොසේ...

~~ගුරු හමුව - 3 ~~

මම දැන් කීප දවසක ඉඳං ගුරු හමුව ගැන ලියනවනේ. ඔන්න ඉතින් දැන් ලියන්න යන්නේ එකේ තව කොටසක්. මං දෙවෙනි කොටසේදී කිව්වා නේ, අපි මහා වැස්සේම නුවර ස්ටේෂමෙන් බැස්ස කියල. ඒ අස්සේ අපේ නාලක කොලුවා ගෑනු ළමයෙක් පෙන්න පෙන්න මොනවදෝ කියනවා. හරියට කථාව අහල බැලින්නම්, ඒ ගෑනු ළමය අපි සින්දු කියනකොට කන දෙකේ ඇඟිලි ගහගෙන ඉඳල. සින්දු එතරම්ම මිහිරියිද කියල මට හිතුන.

කොහොමහරි අපි ස්ටේෂමෙන් එලියට බැස්ස කියමු, බැස්ස වෙලේ ඉඳං අමරේ අය්යා වාහන වලින් ගණන් අහනවා, ඔන්න අපි යමු කියනවා. අපි අන්තිමට තීරණය කරා පොදු ජනයාගේ වාහනය, බස් එකේම පේරාදෙණියට යන්න. බස් එකකටත් නැගල, දැන් අපි කට්ටියම ඉදිරි ආසනවල වාඩිවෙද්දී, අපේ අමිල මලයයි, අකිල කොලුවයි අන්තිම සීට් එකේ වාඩිවෙලා අපිව අඳුරන්නේ නැති ගානට ඉන්නවා. හිනා උනාට හිනා වෙන්නෙත් නෑ. ඔන්න ඉතින් 'ගාර්ඩ්න්ස්' ගාවට ටිකට් එහෙම අරගෙන අදාළ තැනින් බැස්ස. බැස්සම තමයි අර දෙන්න වෙච්ච සිද්ධිය කිව්වේ.

එතන හිටපු ටිකක් වැඩිමල් කෙනෙක් අපි බස් එකට නැගල ටිකට් ගන්නේ කොහෙටද කියල කෑ ගහ ගහ ඉන්න කොට මේ දෙන්නට කියල, "මේ පිස්සෝ මේ මහා වැස්සේ  ඔය යන්නේ මල් වත්තට වෙන්න ඇති. දළදා මාලිගාවට ගිහින් මලක් පූජා කරා නම් මොකද වෙන්නේ" කියල.
අපේ දෙන්නත් "ඒක තමයි අන්කල්, පිස්සුනේ" කියල.
අපි බහින තැන ආවනේ, එතකොට මේ දෙන්නා කියල, "අපිත් ඔන්න ඔහේ ගැටඹේ වත් යනවා" කියල බැහැල ඇවිත්. ඒත් ඉතින් මන් කල්පනා කරා මේ දෙන්නා අන්තිමටම තමයි බැස්සේ, මොකද මේ පසු බැසීමට හේතුව කියලා.

මල් වත්තටත් ඔන් අපි ආවා. අපේ අනික් ඈයොත් ඇවිත් හිටියා. කෝච්චිය මිස් වෙච්ච සමිත මල්ලිත් ඇවිල්ල හිටිය. ඒ උනාට මහා වැස්ස. අපේ නුවර සාමාජිකයෝ කියනවා " ඊයෙත් පෑවුවා.මේ අද තමයි වැස්ස කියල" අපේ වෙලාව තමයි!! අපි ටිකට් අරගෙන ඇතුලට ගියත් ඉන්න තැනක නැති නිසා හරිම කරදරයක් උනේ. යාන්තම් කැෆටෙරියක් හොයාගෙන වැස්සෙන් බේරිලා ඉන්න කොට ඔන්න අපිට ආව අමරේ අය්යාගෙන් කෝල් එකක්.....

ඉතුරු ටික හෙට....:)

Thursday, 23 December 2010

~~පරාජිතයි මං~~








දුරින් ඉන්න ඔබ
දුරස් වෙන්න මට 
සුසුම් පොදක්වත් නොඑනා ඈතට
එපා ඔබේ රුව නැවත
දකින්නට...
මේ සංසාරේ ගමන
පුරාවට....

~~ගුරු හමුව-2~~

දැන් කියන්න යන්නේ අර අපේ ගේට්-ටු-ගෙදර් හෙවත් ගුරු හමුවේ ඉතිරි කතාව. පලවෙනි ටික කියෙව්වේ නැති උදවිය මෙතනින් කියවන්නකෝ.

හැමෝම කෝච්චියේ තම තමන්ගේ ආසන හොයාගෙන ගිහින් වාඩි උනා. හැබැයි ඉතින් ඒ ආසන වල වැඩිම උනොත් පැය භාගයක් ඉන්න ඇති. මෙන්න හැමෝම මුහුනට මුහුණ බල තියෙන ඉදිරිපස ආසන වලට එක් රැස් උනා. ඔන්න දැන් තමයි නියම විනෝදෙ. අපේ අමිල මලයා ගිටාර් ගෙනත් තිබ්බ. ඉතින් එයා අපිට කිව්වා "ඔය ගොල්ලෝ ලෝකේ ඕනෑම බාසාවකින් තියෙන ඕනෑම සින්දුවක් ඉල්ලන්න. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් මං දෙන්නේ මං දන්නා සින්දු පහෙන් එකක් තමයි" කියල. ඔන්න ඉතින් අපිට මාර හැපී. ඇයි ඉතින් අපිට සංගීතය තියෙනවනේ. මේ ගිටාර් එකේ විශේෂත්වය තමයි අපේ අමිල මල්ලිගේ දන්නා සින්දු පහ ඉවර උනාම ඊටපස්සේ ඒක අනෙක් පැත්ත හරවල බෙරයක් විදියට පාවිච්චි කිරීමට පුළුවන් වීම. කොහොමහරි අපේ ගමනේ අන්තිම හරියේ ඒක පාවිච්චි එහෙම තමයි.

 මේ අතරේ අපේ සමිත මලය ගෙන අව කෝල් එකක්. එයාට එන්න පරක්කු වෙලා කෝච්චිය මග ඇරිලා. අපේ අමරේ අය්යට හරි දුකයි ඉතින්. "ඔය කොල්ල ඊයේ ගොඩක් රැ වෙනකන් බෙරයක් හොයන්න ට්‍රයි කර." අමරේ අය්යට ඇඩේන්නත් වගේ. මොනවා කරන්නද? සමිතට බස් එකේ නුවරට එන්න කිව්වා. කොහොමහරි එයා අපිට කලින් නුවරට ගිහින් තිබුනා.

චතුර තමයි ගමනට හොඳටම ලෑස්ති වෙලා ඇවිත් හිටියේ. චාරිකා ගී කියල වෙනම පොතකුත් කඩෙන් අරන් ඇවිත් තිබුන. හැබැයි ඉතින් අපි කියපු සින්දු වලින් බොහෝම පොඩි ප්‍රමාණයක් තමයි ඒ පොතේ තිබුනේ. සමහර වෙලාවට අපි පොතේ සින්දුව හොයනකොට සින්දුව අනෙක් ඇය කියලත් ඉවරයි. ගමන ඔහොම වෙද්දී ටික ටික කඳුකරයට ලං වෙද්දී කෝච්චියේ වේගයේ අඩු වුනා. වැස්සත් එකට බල පෑවා. ඕකට අපේ අමරේ අය්යාගේ හේතුව තමයි "එන්ජිම තියෙන්නේ පිටිපස්සෙනේ එකයි" කියල. කොහොමහරි කෝච්චිය නුවරට එනකොට 10.30 ත් පහුවෙලා. අපේ වැඩේ පටන් ගන්න තිබ්බේ 9 ට. වැඩේට තැන විදියට තෝරාගෙන තිබ්බේ පේරාදෙණිය උද්භිද උද්‍යානය. අපිට ඉතින් තරු පෙනුනේ නුවරට වහින වැස්ස දැක්කම.

ඉතින් ඉතුරු ටික හෙට....

~~අයාලේ ගියෙමි~~

සත් සයුර
කළබවා
ගන්නට තැත් දැරීමි
අධ්‍යාපනය...
ඉගෙනීම යනු කිමෙක්දැයි වත්
නොදැන...

~~සොඳුරු සැන්දෑවක්~~"

රත් පැහැ ගත් අහස් කොණක
රටා මවන කුරුල්ලනේ
හෙන්දිරික්කා මල් සුවඳක් 
අරන් එන්න මද පවනේ...

නිල් මහනෙල් පුංචි කැකුළු
වඩින සඳට ආවඩනවා
තිත්ත පැටවූ ගග දිය මැද
සුරතල් කෙලිකම් කරනවා...

තුන් ඉරියා ටින් ටින් ගා
ගිලෙන රිවිඳු සනසනවා
පුංචි ළමෝ වැලිකෙලියේ
අවසන් තිත තියෙනවා...

"~~tool kit ඒක ~~"

මේ කතාව අර කලින් කියපු ෆොටෝ කොපි සිද්දියට පස්සේ වුනු එකක්. මං කිව්වනේ ඉතින් අපේ සංගීත කාමරය ගිනි ගත්තා කියල. ගිනි ගැනීමට හේතුව විදියට හොයා ගත්තේ විදුලි කාන්දුවක්. මීට කලින් දවසකත්, පාසලේ කාර්යාලය ගුරු දෙගුරු හමුවක් වෙලාවේ ගිනි අරගෙන තිබ්බා. හැබැයි ඒක නම් ලොකු ගින්නක් නෙවෙයි. පොඩි එකක්. හැබැයි එකටත් හේතුව විදුලි කාන්දුවක්. මේ පාර ලොකු ගින්නක් නිසා, විදුලි කාර්මිකයෙක් ඇවිත් මුළු ගොඩනැගිල්ලම පරීක්ෂා කරන්න පටන් ගත්තා. සමහර ස්විච් එහෙම අපිට අල්ලන්න එපා කියල තිබුනේ විදුලි කාන්දු නිසා. ඒත් ඉතින් පොඩි දරුවන්ට ඕව තේරෙන්නේ නැති නිසා අපි හැමවෙලේම හිටියේ හරි බයෙන්. හැබැයි ඉතින් ඒ අපි විතරයි. පාලකයින්ට ඒ ගැන ගානක්වත් තිබුනේ නෑ.

මේ නඩත්තු කටයුතු නිසා පාසලේ දින ගණනක්ම සමහර පන්ති කාමරවලට විදුලිය, අන්තර් ජාල පහසුකම්, දුරකථන පවා වැඩ කරේ නෑ. ඔය අපහසුකම් මැද්දේ වැඩ කරනකොට අපේ සහෝදර ගුරුවරියක් තමයි මේ කතාව කිව්වේ. ඇය කිවූ ආකාරයට මෙය පත්වීම් ලිපිය සමග අමුණා ඩිය යුතුව ඇත.

මේ විද්‍යාලයේ සේවය කරන ගුරු මහත්ම මහත්මීන්ට අනිවාර්යයෙන්ම tool kit එකක් තිබිය යුතුයි. එහි තිබිය යුතු දෑ මෙසේයි.

1. ටෙස්ටරයක්
2. ටෝර්ච් එකක්
3. පහසුවෙන් තැන තැන ගෙන යා හැකි කුඩා විදුලි පංකාවක්
4.ජීවිත රක්ෂණාවරණයක්

ඔබට ජීවිත රක්ෂණයක් නොමැති නම් ඉක්මනින් එය ලබා ගත යුතුය.

ප.ලි.: පාසැල් වෙලාවේදී විදුලි සර වැදීමකින් මියයන ගුරු මහතුන්ට පාසැල මගින් අදහන කටයුතු නොමිලේ කරදීම පවුලේ සාමාජිකයින්ට ලැබෙන විශාල සහනයකි.

"~~ගොනාට ඇඳීම~~"

ගොනාට ඇඳීම හා ගොනාට ඇන්දීම අද ලෝකයේ ප්‍රකට කලාවකි. හැමෝම බලාගෙන ඉන්නේ කවුරුන් හෝ ගොනාට අන්දා තමාගේ වැඩේ කර ගැනීමටය. අන්දන්නේ මොන ගොනටද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නැත. මී ගොනා වුවත්, කුළු ගොනා වුවත් තමාගේ වැඩේ කෙරෙනවා නම් ඔවුන්ට කිසි  ප්‍රශ්නයක් නැත.

ගොනාට අන්දන පිරිසට අමතරව තමා විසින් ම ගොනාට ඇඳගන්නා පිරිසක් දා සිටිති. ඔවුන් අමු ගොන්නුය. සමහරු කියන්නේ ඔවුන් හොඳ වැඩි මිනිස්සු කියාය. ඒ වුනාට හැමෝම දන්නා කාරණය නම්, අද සමාජයේ ජනයා සමග සසඳන විට ඔවුන් ගොන්කම වැඩි මිනිස්සු බවය. ගොනාට ඇඳගෙන සිටින්නාට  තම ගොන් කම වැටහෙන්නට කාලයක් ගත වෙයි. එතකොට පෙරහැර ගොස් අවසානය. අනික් අය තම තමන්ගේ වැඩ කරගෙන ද හමාරය. තම ගොනා මල්ලේ දමා ගෙන සිටින තාක් කල, හැමදෙනාම සතුටින්ය. නැතිනම් තමා මොලේ පැදුනු පසුව හෝ දුක විඳිනු නියතය. එහෙත් එවිට අනුන්ගේ කුඹුරු සී සා අවසානය... අඬා පලක් නැත...

Wednesday, 22 December 2010

"~~ෆොටෝ කොපි~~"

මේ සිද්ධිය වෙනකොට මං සේවය කලේ ලංකාවේ ජනප්‍රියම ජාත්‍යන්තර පාසැල ජාලයක අලුත්ම ශාඛාවේ. මම මෙහි පත්වීම ගන්නකොට මේ පාසැල පටන් අරන් අවුරුද්දක් විතර. එකම ඒක ගොඩනැගිල්ලක් විතරයි පාසලට තිබුනේ. ඒකත් පරණ ගෙයක් ප්‍රතිසංස්කරණය කරල හදපු එකක්. අරහෙන් මෙහෙන් වයර් අදාල, ගොඩනැගිල්ලට තව අලුත් කොටස් එකතු කරලා පාසලක පෙනුම දෙන්න උපරිම උත්සහ කරලා තිබ්බ. කතාව කියන්න කලින්, ඒ ඉස්කෝලේ මගේ කාර්ය භාරයත් කියල ඉන්නම්කො. මට පත්වීම ලැබුනේ ගණිත ගුරුවරියක් විදියට. නමුත්, අන්තිමට මා එයින් ඉවත් වනවිට මා හැම විෂයම පාහේ ඉගැන්නුවෙමි.

කොහොමහරි මේ සිද්ධිය උනේ මේ අවුරුද්දේ මුල (ඒ කියන්නේ 2010 පෙබරවාරි විතර). එක්තරා සඳුදාවක අපි ඉස්කෝලෙට එනකොට කලින් ආපු ගුරුවරු ඔක්කොම ඉස්සරහ එක් රොක් වෙලා ලොකු කතාවක්. මාත් ඉතින් පය ඉක්මන් කරලා ගිහින් ඒ කතාවකට සම්බන්ද උනා. බැලින්නම් සිකුරාදා රැ පාසලේ සංගීත කාමරය ගිනි අරගෙන. මුරට හිටපු කෙනා දැකලත් නෑ. සෙනසුරාදා වැඩට අපු කාර්යාල සේවකයෙක් දැකල තමයි ගින්න නිවල, සියල්ල යත තත්වයට පත් කරගෙන තියෙන්නේ. ගින්නෙන් ලොකු හානියක් නොවුනත්, සංගීත ගුරුතුමිගේ වටිනා පොත් පත නම් විනාශ වෙලා තිබුන. ඒ අතර ළමයින්ට දෙන සටහනුත් තිබිල තියෙනවා. දැන් ඉතින් දෙන්න සටහන් නැති නිසා, මේ ගුරුතුමිය ගිහින් අපේ විදුහල්පතිනියගෙන් අහල තියෙනවා මොකද කරන්නේ මේකට, සටහන් ටික මොකද කරන්නේ කියල. ඒවා කා ළඟ වත් තිබුණු ඒවත් නෙවෙයි, අපේ ගුරුතුමීගේ ස්වෝත්සාහයෙන් හදපු ඒවා.  ඒ නිසා නැවත සොයා ගැනීම හරි අපහසු දෙයක්.

විදුහල්පතිනිය ගත් කටටම කිව්වලු "ඔරිජිනල් ඒවා නැති උනාට කමක් නෑ ෆොටෝකොපි ටිකක් අරන් තියා ගන්න "කියල. ෆොටෝකොපි ගන්නේ මොනවයින්ද කියල තමයි ප්‍රශ්නේ...

"~~පශ්චාත්තාපය~~"

මම,
නැතිවූ හර්ද සාක්ෂිය
සොයා..
ලොව දෙවනත්
කලෙමි...
අම්මා,
කඳුළු පිරි දෙනෙතින්
මා දෙස
බලා සිටියාය....

"~~නවක ගුරු සුහද හමුව~~"

ඔන්න අද හා හා පුරා කියල අපේ අලුතින් උපාධිධාරී ගුරු පත්වීම් හම්බුනු ගුරුවර ගුරුවරියන්ගේ සුහද හමුවක් තිබුන. පත්වීම් ලැබිලත් වැඩි කාලයක් නැති නිසා, මේක තමයි අපේ පළමු හමුව. හමුව තිබුනේ නුවර. ලංකාවේ හැම දිසාවෙන්ම ගුරුවරු මෙයට සහභාගී වෙනවා කියපු නිසා, කොළඹ හා අවට අය කතිකා කරගත්ත කෝච්චියේ මේ ගමන යන්න.

කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්න තිබ්බේ උදේ 7 ට. කාගේ කාගේත් හැටි දන්නා අමරේ අය්ය හැමෝටම උදේ 6.30 වෙද්දී කොටුව ස්ටේෂමට එන්න කියල තිබ්බ. මාත් ඉතින් උදේ පාන්දරම ඇඳගෙන, කල්පනා කරා කොහොමද යන්නේ කියල. 138 බස් එකේ යන ඒක ලේසි උනත් මට හිතුන උදේ පාන්දර කෝච්චියෙන් කොටුවට යන ඒක ඊට වඩා ලේසියි කියල. ඉතින් අපේ නඩේ ගුරාට දුරකථන ඇමතුමක් දීල, මං එන විදියත් කිව්වා. මොකද ඉතින් කෝච්චිය නුගේගොඩට 6.10 ට එනවා කිව්වට ඕව ඉතින් විශ්වාස නැනේ. ලංකාවේ කොච්චි නේ.  ඉතින් මං ගත්ත කොටුවට ටිකට් එකක්. මගේ තිබුණු කලබලේට තව පොඩ්ඩෙන් මං සල්ලි දීල ටිකට්ටුව කවුන්ටරේම දාල යනවා. කවුන්ටරේ හිටපු මනුස්සයගෙන් උදේ පාන්දරම නෝන්ඩියක් එහෙම කාල. මං හිමින් සැරේ ඇවිද්ද ප්ලැට් ෆෝර්ම් ඒක දිහාට. හිතුව වගේම කෝච්චිය චුට්ටක් විතර පරක්කුයි. ඒත් ඉතින් හොඳට ඉඩ තිබුණු නිසා ඒවා ගැන නොසිතාම මං නැගල වාඩි උන.

කෝච්චිය කොටුවට එනකොට 6.35 ට විතර ඇති. බැස්ස විතරයි අමරේ අය්ය දුරකථන ඇමතුමක් එහෙම දීල විමසුවා මං ඉන්න ඉසව්ව. තුනේ නේ ප්ලට්ෆොර්ම් එකට එන්න කියල, ඇත්තටම එයා හිටියේ 2. කොහොමහරි ඒ අවුලත් විසඳගෙන අපි නැග්ග කෝච්චියට. මං ඉතින් පිටිපස්සෙන් ගමරාලත් එක්ක පොඩි කයියක් ගහගෙන ඉන්නකොට, අපිට ඇහුන ඉස්සරහ පොඩි කලබලයක්. (ගමරාල කවුද කියල මං මීට කලින් කියල තියෙනවා. කියවල නැත්නම් මෙන්න) බලනකොට අපේ අමරේ අයය හයියෙන් හයියෙන් ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ඉන්න මහත්තයෙක්ව අමතනවා.අමරේ අය්යා ඉතින් හරි චන්ඩියා දැන්. කොළඹ 7 නේ පදිංචිය.

අමරේ අයය: මේ අපිට වෙන් කරපු ආසන නේ මහත්තය!
මහත්තය: එහෙම වෙන්නේ කොහොමද? මේ අපේ ආසන
අමරේ අය්යා: ඒක වෙන්න බැනේ. මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා.
මහත්තයා: පොඩ්ඩක් අයෙ ඔය ටිකට් ඒක බලන්නකෝ.
අමරේ අයය: ආහ් සමාවෙන්න මහත්තය. අපි මේ බලල තියෙන්නේ ආපහු එන ටිකට්. අපිට තියෙන්නේ බී එකේ.

කොහොමින් හරි අපි ඒ මනුස්සයගෙන් ගුටි නොකා බේරිලා ආවා. තව ටිකක් වෙලා ගියා නම් මොනවා වෙයිද දන්නේ නෑ.

කතාවේ හොඳම හරිය තියෙන්නේ ඊටපස්සේ..ඒ ටික පස්සේ ලියන්නම්...

Tuesday, 21 December 2010

"~~පැතුම්~~"

කිචි බිචිය නතර කර
සකිසඳට
ඉඩ දෙන්න..
උදා හිරු කිරණ වී
යලිත් උදයෙන්
එන්න...
විරාමයක් වී සිතට
සතුට ආලෝකය
දෙන්න..
මගේ සිතේ මා දුටුව
සොඳුරු සිහිනය
වන්න...

~~පොඩි එකාගේ රචනාව~~

මේ කතාවත් අපේ මල්ලි පොඩි එකා කාලේ වෙච්ච එකක්. එතකොට එයා එකේ හරි දෙකේ හරි. අපි ඔක්කොමල එතකොට හිටියේ තංගල්ලේ. අපේ තාත්තාගේ රස්සාව නිසා අපි රටවටේ ඉස්කෝල බර ගානකට ගිහින් තියෙනවා. ඔය තංගල්ලේ ඉස්කෝලේ මගේ දෙවෙනි ඉස්කෝලේ. මල්ලිගේ පලවෙනි ඉස්කෝලේ. මල්ලියි මමයි දෙන්නම හිටියේ එකම ඉස්කෝලේ. අම්මත් ඉගැන්නුවේ ඒ ඉස්කොලෙමයි.

මේ කතාව මල්ලි ඉස්කෝලෙදි ලියපු රචනාවක් ගැන. එයා ලියන රචනා හරි ෂෝක්. මං මේ කියන්න යන කතාවේ එයට ලියන්න තිබිල තියෙන්නේ 'මගේ ප්‍රියතම වාහනය' ගැන. මෙන්න මෙහෙමයි එයා ලියල තියෙන්නේ.

මගේ ප්‍රියතම වාහනය ජීප් රථයයි.
අපේ ගෙදරත් එකක් තිබේ.
මම නිතරම ගමන යන්නට කැමති ඒ වාහනයෙනි.
ඒ උනාට අපේ තාත්තා එය ආණ්ඩුවේ වාහනයක් නිසා ඒකෙන් යන්නට කැමති නැත.
තාත්තා නිතරම හදන්නේ අපේ කාර් ඒකෙන යන්නටයි.
එහෙත් අම්මා කියන්නේ 'ඔන්න ඔහේ ඕකෙම යමු' කියාය.

ඔන්න ඔහොම මල්ලි රචනාව ලියල පන්තිභාර ගුරුතුමියට පෙන්නුවලු. එයින් පස්සේ මාස ගාණක් යනකම් අපේ අම්මට ගුරු මණ්ඩලය සවුත්තුව දැම්මලු. මොනවා උනත් මල්ලි ලියපු කතා නම් ඇත්ත. :)

"~~තැනේ හැටියට ඇඳුම~~"

ඊයේ අවුරුද්දේ අන්තිම පෝය නිසා මාත් ගෙදර ඈයොත් එක්ක ගියා පන්සලේ. ගියේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ පන්සලකට. හරියටම කියනවනම් සොලොස්මස්ථානවලින් එකක්.

 අපි අරන් ගිය මල් වලට අමතරව එලියෙනුත් මල් ටිකක් අරගෙන කෙලින්ම ගියේ බෝධිය දිහාවට. මල්ලිගේ අපලෙකට වෙච්ච භාරයක් නිසා පහන පූජාවක් කරන්නත් තිබුනා අපිට. සෙනගත් වැඩි නිසා ගිය වැඩේ කරගෙන ඉක්මනට එන්න අපි හැමෝටම උවමනාව තිබුන. ඔන්න ඔය අතරේ තමයි මට එතන ඉන්න අයගේ ඇඳුම් පේන්න පටන් ගත්තේ. මං ආයේ වට පිට බැලුව ආවේ පන්සලටම නේද කියල සැක හැර දැනගන්න. පුරුෂ පක්ෂයේ නම් ඉතින් කියන්න වැරැද්දක් තිබුනේ නෑ. අපේ කාන්තා පාර්ශවයේ ඇඳුම් තමා එතන කැපිලා පෙනුනේ. මට ඉතින් හිතුන හදිස්සියේ ටවුමට ආපු ගමන් පෝය කියල මතක් වෙලා පන්සල් ආවද කියල

එතන හිටිය ලස්සන පොඩි දුවෙක්, චූටිම චූටියි. වැඩිම උනොත් අවුරුදු 4 ක් විතර ඇතියි. ලස්සන ළමා සාරියක් එහෙම අන්දලා මල් වට්ටියක් අතින් අරගෙන ඉන්න හැටි දැක්කම හරි ආස හිතුන. එයා ඇවිත් ඉන්නේ කාත් එක්කද කියල බලනකොට තමයි අම්මගේ ඇඳුම දැක්කේ. හිරට හිරේ සුදු පාට කලිසමකුයි, ඒ වගේම හිර ටී ෂර්ට් එකකුයි ඇඳලා අමාරුවෙන් අර දරුවා ලඟින් ඇවිදිනවා. එයා ඉතින් සිහින් අඟපසඟ ඇත්තියකුත් නොවූ නිසා, අවට හිටපු පුරුෂ පාර්ශවය එක හිතකින් බුදුන් වැන්දාද කියල මට හිතුන.
ඔන්න එයා දැකල වැඩි වෙලාවක් ගියේ නෑ, එතන හිටියා තවත් කීප දෙනෙක් යන්නේ පන්සල් කියල අමතක උනු. එක කාන්තාවක් හිටියා තද නිල් පාට ඇඟටම හිරවුණු ඩෙනිමක් ඇඳලා, තද කහපාට ටී ෂර්ට් එකකින් සැරසිලා, ඒකටම ගැලපෙන්න කහපාට ලොකු රවුමක් වගේ කරාඹු දාලා. එයත් එක්ක හිටපු අනික යාලුවත් ඒ වගේම ඇඳුමක්ඇඳගෙන හිටියේ. එයා නම් කලිසම දණහිස ගාවටම නවාගෙනත් හිටියේ. ‘සන් ග්ලාස්’ දෙකකුත් ඔලුවට දාගෙන හිටියා.

හොඳම කතාව තමයි මං ඒ දෙන්නව පහු කරගෙන යනකොට මට ඇහුන අර ‘සන් ග්ලාස්” දාගෙන හිටපු කෙනා අනික් කෙනාගෙන් අහනවා “බෝධියට වතුර දාන්න යනකොට බෝධියට වඳින ගාථාව කිය කියා යනවා නේද?” කියල. ගාථාව වත් එයාලා දැනගෙන හිටියද කියල මට පොඩි ප්‍රශ්නයක් ආවා.
කොහොමහරි මට ඊයේ හිතුනේ, අඩුම ගානේ පන්සලට ගෞරවයක් විදියට වත් පිළිවෙලට ඇදගෙන පන්සල් එන්න බැරි නම් අඩුම ගානේ පිරිමි පාර්ශවයට නිදහසේ වඳින්න දෙනවා කියල හිතා ගෙනවත් හොඳට ඇන්දොත් හොඳයි නේද?

Monday, 20 December 2010

"~~Most outstanding team එක~~"

මේ සිද්ධිය උනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ මල්ලි පොඩි කාලේ. එය එතකොට 9 පන්තියේ විතර හිටියේ මගේ හිතේ. අපි ඔක්කොම එතකොට පදිංචිය බණ්ඩාරවෙල. මල්ලි ඉස්කෝලේ ගියේ බණ්ඩාරවෙල ප්‍රසිද්ධ බාලක විදුහලකට.
 එයා ඔය කාලේ හිටිය ඉස්කෝලේ chess කණ්ඩායමේ. කණ්ඩායමට බැඳුනාට පස්සේ ඔන්න ඉස්සෙල්ලම තිබුණු tournament එකට යන්න මල්ලිටත් චාන්ස් එකක් ආව. tournament එක තිබුනේ බදුල්ලේ.

අපේ මල්ලි මස 8 න් ඉපදුනු දරුවෙක් නිසාත්, හදවත් රෝගියෙක් උනු නිසාත් අපේ තාත්තා මල්ලිව පරිස්සම් කලේ හරියට දියමන්තියක් පරිස්සම් කරනවා වගේ. කොහෙවත් තනියම යන්න දුන්නේ නෑ. ඉස්කෝලේ උනත්, එයාගේ ගුරුවරුන්ටත් කියල නිතරම එය ගැන අවධියෙන් හිටිය.

මේ ගමන යනවට තාත්තා මුලින් තදින්ම විරුද්ධ උනත්, මල්ලිගේ පෙරැත්තකිරිල්ලටයි, අපේ කීමටයි ඔන්න ඉතින් කැමති උනා. ගමන යන දවසේ ගෙදර හරි යුද්දයක්. මල්ලිට කෑම ලෑස්ති කරනවා, එයාගේ බඩු ලෑස්ති කරනවා. හරි කලබලේ. ඔන්න දන්නේ නැති අයට, බදුල්ල තියෙන්නේ බණ්ඩාරවෙල ඉඳං පැයක දුරින්.

දැන් ඉතින් ඕන්න කොල්ලා බදුල්ලේ ගිහින් හවස ඇවිත් අපිට විස්තර කියනවා. බැලින්නම් මෙයාලට දවසම සෙල්ලම් කරන්න හම්බෙලා නෑ. ඉස්කෝලේ නම ඇතුලත් කරන්න අදාළ ගුරුවරයාට අමතක වෙලා. ඔහොම ඉතින් කාපු බීපු විස්තර එහෙම කියල, මෙයා කියනවා අපි තමයි එතන හිටපු Most outstanding team එක කියල. දැන් අපි කල්පනා කරනවා මේ ගොල්ලෝ සෙල්ලම් කරන්නෙත් නැතුව එහෙම උනේ කොහොමද කියල. පස්සේ විස්තර ඇහුවම තමයි තේරුනේ..

මෙයලානේ වැඩි පුරම එළියෙන් හිටගෙන ඉඳල තියෙන ටීම් එක.  Out ....Standing.....:D

~~බල්ලට ටිපි ටිප්~~

අද නම් මා දවසම බ්ලොග් ලියන්නට පටන් ගත්තොත් තාත්තා මා ගෙදරින් එළවනු නියතය. අද හැමදෙනාම ගෙදර සිටින නිසා ගෙදර ශ්‍රමදානයකි.  කොහොමින් හරි එයින් ටික වෙලාවකට වත්  ගැලවිලා ඔන්න මන් ආවා කතාවක් ලියන්න.

මේ කතාව උනේ අපි බණ්ඩාරවෙල ගිය වෙලාවක. අපි යනකොට ගෙදර නවත්තල යනවා වැඩට ඉන්න වයසක මනුස්සයව. එයා අවුරුදු 65 ක විතර පිරිමි කෙනෙක්. ගෙදර අතු පතු ගානවට අමතරව එයා වැඩිය ඉන්නේ එළියෙන් වාඩි වෙලා, නැත්තන් ටී. වී බල බල. මේ  ළඟදී දවසක අපේ අම්මයි එයයි ලොකු රණ්ඩුවක්. බලනකොට මෙයා අපේ ගෙදර අයටත් වැඩිය ටී.වී. බලලා. එයත් ඉතින් බැනුම් අහගෙන ඉන්න ලෑස්ති නෑ. කතා ගොඩයි ඉතින්.

අපේ ගෙදර ඉන්නවා බලු සුරතලෙක්. සුරතලෙක් කිව්වට ඇත්තටම සුරතලියක්. අපි කොහේ හරි යනකොට මෙයාට කෑම බීම දෙන එක හරිම ප්‍රශ්නේ. හුඟ වෙලාවට මම ගමන් යන්නේ නැතුව නවතිනවා මෙයා නිසා. මටත් යන්නම වෙනවා නම් අපි සුපර් මාර්කට් එකේ තියෙන බලු කෑම පැකට් අරගෙන කාට හරි දීල යනවා, මෙයාට වේලට දෙන්න කියල.

ඉතින් ඔය කියන සැරේ මේ සීයා හිටපු නිසා, එයාට බලු කෑම පැකට් එකකුත් අරන් දීල මමත් ගමනට සහභාගි උනා. අපි ගිහින් දෙවෙනි දවසේ අපේ තාත්තා ගෙදරට කෝල් එකක් දුන්න මෙයාගේ විස්තර අහන්න.

තාත්තා: හලෝ...
සීයා: හලෝ...කවුද ඔය කතා කරන්නේ? මහත්තය ගෙදර නෑ.
තාත්තා: මහත්තය තමයි මේ කතා කරන්නේ.
සීයා: මොන මහත්තයද? කිව්වනේ දැන්, ගෙදර මහත්තය නෑ.
තාත්තා: ගෙදර මහත්තය තමයි ඕයි මේ කතා කරන්නේ.
සීයා: ආහ් මහත්තය, අදුරගන්න බැරි උනා.
තාත්තා: කොහොමද? ප්‍රශ්නයක් එහෙම තියෙනවද?
සීය: නෑ මහත්තය.
තාත්තා: ඔහේගේ කෑම කොහොමද?
සීයා: ප්‍රශ්නයක් නෑ මහත්තය.
තාත්තා: බල්ලට කොහොමද? කෑම දුන්නද?
සීය: ඔව් මහත්තය. බල්ලට අර මහත්තය දීල ගිය ටිපි ටිප් පැකට් ඒකෙන් ටික ටික දෙනවා.
තාත්තා: හරි හරි. එහෙනන් අපි එනකන් ගේ බලාගෙන ඉන්නකෝ...

(ගේ බලාගැනීම කෙසේ වෙතත් මෙය ගෙදර අය ගැන විස්තර නම් කියනවා. අම්මගේ පණිවිඩයකට, අල්ලපු ගෙදරින් තියල ගිය, අම්මගේ පොත් වගයක් ගන්න අපු යාලුවෙකුට පාර හොයාගන්න බැරුව පාරේ එක්කෙනෙක්ගෙන් අහල, අහවල් තැන වැඩ කරන්න අයගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියල. අහම්බෙන් වගේ එයා ඒක අහල තියෙන්නේ අපේ ඔය සීයගෙන්ම තමා. එතකොට කියල මන් ඉන්නෙත් ඔය තැන වැඩ කරන මහත්තයෙක්ගේ ගෙදර තමයි හැබැයි එගොල්ලෝ නම් ගමනක් ගිහින් කියල. අම්මගේ යාළුවා දන ගත්තලු මේ නම් කියන්නේ අපි ගැන තමයි කියල. ඊටපස්සේ එය සීයාට කිව්වලු, එකට කමක් නෑ එහෙනන්ග් එයාලගේ අල්ලපු ගෙදර පෙන්නනකො කියල.)

__________________________________________________________________

Sunday, 19 December 2010

"~~~ආයාචනය~~"

සිහිනයක්ව ඉන්න ඉඩ දෙන්න
ඔය පියාපත් සෙවන යටින්..
සැමදාම සතුටින්
හිඳීවි මම...
එකල හිටිය වගේම..
හිතුවක්කාර කෙල්ල මම
හැමදාම මිදී යන්ට තතන..
එහෙත්..
නුඹ දනී
මට වඩා හොඳින් දනී..
මිදී ගිය හැම විටම
මා කඳුලින්ම  වග..
දෙන්නට එපා මට
පිටව යන්නට
අයෙ කවදාවත්...
රඳවා ගනු මැනවි..
දියණියක ලෙසින්..

~~"පශු සම්පත්"~~

මේ කතාව උනේ කැම්පස් එකේ අපේ යාළුවකුට. කැම්පස් එකේ විශේෂ උපාධි කරන අයව අවසාන වසර වලදී ආයතනික පුහුණුවට අදාල ආයතන වලට දානවා.
ඉතින් මගෙත් යාලුවෝ කීප දෙනෙක්ම ඔහොම පුහුණුවට ගිය. ඔතන හිටිය ගණිත විශේෂ උපාධි කරපු අයයි, සංඛ්‍යනය විශේෂ උපාධි කරපු අයයි.
ගණිත විශේෂ උපාධි කරපු ගෑනු ළමයෙක හිටිය රෝෂිනි කියල. රෝශිනිට හම්බෙලා තිබ්බේ "පශු සම්පත් ආයතනය" හරියටම කියනවනන් NLDB. ඕක දැනගත්ත සමීර කියල අපේ සංඛ්‍යානය විශේෂ උපාධි කරපු යාලුවෙක් ඇහුවලු
" ඈ බන් maths special කරපු එවුන්ට පස් ගැන බලන්න දෙන්නේ මොකද?" කියල. එය හිතල තියෙන්නේ පශු සම්පත් කියන්නේ පස ගැන පර්යේෂණ කරන ආයතනයක් කියල.

අදාල පුද්ගලයන්ගෙන් මට ගුටි කන්න වෙයිද දන්නේ නෑ ඔන්. එත් ඉතින් නම් ගම් මන:කල්පිතයි.

~~~සීලය...~~~~

නිසල විල අසල හිඳ,
තුන්තරා බෝධියක්
අරමුණක් කොට ගෙන..
බවුන් වැඩුවා අයෙක්..
අනාගතයේත් වර්තමානයේත්..
සංකලනයක් බඳුවූ..
කතක්..
බිඳ දැමුවා..
ඒ සිල්..
ක්ෂණයකින්...

Saturday, 18 December 2010

~~ටොපිය~~

මේකත් අර ගණිත පන්තියේ වෙච්ච කතාවක්.., මං කලින් ලිව්ව එකේ කිව්වනේ මේකේ හිටියේ කෙල්ලෝ හතර දෙනයි, ඒක කොල්ලයි කියල.

මේ සිද්දිය වෙනකොට පන්තිය පටන් අරන් ටික කාලයක් ගතවෙලා. අපි කෙල්ලෝ හතර දෙනා පන්තිය පටන් ගන්න ටික වෙලාවකට කලින් ක්ලාස් එකට ගිහින් වාඩිවෙලා කතා කර කර ඉන්නකොට මෙන්න මේ කොල්ල ආවා. වෙනදට ඇවිල්ල පොත් ටික තියල එලියට ගිහින් ඉඳල සර් එනකොට ඇතුලට එන මනුස්සය මෙන්න එදා වාඩි උනා ළඟ තිබුණු පුටුවක. අපිටත් දැන් හරි අවුල. අපිට ඕප දූපයක් කතා කරගන්නවත් විදියක් නෑනේ. ඔන්න ඉතින් අපි හතර දෙනා කතා සේරම නවත්තල, පොත් බලන්න පටන් ගත්ත.
ටික වෙලාවකින් මෙන්න මෙයා මට කතා කරලා කියනවා "මං ඔය හතර දෙනාට ටොපි ගේනවා. අනෙක් අයටත් දීල කන්නකෝ" කියල. දැන් අපිට තවත් අවුල්. අපිට ටොපි දෙන්න තරම් අපි මෙයට මොනවත් කරලා තිබුනෙත් නෑ. වැඩිය කතා කරලා තිබුනෙත් නෑ. මොකක් හරි ගැටයක්ද දන්නේ නෑ කියල හිතිලා, මං හෙමීට පැන්සල් කේස් එකට ටොපිය දාගන්න යනකොට මෙයා කියනවා "ඕක දැන්ම කන්න. අපරාදේ නේ" කියල.

දැන් අපිට මේක නොකත් බෑ. මොන ගිනි ගෙඩියක්ද කියලත් බයයි. කොහොමහරි ඒක යාලුවෙක් ටොපිය කටේ දාගත්ත. ඊටපස්සේ මෙයා හිනා වෙවී කියනවා අපිටත් කාලා බලන්නලු. වෙන කරන්න දෙයක් නැනේ. මාත් දාගත්ත ටොපිය කටේ. ඇඹුල්ම ඇඹුල්. ඉවසන්න බැරුව මං එලියට ගිහින් ඒක විසික් කරලා ආවා.

බලනකොට මෙයා අපිව බයිට් කරන්න හිතාගෙන "center shock"  ටොපි ගෙනල්ල. අපි දැනගෙන හිටියේ නෑ ඒවා ගැන. අපිත් අහු උන. අපේ පන්තිය තිබුනේ හවස 5 ඉඳං 7 වෙනකන්. ඊට පහුවද ඉස්කෝලේ අපේ පන්තියේ හිටපු මෙයාගේ යාලුවෙක් අපිව දැක්ක ගමන් ඇහුවේ "ආ ටොපි කෑවලු නේද?" කියල. .
වස ලැජ්ජාවයි ඉතින්...

~~එහෙං මෙහෙන් ඇසෙන කතා ~~

ඔන්න ඉතින් මං බ්ලොග් ඒක ලියන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදර අයට එහෙම මගේ සැහෙන්න චර්යා වෙනසක් පෙනිලා තියෙනවා. මේ හදිසි වෙනස් වීම ගැන ඉතින්  හැමෝටම හරිම ප්‍රශ්නේ.  ඒක ගැන එක එක අය කියපු කතා ටිකක් තමයි මේ..



තාත්තා: මේ යස අගේට හිටි කෙල්ලට මොකද උනේ? උදේ නැගිට්ට වෙලේ ඉඳං නිදාගන්නකන් කොම්පියුටරේ දාගෙන කොටනවා ඉවරයක්‌ නෑ...
අම්මා: ඔන්න ඔහේ ඕන එකක් කරගන්න අරින්න, දැන් ඉතින් නිවාඩු කලේ නේ..
තාත්තා: ඒ උනාට හාමිනේ කෙල්ලට මොනවහරි ප්‍රශ්නයක් වත්ද දන්නේ නෑ. දකින්නවත් නෑ. ගිහිල්ල කතාකරාමත් කොටන ගමන්ම ඔලුව වනනවා..
අම්මා: තව ටික දවසක් බලමුකෝ..
_________________________________________________________
කොල්ලා: දැන් දවස කීපෙකට කලින් 25,000 කට බලු පැටියෙක් ඕනේ කියල යුද්දයක් කර නේද? දැන් මොකද සද්දයක් වත නැත්තේ? එපාද?
මම: නෑ එහෙම එකක් නෑ
කොල්ලා: මං මේ තැන් කීපෙකම බැලුව. බලු පැටව් හරි ගණන් නේ. ඔයා  හොයන ජාතිය හොයාගන්නත් අමාරුයි.. මොකද කරන්නේ?.....මේ අහගෙනද ඉන්නේ?
මම: අනේ.. මේ මගේ බ්ලොග් එකට අලුත් කොමෙන්ට් එකක් දාලා..
කොල්ලා: කොමෙන්ට් එකක්!!! මේ මොන විකාරයක්ද මේ? ............(දුරකථනය විසන්ධි වෙයි)
______________________________________________________________________
මම:  හලෝ!
මිතුරා 1: මොකද ලෙඩ වෙලාද?
මම: ඔව් අනේ! තද හිසේ කැක්කුමක් හැදිලා. හරිම අමාරුයි
මිතුරා: ඒක තමයි කටහඬ එහෙම බොහොම මලානික වෙලා තියෙන්නේ.
මම: හ්ම්...
මිතුරා: පවු අනේ.. ඒක නෙවෙයි කොහොමද ඔයාගේ බ්ලොග් ඒක එහෙම?
මම: ආහ් ඒක නැගල යනවා. ඔය ඒක බැලුවද?එකට හරි ප්‍රතිචාර තියෙන්නේ. කොමෙන්ට් එහෙමත් වැටෙනවා..
මිතුරා: මේ බලන්නකෝ කටේ සද්දේ දැන්.. බ්ලොග් එක ගැන ඇහුව විතරයි,අසනීප ගතියත් නෑ. බොරුවද කොහෙද කරන්නේ!
_______________________________________________________________________
මිතුරා2: ජනනිට වැඩක් කිව්වා තම කරලා දුන්නේ නැනේ.
මිතුරා 3; එයා බිසී ඇති.
මිතුරා2 : මොන පිස්සුද උදේ ඉඳං රෑ වෙනකන් එයා  gmail එකේ online ඉන්නවා. අර මොකක්ද බ්ලොග් එකක link දානවා මහා ගොඩක් FB එකේ.
මිතුරා3: කොහොම කරත් ඉතින් ජනනිගෙන් වැඩක් කරගන්න හරි අමාරුයි. මේ ලඟදි එයාගේ තාත්තත් කිව්වා ජනනිගෙන් වැඩක් ගන්න එයාට පගාවක් දෙන්න ඕනේ කියල.
______________________________________________________________

ආත්තම්මා: මොකද ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ නැත්තේ? කෝල් එකක් වත් දුන්නේ නෑ.
මම: නෑ ආත්තම්මේ මේ දවස වල මං හරිම බිසී. බ්ලොග් එකක් ලියනවනේ.
ආත්තම්මා: මොකක්ද ඒ අලුත් පත්තරේ? ඒ පාර ඔබ්සර්වර් ඒකෙන් අයින් උනාද?
මම: නෑ ආත්තම්මේ ඒක පත්තරයක් නෙවෙයි.
අත්තම්මා: එහෙනන්ග් මොකක්ද? මටත් කියල දෙන්නකෝ!
මම: නෑ මේ ඒක වෙබ් එකක්...වැඩක් ඇති දෙයක් නෙවෙයි..:)
(අත්තම්මාට  ඊ- මේල් යවන්නට කියා දුන් දවසේ පටන් ම දැන් ඇයට කොම්පියුටර් කියා දෙන්නේ නැත.)

ඔන්න ඉතින් ඔහොමයි කතා ටික...

Friday, 17 December 2010

අපේ ගණිත පන්තිය ~~

"අතීතයේ දවසක්" කතාවෙන් පස්සේ බොහෝ දෙනෙකුට පොඩි ප්‍රශ්නයක් තිබ්බ, කතාව එච්චරද ඒ කොල්ලෝ ගැන වෙන කතා නැද්ද කියල. කතා නම් ගොඩාක් තියෙනවා. ඒ කොල්ලෝ හතර දෙනාගෙන් තුන් දෙනෙක් අපේ යාළුවොත් එක්ක ගොඩක් යාලු උන පස්සේ කාලේ. ඒ තුන් දෙනාම අපේ අයගෙන් පෙලවහක් එහෙම කරගන්නත් හිතන ඉන්නවා. ඒ කතා ඉදිරි දවසක් ලියනකම්,  මං හිතුව ඒ කතා ගොඩෙන් එකක් අද ලියන්න.

සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා උසස් පෙළ පන්ති පටන් ගන්නකන්, මේ අය ගැන කිසිම මතකයක් මටවත් මගේ යාලුවන්ටවත් තිබුනේ නෑ. මුලින්ම මේ අය අපේ යාලුවෝ විදියට අවේ අපේ සංයුක්ත ගණිතය පංතියකදී. ඒ කලේ හිටිය බොහොම ප්‍රසිද්ධ සංයුක්ත ගණිත ගුරුවරයකුගේ කුඩා කණ්ඩායම පන්තියකට යන්න මමයි මගේ යලුවොයි කතා උන. මගේ යාලුවෝ හිටියේ 4 දෙනයි, එතකොට අපේ අම්මට අම්මගේ ඉස්කෝලේ ගුරුවරියකුත් කියල තිබුන එයාගේ පුතාටත් (අර හතර දෙනාගෙන් මාව දන්නවා කියපු කෙනා ) පන්තියක්  හොයන්න කියල. මේ පන්තිය ගැන කිව්වම, ඒ ළමය කියල තිබුන එයයි එයාගේ යාලුවෝ 4 දෙනෙකුයි එනවා කියල.

ඔන්න ඉතින් ක්ලාස් එක පටන් ගන්න දවසත් ආවා. අපි ගෑණු ළමයි 4 දෙනා ගියා පන්තිය තියෙන තැනට, දැන් අර පිරිමි ළමය විතරක් ඇවිත් ඉන්නවා. මම නේ දැන් මේ පන්තිය සංවිධානය කරේ, ඒ නිසා මං පරණ තරහ පැත්තකින් තියල පොඩ්ඩක් කිට්ටු වෙලා ඇහුව "දැන් ඔයාගේ යාලුවෝ එන්නේ නැද්ද?" කියල. "නෑ අද එන්නේ නෑ, ඊළඟ දවසේ එයි කියල. " මාත් ඉතින් "හා " කියල පැත්තකට උන.

ඊළඟ දවසත් උන. එදත් මෙය තනියම. 'එදත් මං ඇහුව අද එන්නෙත් නැද්ද?" කියල. ඊටපස්සේ මෙයා කියනවා "නෑ. එයාල එන්නේ නෑ කිව්වා. මං විතරයි එන්නේ කියල". දැන් කොහොමහරි පන්තියේ ගෑණු ළමයි 4 දෙනයි, එක පිරිමි ලමයයි. සර්ත් මුල්ම දවසේ කොල්ල දිහා බලල පොඩි නොන්ඩි හිනාවක් එහෙම දැම්ම. පස්සේ අපිට ආරංචි උනා, කොල්ලව මේ පන්තිය නිසා හොඳටම බයිට් වෙනවා කියල. කොහොමහරි ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මේ පන්තිය හරිම විනෝදෙන් තිබුන.

මේ පන්තියේ සිදු වුනු රසවත් කතා නම් බොහොමයි. ඒවා ඉතින් පස්සේ හිමීට ලියන්නම්. අපේ අම්මයි, මේ පිරිමි ළමයාගේ අම්මයි අපි දෙන්නට පන්ති හෙව්වේ එකට නිසා අපි ගොඩක් පන්ති වල එකට ඉගෙන ගත්ත.

අපේ ගණිත පන්තිය ගැන කියනවනම්, පිරිමි ළමය පලවෙනි පාරෙන්ම ඉංජිනේරු පීඨයට ගිහින් දැන් 'Software Engineer' කෙනෙක්. තවත් ගැනු ළමයෙක් දෙවෙනි පාර  ඉංජිනේරු පීඨයට ගියා. අනෙක් තුන්දෙනමත් කැම්පස් ගියා.

~~ කවිය ~~

නිතැතින් ගලා එන කවි පදයක
නුඹ ගැන වදනක්
නොලියා කොහොමද...
නුඹ නොවැ
ඉතින් මගේ සුන්දරම කවිය..
ධ්වනිජාර්ථ, ව්‍යංගාර්ථ, එළිසමය
කුමකටද..
ඔය ආදරයෙන්ම
එය සුන්දර වෙවී..

~අතීතයේ දවසක -2~

මේකේ පලවෙනි කොටස මම ඊයේ ලිව්වා. මේ ලියන්නේ එකේ ඉතුරු ටික.

ඔන්න ඉතින් මං ප්‍රාර්ථනා කර කර හිටිය තාත්ත ඉක්මනට එන්න කියල. ඒ පන්තිය ඉවර වෙන වෙලාවක් තිබුනේ නෑ. මිස්ට ඇති කියල හිතෙනකන් කරලා ගෙදරට කෝල් එකක් දෙනවා එක්කරගෙන යන්න එන්න කියල.සමහරදාට දවසේ වැඩි හරියක් මම එහෙ.වෙනදට නම ගානක් උනේ නෑ, මං තනියම නිසා.

දැන් ඉතින් මිස් ඇවිත්, පොත් එහෙම බලනගමන් අර කොල්ලොන්ගෙන් අහනවා "මෙයාව අඳුරනවද?" කියල. හැමෝම මූණෙන් මූණ බලාගෙන හිනා වෙනවා. ඒ අතරේ මිස් මට එක එක කොල්ල අදුරලා දෙනවා. එතන හිටපු හැමෝම අඩුමගානේ අඩි ක් වත් උස ඈයෝ. හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම උසට හරියන්න මහතයි. මට පෙනුනේ යෝදයෝ රැලක් වගේ. මිස් ඉතින් තවත් ඒ අයව අන්දුරලා දෙනවා, මට එක වචනයක් වත ඇහෙන්නෙත් නැති ගැනයි. මං එතන හිටපු අයගෙන් යන්තම් හරි අහල තිබ්බේ එක්කෙනෙක් ගැනයි. එයා අපේ අම්මගේ ගුරුවරියකගේ පුතෙක්. එයා town එකේදී හම්බුනු හැමදවසේදීම මේ පුතා ගැන කිව්වා, හැබැයි ඉතින් ඒ කියපු විස්තරවල හැටියට මං හිතුවේ ඒ පුතාට අවුරුදු 5 ක් විතර ඇති කියල,මගේ වයසේ කියල හිතුවෙම නෑ. කොහොමහරි ඒ කොල්ල ගැන කියන කොට මං කිව්වා "ඔව මං අහල තියෙනවා කියල"

කොහොමහරි අන්දුන්වදීම ඉවර වෙනකොට යන්තම් එක කොල්ලෙක් කිව්වා "ඔව අපි දන්නවා,...." මොකක්දෝ මටත් තේරුනේ නැති කතාවක්. මට දැන් තවත් වැඩියෙන් දාඩිය දානවා. එතකොටම මිස් කිව්වා "අපි හැමෝම ඉතින් සහෝදර සහෝදරියෝනේ" කියල. මට මේ මොන විකාරයක් කියනවද කියල මං කල්පනා කර.

ඊටපස්සේ කොහොමහරි මිස් පාඩම පටන් ගත්ත. මට මිස් කියපු එක වචනයක් වත ඇහුනේ නෑ. මට ගෙදර යන්න ඕනේ වෙලා හිටියේ. ඔහොම ටික වෙලාවක් ඉන්න කොට දෙය්යෝ බලල වගේ තාත්ත කෝල්.

තාත්තා: පන්තිය ඉවරද?
මම: ඔව්, තාත්තේ දැන් ඉවරයි. ටක් ගාල එන්න,
තාත්තා: අද කලින් ඉවරද?
මම: ඔව් මිස්ට ගමනක් යන්න තියෙනවලු..
තාත්තා: ආ මං එන්නම් ඉක්මනට.
මිස්: තාත්තා මොකද කිව්වේ?
මම: දැන් එනවා කිව්වා. එයාලට ගමනක් යන්න තියෙනවලු.
මිස්. ඇත්තද? එහෙනං අපි ඉක්මනට මේ ටික ඉවර කරමු.

ටික වෙලාවකින් තාත්තා ආවා. මං මිස් ට වැඳලා එහෙම යන්න හදනකොට "ආයේ කවද්ද එන්නේ?" මිස් ඇහුව. "අම්මට කියල කොල් එකක් දෙන්නම් මිස්" කියල මං එලියට ආවා.

එඅයින් පස්සේ කවදාවත් මං ආයේ පන්තියට එහෙ ගියේ නෑ, කොහොමහරි මට සාමාන්‍ය පෙළ විභාගෙට "A"  එකක් තිබ්බ.
අර කොල්ලෝ ටික අයෙත් මට හම්බුනේ උසස් පෙළ කරන කලේ. ඊටපස්සේ ඒ අය මගේ ගොඩාක් හොඳ යාලුවෝ උනා. :D  ඒ කතා ඉතින් පස්සේ දවසක කියන්නම්..
මං ජීවිතේට මෙදා තරම් අපහසුතාවයට පත් උනේ නෑ කිසි දවසක.

Thursday, 16 December 2010

~අතීතයේ දවසක~

මේ සිද්දිය වෙනකොට මං සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඔන්න මෙන්න. මොකද්දෝ හේතුවක් නිසා විභාගය දෙසැම්බර් මාසේ මැදට වගේ කල් ගියා. මුළු අවුරුද්ද පුරාම සෙල්ලම් කර කර හිටපු මට පාඩම් කරන්න ඕනේ කියල හරියටම මතක් උනේ සැප්තැම්බර් අග විතර. ගණිතය, විද්‍යාව විෂයන් වලට අමතර පන්තිත් ගිය නිසා ඒවා මට අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ උනේ නෑ. අපේ අම්ම ගොඩක් බය උනේ මං සමාජ අධ්‍යනය විෂයන්ට අඩු ලකුණු ගනී කියල. ඔන්න ඉතින් ඔය බය වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදියට, අම්ම ගුරුවරියක් විදියට උගන්වපු විද්‍යාලයේම අම්ම අඳුරන සමාජ අධ්‍යනය ගුරුවරියකගේ ගෙදරට ගිහින් 'revision' කරන්න මට නියම උනා. අකමැත්තෙන් උනත් ඔන්න ඉතින් නොවැම්බර් අග ඉඳං මං මේ පන්තියට යන්න පටන් ගත්ත. පන්තියක් කිව්වට, මුදලක් අය කරේ නෑ, උදව්වක් විදියට ඒ විද්‍යාලයේ හිටපු ගොඩක් ගුරුවරුන්ගේ දරුවන්ට ඒ ගුරුතුමිය පාඩම් කියල දුන්න.

මට පාඩම් කියල දුන්නේ තනියම. තරමක් ලජ්ජාශීලී මට එක ලොකු සැනසීමක් උන. කොහොමහරි ඒ අමතර ඉගැන්වීමේ ප්‍රතිපලයක් විදියට ඒ පාර අපේ පන්තියේ අන්තිම වාර විභාගේ සමාජ අධ්‍යනයට වැඩිම ලකුණු තිබුනෙත් මට. අපේ අම්මට හරි සතුටුයි. සති දෙකකට සැරයක් ගිය සමාජ අධ්‍යනය පන්තියට මට දවසක් ඇර දවසක් යන්න උනා. ඉස්කෝලෙත් නිවාඩු නිසා කිසි බාධාවක් තිබුනෙත් නෑ. 

ඔහොම දවසක් යන අතරේ, එක දවසක් මිස්ගේ ගෙදර ගියාම, මට වාඩි වෙන්න එහෙම කියල, වැඩකුත් දීලා එහෙට මෙහෙට යන අතරතුරේ, අද අර කොල්ලෝ ටිකත් එනව කිව්වනේ, කියල මට ඇහෙන නෑහෙන ගානට කිව්වා.  ඔය වෙනකොට මං දැනගෙන හිටිය අම්මගේ ඉස්කෝලේ තව මිස් කෙනෙක්ගේ පුතෙකුටයි එයාගේ යාලුවන්ටයි ත් මේ මිස් උගන්වනවා කියල. මට මිස් කියපු කතාවත් අහල ටිකක් බයත් හිතුන. ඊටපස්සේ මං හිත හදාගත්ත නෑ එහෙනම් මට වැරදිලා ඇහෙන්න ඇති, මං ඉන්නකොට වෙන කාටවත් එන්න කියන්නේ නෑ කියලා. ඔහොම වැඩ කර කර පැයක් විතර යනකොට, මට ඇහුන වෑන්  එකක් මිදුලේ නවත්තනවා, ඒත් එක්කම අලි පෙරලෙනව වගේ මහා සද්දෙකුත් ඇහුන. මිස් ටක් ගාල ගිහින් දොර ඇරිය. 
මට ඇහෙනවා කොල්ලෝ කීප දෙනෙක්ගේම කට හඬ..මටම දැනුන මට දාඩියත්  දාලා මගේ මූණත් රතුවෙලා කියල. 
මිස් ඉතින් ඒ අයත් එක්ක ආගිය තොරතුරු එහෙම කතා කරලා "ඔන්න එහෙනන් වාඩිවෙන්නකෝ, යාලුවෙකුත් ඉන්නවා" කිව්වා. මට ඒ වෙලේ පුළුවන් උනා නම් මේසේ යටට රිංගනවා. මං පොත දිහාම බලාගෙන ඉන්න අතරේ, යන්තම් වගේ දැනුන මේ අය වාඩිවෙන තැනටත් රණ්ඩු වෙනවා. ලැජ්ජාවට කරගන්න දෙකුත් නෑ. මං බිම බලාගෙන හිතින් ප්‍රර්ථනා කරා ඉක්මනට තාත්තා ඇවිත් මාව එක්කරගෙන යන්න කියල.


කතාවේ ඉතුරු ටික පස්සේ ලියන්නම්...

~දහ තුන..!~

බ්ලොග් අඩවියේ 'dashboard' එක දිහා බලාගෙන ඉන්නකොට තමයි මම දැක්කේ, බ්ලොග් පොස්ට් 13 තියෙනවා කියල. දහතුන නපුරුයි කියනවනේ, ඔන්න ඉතින් තව මොනවහරි ලියන්න ඕනේ කියල හිතුන. ඔය දහතුන නපුරුයි කියල කියනකොට තමයි මතක උනේ, මාත් උපන්නේ දහතුන් වෙනිදාවකම තමයි. එතකොට මාත් නපුරුද? යාලුවොන්ගෙන්ම තමා අහල බලන්න ඕනේ.

ගමරාළගෙන් අහල බැලුවනම් අනිවාර්යෙන්ම ඔව් කියාවි. ගමරාල කියන්නේ මට මේ ලඟකදී මුණගැහුණු යාලුවෙක්. එයාගේ නම නම් ගමරාල නෙමෙයි, එත් කතා කරන්නේ ගමරාල කෙනෙක් වගේ. නගරේ හැදුනු වැඩුනු මට ඒ කතා විලාසයට මුලින් හිනත් ගියා. කොහොමින් කොහොම හරි මං ඒ කතා කරන විදියට කැමති. එයාම කියන විදියට නියම සිංහලයා. දැන් ඉතින් හැමෝම අහයි "ඇයි ඉතින් ඔය ගමරාල විතරක්ම ඔයා නපුරුයි කියන්නේ?" කියල. ඇයි දෙය්යනේ මං ජීවිතේ දන්නා සේරම නපුරුකම් කරලා තියෙන්නේ එයාට විතරනේ. ඇයි කියල නම් අහන්න එපා, මොකද එක ගොඩාක් දිග කතාවක්...

අදට ලිව්වා ඇති වගේ... :ද

~අහස නුඹ පින් බරයි~

කඳුළු බින්දු සේම මිහි මවගේ
ඇද හැලෙන දිය බින්දු
ඉකිගසන අහස කුස
සවන් යුග දෙදරවයි

මහා හඬින් ඉකිගසා
හඬන්නට බැරිව දුක්‌ විඳින මගේ හද
සනසවන්නට තතන
අහස නුඹ පින්බරයි...

හඬන්නට දිරි මදිය
නුඹේ කඳුළු දකිනු මිස
මිහි මවුනි දිරි දෙන්න
ජීවිතය කවියක්සේම
 සුන්දරව දිග හරින්න...

Wednesday, 15 December 2010

මියැදුණු ඔරලෝසු හාමිනේ වෙත...

උදේ පාන්දර ඉස්කෝලේ යන්න කලබලේට ඇඳගෙන උඩ තට්ටුවෙන් පහලට බහින්නේ, කන්නවත් වෙලා නැ කියල හිතාගෙන. ඒ වෙලාවට ඔරලෝසු හාමිනේගේ මූණ බැලුවම තමයි, උදේ ඉඳං නොසන්සුන්ව දුවපු හිතට යන්තම් සැනසීමක් ලැබෙන්නේ. "එක බත් කටක් කාල යන්න වෙලා තියෙනවා එහෙනම්", මං මටම මුමුණ ගන්නවා. ගෙදර හැම ඔරලෝසුවම විනාඩි ගානක් වේගයෙන් දුවනකොට ඔරලෝසු හාමිනේ විතරයි හරි වේගයෙන් දිව්වේ, ඒ නිසා ගෙදර හැමෝම යන්න ලෑස්ති වෙලා, දොර ගාවට ඇවිත් සැනසුම් සුසුම් හෙලනවා. "පරක්කු වෙලා නැ එහෙනම්" හැමෝම මුමුනන්නේ හරිම ප්‍රීතියෙන්.

ගිය සතියෙත්, සුපුරුදු කලබලෙන් මං පහලට ආවේ වෙනදාටත් වඩා පරක්කු වෙලා කියන හැගීමෙන්. ඒත් ඔරලෝසු හාමිනේගේ මූණ බැලුවම, තාම 7 යි. මං ඉතින් වෙනද වගේම හිත හදාගෙන, බත් කටකුත් කාල ඉස්කෝලේ යන්න පිටත් උන. වෙනද විදියටම බස් එකේ ගියත්, රතු ඉර නොවැදී බේරුනේ නූලෙන්. එතකොට නම් මට ඔරලෝසු හාමිනේගේ වෙලාව ගැන සැකයක් ඇති නොවුනාමත් නොවෙයි. ඒත් ඉතින්, මං මග එනකොට පරක්කු වෙන්න ඇති කියල උපකල්පනය කරලා ඊළඟ දවසේ වත් කලින් එන්න ඕනේ කියල හිත හදාගත්ත. කොහොම හිතුවත් ඊළඟ දවසෙත් පරක්කුයි, ගෑණු ළමයින්ට අඳින්න පැයක යනවා කියනවනේ. අඳින්න පැයක නොගියත් කටයුතු කලමනා පිළිවෙලක් කරගෙන ලක ලැහැස්ති වෙනකොට වෙලාව ගිහින් දන්නෙම නැතුව. කොහොමින් හරි එදත් පහලට බැහැල ඔරලෝසු හාමිනේගේ මූණ බලනකොට 7 යි. මට යාන්තමට මතකයි, උඩ තිබුණු ඔරලෝසුවක මූනේ වෙලාව 7 පහුවෙලා තිබුන කියල, ඒත් කමක් නැ කියල මං පිටත් උනාට මට තේරුණා වෙනදට වැඩ නම් පරක්කුයි කියල. පලවෙනි වතාවට හිතුන, ඔරලෝසු හාමිනේ මියැදිලද දන්නේ නැ කියල. ඒත් ඉතින් අනෙක් වැඩ රාජකාරි මැද්දේ ඒක ගැන කල්පනා කරන්න වෙලා තිබුනේ නැ. ඉස්කෝලේ නිවාඩු දීල සතියකුත් ගත වෙන්න ආවා. දැන් ඉතින් හදිස්සියේ කොහෙවත් යන්නත් නැති නිසා, ඔරලෝසු හාමිනේ ඉන්නවද කියල බලන්නවත් අමතකයි.

හිටි හැටියේම අද දවාලේ මට ඔරලෝසු හාමිනේව මතක උනා. දුවගෙන ගිහින් ඔරලෝසු හාමිනේගේ මූණ බලනකොට වෙලාව 7 යි.ඒ වෙලාවේ මද්දහනත් පහුවෙලා. එතකොටයි මට තේරුනේ, ඔරලෝසු හාමිනේ මියැදිලා. හෙට උදෙන්ම කඩෙන් බැටරියක් ගෙනත් ඔරලෝසු හාමිනේට පණ දෙන්න ඕනේ.. මෙච්චර දවසක් පමා උනාට සමාවෙන්න අපේ ඔරලෝසු හාමිනේ...

Tuesday, 14 December 2010

සෙරෙප්පුවක් කල ජරමරයක්

සෙරෙප්පුවක් නිසා කන්න වෙච්ච කට්ටක් ගැන ලියවුනු බ්ලොග් එකක් කියවන කොට ඔන්න මටත් මතක් උන, මේ ලඟදි දවසක මටත් වෙච්ච අකරතැබ්බයක්. ඊට කලින් කියන්න ඕනේ, ඔය හැමෝටම වගේ මගෙත් සෙරෙප්පු නම් පාරේදී කැඩිලා ඇති අනන්තවත්. සමහර දාට ගමනක් පරක්කු වෙලා දුවනකොට ඔන්න කැඩෙනවා සෙරෙප්පුව. එතකොට නම් ඉතින් දෙය්යන්ගේම පිහිටයි. මේ කියන්න යන  කතන්දරේ උනේ මීට මාසෙකට විතර උඩදී. සෙරෙප්පුව අරගෙනත් වැඩි දවසක උනේ නෑ. වැඩි ගානකුත් දීලා ගත්තේ කඩේ මනුස්සයා 'හරිම හයියයි නෝනා, ලේසියට කැඩෙන්නේ නෑ" කියල  කියපු නිසා. ඔන්න ඉතින් දවසක්‌ මම ඉස්කෝලේ ඇරිලා හයියෙන් හයියෙන් ඇවිදගෙන ආවා බස් නැවතුම්පොළට. නවත්තල තියෙන්නේ මොන බස් එකද කියල බලන්න චුට්ටක් ඉස්සරහට යන්න හදනකොට ඔන්න ආවේ නැද්ද ආච්චි කෙනෙක් ඉස්සහරට. ඇඟේ හැප්පෙන්නේ නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්. ඒ කලබලේ එක්ක මට යන්තම් දැනුන සෙරෙප්පුවේ පටිය බුරුල් වෙනවා. බැලින්නම් ඇත්තටම පටිය කැඩිලා. දැන් මොනවා  කරන්නද, බස් එකේ නගින්නේ නැතුව ඉන්න හදනකොට කොන්දොස්තර මහත්තය ඇවිත් "ඇයි නෝනා සෙරෙප්පුව ගැලවුණද? "  කියල ඇහුව විදියට මේ ඇත්තටම කොන්දොස්තර කෙනෙක්ද කියලත් හිතුන. මන් ඉතින් ඒ මනුස්සයාගේ මූණ දිහා බලල හිනා වෙලා "ඔව්" කිව්වා. "කමක් නෑ නගින්න" කියල අ මනුස්සයා සුපුරුදු පරිදි අනික් මිනිස්සුන්ට අඬගහන්න පටන් ගත්ත. මත අමාරුවෙන් එල්ලෙන සේරෙප්පුවත් කකුලට තද කරගෙන නගින්න හදනකොට පලවෙනි පඩියෙදීම සෙරෙප්පුව කකුලෙන් බිමට වැටුන. මට දැන් කරගන්න දෙයක් නෑ. මිනිස්සු මගේ දිහා ඔරවා ඔරවා බලනවා. කොල්ලෝ නක්කලේට හිනා වෙනවා. මෙන්න එතකොට අර කොන්දොස්තර මහත්තය ඇවිත් සෙරෙප්පුව අරගෙන මගේ පතුල යටින් තිබ්බ. සාමාන්‍යයෙන් කොන්දොස්තරවරුන් වෙත තියෙන අප්‍රසාදය වෙනුවට, මට මහා පුදුද්මයක් ඇති උන. යන්තම් "ස්තුතියි' කියල මුමුනල මං ඒ මනුස්සයට හිනා උන. ඔන්න කොහොමහරි ගෙදර ගාව හෝල්ට් එකට ඇවිත් අයෙත් බහින්න යනකොට මෙන්න මේ සෙරෙප්පුව එල්ලෙන්න පටන් ගත්ත. මොනවා කරන්නද, සෙරෙප්පු දෙකම අතට අරගෙන, සෙරෙප්පු නැතුවම පර පැනල ගෙදර ගියා. සාරිය දිග නිසා කාටවත් එක එච්චර පෙනුනේ නෑ. වැසි දවසක්‌ නොවුණු නිසා මටත් අප්‍රසන්න උනේ නෑ. එත් ඉතින් මං පහුවදාම ගිහින් අලුත් සෙරෙප්පු කුට්ටමක් ගත්ත. එකවත් මගදී කැඩෙන්නේ නැතුව තිබුනොත් හොඳයි. එකත් ඉතින් වෙලාව තමයි! 

නුඹ

පෙරදා...
මගේ...
සොඳුරුතම සිහිනයයි...
අද...
අවිනිශ්චිත අනාගතයයි...

Monday, 13 December 2010

අපේ තාත්තා

උපන් දා පටන්...
කිසිඳු අඩුවක් නොකරම අපට  
හදා වඩා ගත්තා නුඹ 
පොඩි අසනීපයටත් 
හොඳටෝම කලබල වෙලා
නුඹ කරන සැලකිලි 
අමතක නෑ තාත්තේ...
මල්ලි නිසා විඳින දුක් ගින්න
ඔය දෑසට කඳුළු ගෙනා දවසේ...
මං හිතින් මැරුණා
තාත්තේ...

අපේ අම්මා

කඳුළු දුටිමි මා
නුඹ ඇසෙන වැගිරෙන
අසිහියෙන් දඟලන 
එකම පුත් රුවන දැක දැක...
නුඹ ජීවත් වෙනවාම ඇති...
අම්මේ...

මේ ඉවසන තරමට..
මල්ලිගේ ගුටි බැට...
කවදා හෝ 
නුඹ බුදු වෙනවා 
සත්තයි...
අම්මේ...             

යථාර්ථය













නෙත් කෙවෙනි පුරාවට උණු කඳුළු          ගැලුවාට
හද මඩල පුරාවට රුදුරු ගිනි                      දවූනාට 
අතීතය පුරාවට නුඹේ මතක                      තිබුනාට
සින්නවී මගේ සතුට ජීවිතය                      පුරාවට 

'ගොහොරු මඩ අභිබවා නැගෙන්නට      අත දෙම්යි 
සුදු පියුම් පරදවා ජය කෙහෙළි               ගෙන දෙම්යි "
කී මුදු වදන් අද ඇසෙන්නට                   නොහැකි වී 
හිතේ දුක් අදෝනා හිත තුලම                 සපිරිවී 

ඔබ හා මම

පිරී ඉතිරී ගිය
වර්සාමානය,
ඔබ නම්...
නිසසලව සිටින 
අනිලමනය 
මමයි..

අතීතය සගවා

මල්ගොමු අතරේ 
හිඳ...
පිවිතුරු මලක් වන්නට 
උත්සාහ දැරීමී...

රැවටිල්ල

ඇවිදින් මගේ ලොවට 
වසා ඉහලින් මහා අහස කුස,
පෙන්වා විජ්ජා හරි හරියට
කිව්වා...
මං ආදරෙයි නුඹට... 

Thursday, 2 December 2010

අනුලාවියේ අලුත් විදුහල්පතිතුමිය

ආදරණීය නවාතැනට සතියකුත් ගතවුනා. ග්‍රහ මාරුව ගැන ලියපු වචන පේලි ටික විතරක් තාම හූල්ලනවා.  ඔන්න ඉතින් මට හිතුනා ඉස්කෝලේ වෙච්ච කතන්දරයක් ලියන්න. දහසක් බාධක කරදර මැද්දේ අනුලාවියට පත් කෙරුණු අලුත් විදුහල්පතිතුමිය අද සුභ මොහොතින්  වැඩ බාරගත්තා. 
පහු ගිය කලේ පත්තර පිටු පුරෝපු එහි පරණ විදුහල්පතිතුමියට වෙච්ච දෙයක් නෑ. ඒ විදුහපතිතුමියම ඕනේ කියල පෙත්සම් ලියාගෙන අත්සන් ගන්න රට වටේ ඇවිද්ද සමහර ගුරුතුමීලා අද විදුහල්පතිනියගේ කාර්යාලය ළඟම කැරකෙනවා. ඕවට ඉතින් කරන කාරණා කාරණා දන්නා උදවියට නම් හිනා. තමන්ගේ වාසියට කඩේ යන සමහර ඈයෝන්ගේ   කතා විස්වාස කරලා අද යන එන මන් නැතුව ඉන්න පරණ විදුහල්පතිතුමිය ගැන දුක හිතෙන්නේ නැතුව නෙමෙයි. එත් ඉතින් කට්ටිය එතුමිය ගැන ක‍රන ගුණ වර්ණනාව ඇහුවම මෙච්චර කල් හිටියේ කොහොමද කියලත් පුදුම හිතෙනවා. සල්ලි උල්පත් දාලා කවුද ඉතින් යන්න කැමති. 

කට්ටිය ඔය සිද්දිය ගැන එක එක විදියට ඌන පූර්ණයක් දෙනකොට හොඳම කතාව කිව්වේ අපේ ශ්‍යාමලී. ඒ විදුහල්පති තුමිය නම් බෙන්තර ගඟෙන් එහා නම් වෙන්න විදියක් නෑ කියල. මේ කතාවේ තේරුම අහන කොට තමයි, එය කිව්වේ එහෙනන්ග් ඉතින් ඔය කරපු එක මගඩියක්වත් තාමත් හොයාගන්න වෙන්නේ නෑ කියල. කරපු මගඩි ගැන කතා නම් බොහොමයි. එත් ඉතින් දැන් ඕව ගැන කතා කරලා පලක් නෑ. අපි ප්‍රර්ථනා කරනවා, අලුත් විදුහල්පතිනියටවත්  ආසියාවේ වැඩිම ළමුන් පිරිසක් ඉන්න බාලිකා පාසලක් වන  මේ අනුලාව පෙර තිබූ ශ්‍රී විභූතිය කරා නැවතත් ළඟ කරවීමට හැකියාව ලැබේවා කියලා! ජය!!